May 17, 2012

යෞවන උළෙලේ කණ්ඩායම් තරග ඇරඹේ.

  ජාතික තරුණ සේවා සභාව මෙහෙයවන 24 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග මෙම සෙනසුරාදා (19) මහරගම තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩා පිටිය සහ වෙනත් දිස්ත්‍රික් ගණනාවක ක්‍රීඩා පිටි කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බව ජාතික තරුණ සේව‍ා සභා ආංරචි මාර්ග සදහන් කරයි.එම ආරංචි මාර්ග සදහන් කරන පරිදි වෙනදාට වඩා සහභාගීත්වයක් උතුරු - නැගෙනහිර ප්‍රදේශ වලින් සිදුවන බවත් එම සහභාගීත්වය මෙන්ම දක්ෂතා වල වර්ධනයක් ද අපේක්ෂා කළ හැකි බවත් පෙන්වා දෙයි.
මැයි 19 වන දා කණ්ඩායම් තරග ආරම්භ කරමින් වොලිබෝල් සහ දැල් පන්දු ක්‍රීඩා තරග ආරම්භ කිරීමට නියමිත අතර වොලිබෝල් 19,20 සහ 21 යන තෙදින තුළ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.දැල් පන්දු තරග ජාතික තරුණ මධ්‍යස්ථානයේදී පැවත්වෙන අතර එම තරග ද 19,20 සහ 21 යන තෙදින තුළ ක්‍රියාත්මක වීමට නියමිතය.
මැයි 26,27 සහ 28 යන තෙදින තුළ ගාල්ල බද්දේගම කුම්මේ ක්‍රීඩාංගණයේදී කාන්තා සහ පිරිමි කබඩි තරග පැවත්වෙන අතර එම දින තුනේදී ම පාපන්දු තරග ද ක්‍රියාත්මක වන අතර එම තරග පැවත්වෙන්නේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ය.ජනි 2,3 සහ 4 යන තෙදින තුළ එල්ලේ පිරිමි තරග ගම්පහ මීරිගම ඩීඑස්‍ සේනානායක මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි ක්‍රියාත්මක වන අතර එල්ලේ කාන්තා තරග එම තෙදින තුළ ක්‍රියාත්මක වන්නේ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී ය.
කාන්තා සහ පිරිමි ක්‍රිකට් තරග ජූනි 9,10 සහ 11 යන තෙදින තුළ බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී සහ බලන්ගොඩ ජාතික පාසල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අතර එම දිනයන්හීම මහරගම තරුණ මධ්‍යස්ථානයේදී කාන්තා සහ පිරිමි කැරම් තරගාවලිය ක්‍රියාත්මක වීමට නියමිතය.ජූනි 16,17 සහ 18 යන තෙදින තුළ කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගණයේදී කාන්තා සහ පිරිමි කභ ඇදීම ක්‍රියාත්මක වීමට නියමිත අතර කාන්තා සහ පිරිමි  පැසිපන්දු තරග කුරුණෑගල මලියදේව,ශාන්ත ආනා සහ ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමය ආශ්‍රිතව ක්‍රියාත්මක වන්නේ ද එම දින තුළය.
ජූනි 22,23 සහ 24 යන තෙදින තුළ මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රීඩා ඉසව් තුනක් ක්‍රියාත්මක වන අතර එය යෞවන තරගාවලියේ විශේෂ ඉසව් හැටියට ගැනෙන පාපැදි,ඇවිදීම සහ මැරතන් තරග වන අතර මෙවර ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා සිටින අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ද යෞවන ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය ජයග්‍රහණය කරමින් ජාතික මට්ටමේ ජයග්‍රහණ සදහා ප්‍රවේශ වූ අයෙකි.තරගාවලියට එක්වන බීච් වොලිබෝල් තරග ද ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරය ආශ්‍රිතව වන අතර එම තරග ජූනි 30 සහ ජූලි 1 සහ 2 යන තෙදින ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිතය.



No comments: