May 14, 2012

ග්‍රොන්ප්‍රී තරගාවලියෙන් ඩොලර් 6100 ක ජය මල්ලක් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට

තායිලන්තයේ පැවත්වුණ ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ තෙවැන්න නිම වන විට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඩොලර් 6100 ක ජය මල්ලක් හිමිකර ගැනීමට සමත් වූහ.පළමුවැනි තරගයේදී දක්ෂතා අතරට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාන්චනබුරි දෙවන අදියරේදී යම් පසුබැස්මක් පෙන්වුව ද තෙවැනි අදියරේදී යළි දක්ෂතා අතරට පැමිණීමට සමත් විය.තරගාවලියේ කැපී පෙණුනම ලාංකේය ක්‍රීඩකයා වූ මංජුල කුමාර සමස්ථ තරගාවලිය පුරාම මීටර් 2.23 දක්ෂතාවයේ ස්ථාවරව සිටීම කැපී පෙණුන අතර ඔහු තරගාවලියේ කැපී පෙණුනම ක්‍රීඩකයෙකු විය.
මංජුල තරගාවලිය නිමා කරමින් චොන්බුරි පාපන්දු ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති  ‍තරගයේදී ද මීටර් 2.23 ක දක්ෂතාවයක් දැක් වූවේ සුළගට එරෙහිව යමින්ය.එහි දී ප්‍රථම සහ තෙවන ස්ථානය ද මීටර් 2.23 හී රැදී සිටි අතර මංජුල උස කඩඉම් පසු කිරීමේ දී දැක්වූ දක්ෂතාවය සළකා දෙවන ස්ථානයට පත් විය.චන්ද්‍රිකා සුභාෂණී මීටර් 400 ඉසව්වේ තරග තුනේදීම තෙවැනියා වූ අතර අවසාන තරගයේදී අවසාන භාගයේදි ඇය තරගයට අවතීර්ණ වෙමින් ප්‍රථම සහ දෙවන ස්ථාන දිනා ගත් දෙදෙනාට ප්‍රබල තරගයක් ලබා දුන් අතර නමුත් තත්පර 53.55 කින් තරගය නිම කළ ඇයට අත්වූයේ තෙවන තැනමය.
මීටර් 400 ඉසව්වේ දී ප්‍රථම තරගයේ තෙවන තැන දිනූ ප්‍රසන්න අමරසේකර ට එම ස්ථානය දෙවන තරගයේදී අහිමි වුව ද යළිත් තෙවන තරගයේදී තත්පර 47.80 ක දක්ෂතාවයක් දක්වමින් තෙවන තැන දිනා ගැනීමට සමත් විය.ෂෙහාන් අඹේපිටිය ට ප්‍රථම තරගයේ දෙවන ස්ථානය දිනා ගැනීමෙන් පසුව යළිත් දක්ෂතා අතරට ඒමට අවස්ථාවක් නොලැබුණු අතර තෙවන තරගයේ දී තත්පර 10.69 ක දක්ෂතාවයක් දැක් වූ ෂෙහාන් ට අත් වූයේ සිව්වන තැනය.
තරගාවලියේ දි ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම තරගයකදී වත් ස්ථානයක් දිනා ගැනීමට අපොහොසත් වූ ක්‍රීඩකයා වූ වරුණ ලක්ෂාන් දයාරත්නට මෙම තරගයේදී ද හිමි වූයේ නව වන තැනය.තරගාවලිය සංවිධානය කිරීමේ දී තායිලන්තය ඉසව් තුනම සිය ශාරිරික විශ්ව විද්‍යාල ආශ්‍රිතව සංවිධානය කිරීම කැපී පෙණින.එම විශ්ව විද්‍යාලයන් හී සිසුන්ට තරග සංවිධාන අත්දැකීමක් ලබා දීමට කටයුතු සළසා තිබීම කැපී පෙණින.නමුත් චොන්බුරි තරගයේ ප්‍රධාන ඉසව් භාර නිලධාරීන්ගෙන් සිදු වූ අත් වැරදීම් හේතුවෙන් මීටර් 100 කාන්තා කඩුලු පැනීමේ තරගය දෙවරක් පවත්වන්නට සිදු වූයේ කඩුලු අතර දුර ප්‍රමාණය නිවැරදිව ගණනය නොකර තිබීමේන්ය.
මෙම තරගයේදී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මාංශ පේශි යථා තත්ත්වයට පත් කර ගැනීමට සම්භාහක සහයක් නොලැබීම කැපී පෙණුන අඩු පාඩුවක් වූ අතර නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධ අභිමානය රැක දීම වෙනුවෙන් ඔවුන් එකිනෙකාට උපකාර කර ගනිමින් යම් තරමකින් නිවැරදි තත්ත්වයට පැමිණිම සදහා සහෝදරත්වයෙන් කටයුතු කිරීම අගය කළ යුතුය.තරග කාල සටහන අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉසව් එකක් හෝ අත නොහැර නැරඹිමේ හැකියාව පුහුණුකරු සහ කළමණාකරු ලෙස තරගාවලියට එක් වී සිටි සුනිල් ගුණවර්ධනට හැකියාව ලැබුණු අතර ඒ නිසා ඔහුට සෑම ක්‍රීඩකයේකුගේ ම තරග දක්ෂතා පිළිබදව මනා වැටහීමක් ලබා ගන්නට හැකි වූ නො’අනුමානය.එම නිසා මෙම තරගාවලියෙන් ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතයට වැදගත් බොහෝ දේ එකතු කර ගැනීමට මෙම තරගාවලිය ආශ්‍රිතව ඔහු විසින් දක්වන්නට යෙදෙන දැක්වීම ඉතා වැදගත් වනු නිසැකය.
එසේම මෙම තරගාවලියේ දී ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මට්ටම ඉතා ඉහළ තත්ත්වයක පවතිනු දකින්නට ලැබුණු අතර දකුණු ආසියාතික තරගාවලියේ ශ්‍රී ලංකාවේ කීර්තිය ඉහළ නැංවීම සදහා බෙහෙවින් ඉවහල් වන මලල ක්‍රීඩාව මෙම ඉන්දීය අභියෝගය පරයා නැගී සිටින්නේ කෙසේද යන්න පිළිබදව වෙනම සිතා බැලිය යුතුය.

No comments: