Apr 8, 2012

විනිසුරු සහය ද ඇතිව එංගලන්තය තරගාවලිය සම කරයි


සාමානයයෙන් විනිසුරුවරයන්ගේ පක්ෂපාතීතත්වය ඇතිව තරගයක් ජය ගන්නා කණ්ඩායම 13 දෙනෙකු සමග තරග කරන බව කීව ද එංගලන්තය සමග පැවති දෙවන ටෙස්ට් තරගය විනිසුරුවරයාගෙන් විය හැකි අසාධාරණ තීරණ අවම කිරීමට පත් කළ රූපවාහිණි විනිසුරු තීරණ ද යම් ආකාරයකින් ශ්‍රී ලංකාවට අසාධාරණ බලපෑම් කරන ලද තත්ත්වය තුළ ශ්‍රී ලංකාව මෙම තරගය පරාජය වූයේ 14 දෙනෙකු සමග ක්‍රීඩා කර ද යන්න පිළිබදව සිතිය යුතුය.විශේෂයෙන් දෙවන ඉණිමේ දී තිලකරත්න ඩිල්ෂාන් වැනි පිතිකරුවෙකුට එරෙහිව දෙන ලද රූපවාහිණි විනිසුරු තීරණය ඒ අතරින් තරගයේ සමස්ත තීරණයට සෘජුවම බල පෑ බව පිළිගත යුතුය.ලකුණු අතරට පිවිස පන්දුව දකිමින් සිටින මොහොතක සැකයේ වාසිය පිතිකරුට යන න්‍යාය පිටු දකිමින් ටකර් විනිසුරුවරයා ලබා දුන් ඒ තීන්දුව ඇතුළු තීරණ ගණනක්ම පැහැදිළි කළේ සැකයේ වාසිය එංගලන්තයට යන ලෙස න්‍යාය වෙනස් වී ඇති බවක් ය.
නමුත් මහේල ජයවර්ධන හැරෙන්නට මෙම තරගාවලිය පුරාම දිගු ඉණිමක් ක්‍රීඩා කළ හැකි කිසිවෙක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නොදැකීම කණ්ගාටුවට කරුණකි.විශේෂයෙන්ම කුමාර සංගක්කාර මෙම තරගාවලියේ ක්‍රීඩා කළ ඉණිම හතර තුළ ඔහු විසින් ප්‍රකට කළ අස්ථාවර ස්වභාවය අදහාගත නොහැකි තරම් ය.ඒ නිසා තෙහෙට්ටුව නිසා හෝ වෙනයම් කුමන හෝ කරුණක් පදනම් කර ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකුරුවන් ලෙස මෙම තරගාවලියට හොදින් මුහුණ දුන් බවක් දැකිය නොහැකි විය.
පරාජිත දෙවන තරගයේ දී පිතිකරුවන් ලෙස වගකීම පැහැර හැරීම නිසා මෙන්ම පිතිකරුවන් ලෙස ආත්ම විශ්වාසයෙන් කටයුතු නොකිරීම නිසාම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉණිම් හැම විටම ආක්‍රමණය වෙනුවට ආරක්ෂාව පමණක් ක්‍රියාත්මක වූ ඉණිම් ලෙස ක්‍රියාවට නැගෙනු දැකිය හැකි විය.ඒ තත්ත්වය පිතිකරණයේ විශ්වාසය ගොඩ නැගීම වෙනුවට පන්දු යවන්නන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීම දක්වා වර්ධනය වූ ඒවා බවට පත් විය.ශ්‍රී ලංකා දග පන්දු යවන්නන් ද දැඩි පීඩනයක් ඇතිවන ආකාරයෙන පන්දු යවමින් සිටින මෙහොතක කෙවින් පීටර්සන් ක්‍රීඩා කළ ආකාරයට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙකු  ශ්‍රී ලංකා කණ්ඩායමේ නොසිටීම විශාල අඩුවක්ව පෙනෙන්නට තිබිණ.
එංගලන්තයේ ග්‍රෙහැම් ස්වොන්ට සහ රංගන හේරත්ට තරගයේ තීරණය සම්බන්ධයෙන් කළ හැකිව තිබූ බලපෑම අතරින් ස්වෝන්ට රංගන ඉක්මවා යන්නට හැකි වූ අතර කළෙකට පසුව සරවනමුත්තු පිටියට පැමිණි ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට හිමි වෙමින් ජගත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල එංගලන්තයේ පළමු තැනට එල්ල වී තිබූ බලපෑමෙන් නිදහස් වන්නට ද එංගලන්තයට හැකි විය.සරවන්මුත්තු පිටියේ පන්දු යවන්නන්ගේ ඒකාධිකාරය බිදිමින් උඩු ගං බලා ගිය කෙවින් පීටර්ස්න් ගේ ප්‍රහාරාත්මක ඉණිම ඔහු තරගයේ වීරයා බවට පත් කළ අතර,තරගාවලිය පුරාම ලකුණු ලබා ගැනීමට අසීරු තත්ත්වයන් තුළ ශතක දෙකක් සහ අර්ධ ශතකයක් රැස් කළ මහේල ජයවර්ධන තරගාවලියේ වීරයා විය.තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකිය.

No comments: