Aug 5, 2013

අපහසුවෙන් දිනූ අංක එක තේරීම් කමිටුව පහසුවෙන් අහිමි කරයි

ක්‍රිකට් ක්‍රීඩාවේ අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව විවිධ තරග අංශ වලින් අංක එකට පැමිණ තිබේ.ඒ සෑම අවස්ථාවක්ම අපහසුවෙන් උපයා ගත් ඒවාය.සනත් ජයසූරිය ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුවේ ද ශ්‍රී ලංකා කණ්ඩායම එවැනි තත්ත්වයට පත් වෙන අවස්ථාවලදී කණ්ඩායමේ සිටි ක්‍රීඩකයො සිටිති.මේ නිසා ඒ දුෂ්කරතාවයන් හෝ එය රදවා ගැනීම කෙතරම් දුෂ්කර ද යන්න අමුතුවෙන් කිව යුතු නැත.
එහෙත් එවැනි තත්ත්වයක් ආරක්ෂා කිරීමට තමන් සතු ප්‍රබලතම තුරුම්පු භාවිතා කිරීම පසෙක ලා ශ්‍රී ලංකා තේරීම් කමිටුව කළේ අලුත් අත්හදා බැලීම් වලට කාලය යෙදවීමටය.මේ අලුත් යන වචනයද ඔවුන්ට පමණක් වලංගු එකක් විය.එක්දින තරගාවලියේදී අලුත් පරම්පරාව ලෙස අත්දැකීම් ලබා දිය යුතු අය පසෙක සිටියදී පෙරට ගෙන ආවේ ජෙහාන් මුබාරක්ය.20/20 තරගාවලියේදී ද ජීවන් මෙණ්ඩිස් ය.මේ ක්‍රීඩකයෝ නැගී එන දක්ෂයන් යැයි කියන්නට තරම් නොදැනුවත්කමක් තේරීම් කමිටුවට තිබුණ ද,එහි යථාර්තය නම් ඔවුන් ගෙවී යමින් පවතින රෝද වැනි ය.ඔවුන් අලුත්වැඩියා කර හෝ පාවිච්චි කළ හැක්කේ අපහසුවෙන්ය.නමුත් ඩිල්ෂාන්,සංගක්කාර,සහ මහේල යනු පහසුවෙන් කට්ට ගෙවෙන් නැති රෝදය.ඒවා තව විශාල දුරක් දිවිය හැකි මට්ටමේ වන්නේය.සනත් ජයසූරිය ද සමාන කළ හැක්කේ එවැනි රෝද වලටය.පසු කලෙක ඔහු කට්ට ගෙවුණු පසුවද දුවන්න ගොස් ක්‍රීඩා ලෝලී මනාපයේ හැප්පී පළුදු ඇති කර ගත්තද,බොහෝ අසාමාන්‍ය කාලයක් දක්ෂතා නඩත්තු කළ අපූරු ක්‍රීඩකයෙකු ලෙස සනත් පමණක් නොව හෂාන් ද ගෞරවයට පත් විය යුතුය.
අද තත්තවයද එයමය.තවමත් තරගයක් දිනවිය හැකි ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමේ පෙරමුණේ සිටින්නේ මහේල,සංගා සහ ඩිල්ෂාන්ය.කණ්ඩායමකට ජයග්‍රහණය පසෙකලා අත්හදාබැලීම් කිරීමට නොහැකි බැවින් ඔවුන් තිදෙනා සමග සියල්ල කළ යුතුව ඇත.හැකියාව මෙන්ම අත්දැකීම්ද සමග පසුගිය කාලය තුළ ඔවුන් තිදෙනාගේ සුසංයෝගය කණ්ඩායමේ ජයග්‍රහණයට කෙතරම් අදාළද යන්න ඔවුන් ඔප්පු කර ඇත.එලැඹෙන 20/20 ලෝක කුසලානයට ජ්‍යෙෂ්ඨයන්ගෙන් දෙදෙනෙක් පමණයි යන පූර්ව නිගමනයට පිවිසීම හාන්න ගව්වක් තිබියදී අමුඩය ගැසීමකි.කළ යුතුව ඇත්තේ ඒ සදහා ඔවුන් තිදෙනාගේ දායකත්වය ඇතිව ජයග්‍රාහී මානසිකත්වයක් සහ ඒ පිළිබද විශ්වසනීයත්වයක් ඇති වන විදිහට තරග කළමණාකරණය සදහා අලුත් පරම්පරාවට අත්දැකීම් ලබා දීමය.එසේ නොවන විට විය හැකි ප්‍රතිපලය අපට දැන් ලැබී ඇත.ලොව හොදම 20/20 කණ්ඩායම ලෙස කිරුළු ගන්වා එය ඔවවට සෙට් වන්නේදැයි පරික්ෂා කිරීමටවත් වෙලාවක් නොතබා තේරීම් කමිටුවේ අලුත් පරමපරාව යෙදවීමේ න්‍යාය මත එය හිසෙන් ගැල වී වීසි වී ඇත.
ක්‍රිකට් ක්‍රීඩවෙන් පරණ නොවුණු ක්‍රීඩකයන් ලෙස මීට වඩා ප්‍රායෝගික තීරණ ගනු ඇතැයි සිතූ සනත් ඇතුළු පිරිසටත් පරණ තේරීම් කමිටු වලට වැළදුණු අමුතු දේවල් කර බැලීමේ රෝගය ඉතා ඉක්මණින් වැළදීම දුක්ඛදායකය.එහි දුක ක්‍රීඩා පිටියට අතේ තියන තුට්ටු දෙක වැය කර ඇතුල් වෙන ප්‍රේක්ෂකයාටත් විදින්නට සිදු වේ.ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද වගකීම අපට ඕනෑ දේ කිරීම දක්වා පටු කර ගන්නට තේරීම් කමිටුවකට අයිතියක් ඇද්ද යන්න ක්‍රීඩාව පිළිබද සමස්ත වගකීමේ මේ රටේ සමස්ත ජනතාවට වගකියන එකක් බව තේරුම් නොගන්නා ක්‍රිකට් පරිපාලකයන්වත් ක්‍රීඩා අමාත්‍යංශයවත් තේරුම් ගන්නා තෙක් අපේ ක්‍රිකට් පමණක් නොව සමස්ත ක්‍රීඩාවටම දෙවියන්ගේ පිහිටය.
අපි මේකේ ආධිපත්‍යය වෙනස් කළා යනුවෙන් පවසමින් අලුත් ක්‍රීඩකයන් ගෙන ඒමට අතාර්තික පසුබිමක් සකස් කර ගන්නා ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ක්‍රිකට් තේරීම් කමිටුවද අලුත් පරම්පරාව ලෙස යොදා ගත් ඇතැමුන් අලුත් පරම්පරාවට අයත් වන්නෝදැයි සිතීම මෙන්ම,සොයා ගත් අලුත් පරම්පරාව 35 + අයගේ ආලෝකයෙන් හැඩ ගැන්වුණු තොරණේ අජීවි රූපරාමු සේ සිටිය බව පමණක් ඒත්තු ගන්නට උත්සාහ කරන්නේනම්  ලංකාවේ ක්‍රිකට් අනාගතයට එය වඩාත් පලදායි ප්‍රවේශයක් වනු ඇත.
දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන 20/20 තරගයේ ලකුණු විස්තරයට http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/match/635659.html   සබදතාවයෙන් පිවසිය හැකිය. 
www.supirikrida.com

No comments: