Dec 16, 2012

ජනිත යළිත් සූරයා වෙයි

නත සුරත් ගේ සුපිරි දස්කම් සමග මෙවරත් ජාතික තරුණ සේවා සභාව - රූපවාහිනි සුපර් ලීග් පිරිමි සූරතාවය වරාය අධිකාරියට හිමි වුණා.ඒ අවසාන තරගයේදී ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම වට 3 - 1 ක් ලෙස පරාජයට පත් කරමින්.පළමු වට දෙක පහසුවෙන් ජය ගත්තද වරායට තියුණු අභියෝගයක් එල්ල කළ යුධ හමුදා කණ්ඩායම තෙවන වටයේ ජයග්‍රහණය දිනා ගනිමින් සහ සිව්වන වටය ලකුණු 30 - 28 ක් ජයග්‍රහණයක් දක්වා ගෙන යමින් දැක් වූ දක්ෂතා ප්‍රශස්ත මට්ටමක පැවතියා.
තරගයෙන් පසුව සුපිරි ක්‍රීඩා වෙත අදහස් දැක් වූ පරාජිත කණ්ඩායමේ පුහුණුකරු චාල්ස් තිලකරත්න ප්‍රකාශ කර සිටියේ,තරගය ජය ගැනීමට තමන්ට විශාල අවස්ථාවක් තිබූ බවයි.තමා විශ්වාස කරන අන්දමට දැනට දකුණු ආසියාවේ සිටින හොදම වොලිබෝල් ක්‍රීඩකයා ජනිත සුරත් බව පැවසූ චාල්ස් වරාය අධිකාරිය සතු එම ශක්තිය සිය කණ්ඩායමේ පරාජයට බෙහෙවින් බල පෑ බව පැවසීය.ජනිත ඉකුත් මාල දිවයින ජාතික සහ ලීග් සූරතාවලියන්හී ද දක්ෂතම ක්‍රීඩකයා වූයේ දකුණු ආසියාවේ වොලිබෝල් දැවැන්තයන් වන ඉන්දීය වොලිබෝල් ක්‍රීඩකයන් පවා තරග වදිද්දීය.
මේ අතර කාන්තා සූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගත්තේ මාවතගම කැෂුවලයින් කණ්ඩායම පරාජයට පත් කරමින්ය.එහිදී වට 3 - 0 ක් ලෙස ගුවන් හමුදාව ජය ගැනීමට සමත් විය.නමුත් මාවතගම කැෂුවලයින් ක්‍රීඩා සමාජයට සමගාමී කැෂුවලයින් යෞවන සමාජ කාන්තා කණ්ඩායම ආණමඩුව ම.ම.වි යෞවන සමාජ කණ්ඩායම පරායට පත් කරමින් අභියෝග සූරතා තරගාවලියේ ජයග්‍රහණය ලබන්නට සමත් විය.ඒ වට 3 - 1 ක් ලෙස ජය ලබමින්ය.එම අභියෝග සූරතාවයේ පිරිමි සූරතාවය වට 3 - 2 ක් ලෙස රෙඩ්කැප් යෞවන සමාජයට හිමි වූ අතර අනු සූරතාවය රුවන්වැල්ල රාජසිංහ යෞවන සමාජයට හිමි විය.
පිරිමි සුපර් ලීග් සූරතාවයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජනිත සුරත් සම්මානනීය වෙද්දී එම කාන්තා අංශයේ සම්මානය හිමි වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ඉරේෂා උමයංගනීට ය.අභියෝග සූරතාවලියේ කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නට කැෂුවලයින් යෞවන සමාජයේ හිරුනි චාපා සමත් වූවාය.පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට සමත් වූයේ රාජසිංහ යෞවන සමාජ කණ්ඩායමේ එස්පීඒඑල්පී පතිරණ ය.
www.supirikrida.com

No comments: