Dec 25, 2012

බේස්බෝල් අලුත් හිතීමක අවශ්‍යතාවය තහවුරු වෙයි

භාපතිවරයෙකු නොමැති බව ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කරන අතරේම ඊයේ සභාපතිවරයාගේ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා සංචිතයේ නායකයා විතරක් අඩුවෙන් ජපාන කනගාවා කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 11 - 4 ක පරාජයක් ලැබීය.කනගාවා රැස් කරන ලද එම ලකුණු ප්‍රමාණය ක්‍රීඩා පිටිය විවෘත කරමින් ශ්‍රී ලංකා තරුණ කණ්ඩායමට එරෙහිව ලැබූ ලකුණු 3 ට වඩා ලකුණු 8 ක් රැස් කිරීමක්ය.
එම තරගය සජීවි ව විද ගත් ඕනෑම අයෙකු තරගය නිම වන තෙක් කනගාවා ක්‍රීඩකයෝ තැති ගැන්මකින් ක්‍රීඩා කළ බව දුටූහ.ඒ නිසා පීඩනය ලකුණු 11 ක් තරම් දුර යෑමේදි මදක් හෝ සැහැල්ලු විය හැකි වුව ද,ලකුණු 3 සීමාවේදි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉදිරියේ කනගාවා කණ්ඩායමට සැහැල්ලු විමට කිසිදු අවකාශයක් නොවිණ.
ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සහ කනගාවා කණ්ඩායම
විශේෂයෙන් ශ්‍රී ලංකා නායක ක්‍රිෂ්න හපුආරච්චි සහ 2009 දී අවුරුදු 18 න් පහළ ආසියාවේ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස පවා අභිෂේක ලැබූ මධුරංග ප්‍රියනාත් දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අතර ඒ අතරට ඉතා ඉක්මණින් ජෙරුසනා සුබ්‍රමනියම්,රශ්මික විජයංග සහ ඉෂාර තෙන්නකෝන් ද එක් විය යුතු බව කණිෂ්ඨ ක්‍රීඩක දක්ෂතා විමසද්දී පැහැදිළි විය.මේ පිළිබදව විමසා බලද්දී කණ්ඩායම අලුත් වීමට අලුත් තේරීමකට මේ වන විට පියවර ගෙන නොමැති වීමේ අඩුව ඊට හේතුව විය හැකි බව පෙනෙන්නට තිබුණද,පෞද්ගලික න්‍යාය පත්‍ර වලින් බැහැරව ශ්‍රී ලංකාව පෙරමුණේ තබා කටයුතු කරන්නේ නම් එකම ක්‍රීඩකයාට කණ්ඩායම් කිහිපයකට ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දීමෙන් හෝ එවැනි අනීතික සහ සම්ප්‍රදායික නොවන තත්ත්වයන්ට පෙළඹීමෙන් වැළකී,මේ පිටිය යොදා ගෙන වැඩි වාරයක් තේරීම් තරග පැවත්වීම වටින්නේය.
නාලන්ද කණ්ඩායම සහ කනගාවා කණ්ඩායම
 ජාතික මට්ටමේ ක්‍රීඩා කිීමෙන් අත්දැකීම් ඇති කැපවීමෙන් ක්‍රියා කළ හැකි තේරීම් කමිටුවක් මගින් මේ තත්ත්වය ඇති කළ හැකි අතර බේස්බෝල් සංගමය පවත්වන තරගාවලි දෙකේදී ක්‍රීඩකයන්ට කණ්ඩායම් මාරු කර වෙනස් කණ්ඩායම් වලට එකම පිරිසකට ක්‍රීඩා කිරීමේ අවකාශ සැළසීමේ ‍විහිළුවෙන් නැවතී,දක්ෂ ක්‍රීඩකයන් තෝරා දක්ෂතම කණ්ඩායම් කිහිපයක් නිර්මාණය කර සංගමය මගින් තරග පැවත්වීම වටින්නේය.උදාහරණයකට උඩරට බ්ලූ සහ රෙඩ් ලෙස කණ්ඩායම් දෙකක් බටහිර යෙලෝ සහ ග්‍රීන්  ලෙස කණ්ඩායම් දෙකක් ලෙස ඒ ආකාරයට නම් කරන ලද දකුණ, වයඹ ආදි කණ්ඩායම් ද නම් කර මෙම තරගාවලිය පැවත්වීමට හැකියාව ඇත.
එය ඉතා ස්වාධින සහ විශ්වසනීය මට්ටමෙන් ද ඉහළ තරගාවලියක් මෙන්ම සැබෑ දක්ෂයන්ට බේස්බෝල් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරිමට අවස්ථාව දිනා ගැනීමට කරන සාධාරණ පරීක්ෂණයක්ද වනු නිසැකය.
ජාත්‍යන්තර විනිසුරු සුජීව විජේනායක
නැවත කනගාවා දෙසට හැරීමේදී ඔවුන් ශ්‍රී ලංකා පාසල් සූරයන් වන නාලන්දාව පරාජය කළේ ලකුණු 28 - 1 ක් ලෙස ය.එය ඉතාම ඛේදණිය සහ පසුබස්නා සිතුවිලි ඇති කරන පරාජයක් විය.ලොව ඉහළම බේස්බෝල් සංස්කාතියක් ඇති රටක් ලෙස සැළකෙන ජපානයේ ඇකඩමි කණ්ඩායමක් යනු අපේ ජාතික කණ්ඩායමටත් ඉදිරියෙන් තිබෙන කණ්ඩායමක් බව තේරුම් ගැනීම අපහසු නැත.එය සභාපතිගේ කණ්ඩායම ලෙස ඉදිරිපත් වූ අපේ ජාතික කණ්ඩායමට අත් වූ ඉරණමෙන්ම පැහැදිළිය.
මෙය ජාතික බේස්බෝල් පරිපාලනය දන්නා දෙයකි.ඒ නිසා පරාජය ක්‍රීඩාවට ඇති උනන්දුව හීන කරන සහ මන්දෝත්සාහී පරාජයක් වීම වැළකිය යුතුය.
එවැනි තත්ත්වයක කනගාවා තරුණ කණ්ඩායමේ වයස මට්ටම සැළකිල්ලට අපේ පාසල් සූරයන්ට ඔවුන් හා තරග වැදීමට ඉඩ සැකසීම ළදරු පාසල් දරුවෙකු සහ උසස් පෙළ දරුවෙකු අතර මීටර් 100 තරගයක් පැවත්වීම වැනිය.හාවා සහ ඉබ්බා ගේ තරගයේදී මුග්ධ හාවා සිතූ සහ ක්‍රියා කළ ලෙස ක්‍රියා කරන්නට ජපානය නොසිතුවේ නම් මේ තරගයේ ඉරණම 28 - 1 ක් වීම සාමාන්‍ය දෙයක් බව බලධාරීන්ට නොතේරීම කණගාටුදායකය.
වටනබේ බේස්‍බෝල් ක්‍රීඩාංගණයේ සිහිනය සැබෑවක් කළ උත්තරීතර මිනිසා
ජාතික ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම හෝ ක්‍රීඩා සමාජ සූරතාවය දිනූ කණ්ඩායම පිළිබදව නොසිතා හෝ නැතිනම් සභාපති ගේ හෝ ලේකම් ගේ කණ්ඩායමක් ලෙස නිර්මාණය කරන ලද කණ්ඩායමක් පිළිබදව නොසිතීමෙන් පරිපාලනය ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාවට මෙන්ම නාලන්දයේ බේස්බෝල් ක්‍රීඩාවටද පරාජයට වඩා හානියක් කළ බව තේරුම් ගත යුතුය.
ජාතික පරිපාලනයක් සිය හෘදයාංගම බැදීම් වලින් මිදී ක්‍රියා කළ යුතුය.හැගීම් වලට වඩා බුද්ධියට ඉඩ දිය යුතුය.එසේම බලය යනු පාවාඩ සහ පිරුවට ය.සදාකාලික උරුමයන් නොවේය.ඒ තත්ත්වය තේරුම් ගෙන සිය දරු මල්ලන්ට සමාජ පූර්වාදර්ශයක් ලෙස සිය පියවරුන් සහ මව්වරුන් පිළිබදව ආඩම්බරයෙන් කතා කරන සමාජයක් ඉතිරි කර දීම පිලිබදව හැගිම්බර වන්නේ නම් එය වඩාත් බුද්ධිමත් තීරණයක් වනු සැක නැත.
අප අපට ලැබුණු අවස්ථා වෙන්දේසි කර අවසන් බැවින් එහි ලාභ අලාභ කතා කරන්නට යාම පල නැත.අලාභය රටට ද බලපාන බැවින් ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීම හෝ ඊට එරෙහිව කැරළි ගැසිමට වඩා වටින්නේ එහි යථාර්තයට අනුව කටයුතු කර බේස්බෝල් ක්‍රීඩාංගණයේ සැබැ ආශිර්වාදය දිනා ගැනිමය.මිලියන ගණනක සිහිනයක් අපට සැබෑවක් කර දෙන්නට ජපානය වෙහෙසුණ බව ඇත්තය.ඒ සිහිනය යථාර්තයක් වූ බිමේ අප වැඩි දුර  නොසිතා නිරුවතින් දිවගිය බවක් පෙනෙන්ට ඇත.
ජපානය, හිරෝසිමා - නාගසාකි  ‍ඛේදවාචකයෙන් නැගිටි රටකි.වසරකට ආසන්න කාලයකදි සුනාමි අනතුරෙන් යළි ඉපදී ඇත.ඔවුන් ඒ අතර අප වැනි රටවලට සහෘදත්වයේ උණුසුම් දෑත දිගු කරන්නෙමු.අප ඔවුන් නැගිට්ටේ කෙසේද යන්න තඹයකට මායිම් නොකර තවමත් අද දවසේ ජයග්‍රහණ පිලිබදව පමණක් සිතන අනාගතය පිළිබද බර සිහින නැති රටක් ලෙස හුරේ දමමින් සිටිමු.
ජපානයේ බේස්බෝල් යනු හුදෙකලා වික්‍රමයක් නොවන එහි දේශපාලන යාන්ත්‍රණයේ පිබිදීම ප්‍රකාශ කරන කොටසක් බව සිතන්නට දේශපාලනික වූ දැක්මක් සහ පදනමක් බේස්බෝල් පරිපාලනයට ඇවැසිය.
එවිට රටක ක්‍රීඩාව සෙල්ලමක් නොවන ජාතික සංවර්ධනයේ සැළසුම් සහගත විෂය ධාරාවක් බව වැටහෙනු ඇත.ඒ තුළ කිසි විටෙක මගේ යන්න වෙනුවට අපේ යන්න ප්‍රකාශ වන්නේ එවිටය.ජයග්‍රහණ මගේ සීමාවෙන් එපිට වඩා පුළුල් අපේ ඒවා බවට පත්වන්නේද එවිටය.මෙය ලංකාවේ බේස්බෝල් වලට පමණක් නොව සියළු ක්‍රීඩාවන්ටද අදාළ විය හැකිය.
ඡායාරූප - එස් සුන්දරරාජන්
www.supirikrida.com



No comments: