Oct 29, 2012

සියල්ලම පැරදුනත් ශ්‍රී ලංකා යෞවනයෝ අවසන් අටට පිවිසෙති

රානයේ ටෙහෙරාන් නුවර පැවත්වෙන ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ සහ වර්ගීකරණය අනුව පවත්වන වටයේ සියළුම තරග පරාජයට පත් වුව ද,අවසාන කණ්ඩායම් අට අතරට පිවීසිමට හැකි වී ඇත.පළමු වටයේ සිටම ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් සමග ගැටෙන්නට වු ශ්‍රී ලංකා යෞවනයන් එම ප්‍රබලත්වයට සාපේක්ෂව ගත් විට හොද සටනක් ලබා දෙන්නට සමත් විය.පළමු වටයේදි ශ්‍රී ලංකාව ඇතුළත්න සිටි කාණ්ඩයේ කුවේට් කණ්ඩායම සහ මොංගෝලියාව ඉවත් වීම නිසා ආසියානු යොවුන් සූරයන් සමග ශ්‍රී ලංකාව හුදෙකලා විය.ඒ අනුව වර්ගීකරණය අනුව පවත්වන වටයේදී ද ශ්‍රී ලංකාව එම කණ්ඩායමෙ අන්තිමයා ලෙස චීන තායිපේ සහ දකුණු කොරියාව සමග තරග කිරිමට පිවිසි අතර ඊයේ පැවති චීන තායිපේ සමග තරගයේදී ශ්‍රී ලංකා යෞවනයෝ අති විශිෂ්ඨ දස්කම් පෙන්වමින් චීන තායිපේ කණ්ඩායමට විශාල තර්ජනයක් ලබා දුන්නේය.
තරග වට 3 - 2 ක් ලෙස කියවුණු චීන තායිපේ කණ්ඩායමේ ශ්‍රී ලංකාවට එරෙහි ජයග්‍රහණයේ සමස්ත ලකුණු එකතුව 110 - 92 ක් විය.25 - 17 ,25 - 18 සහ 15 - 7 ලෙස තරගයේ පළමු වටය,සිව්වන වටය සහ පස්වන වටය ජය ගත් චීන තායිපේ කණ්ඩායමට එරෙහිව තරගයේ දෙවන වටය සහ තෙවන වට පිළිවෙළින් ලකුණු 25 - 23 සහ 25 - 22 ක් ලෙස ජය ගන්නට ලාංකික යෞවනයෝ සමත් වූහ.එම ගෞරවණිය පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම 30 දා අවසන් කණ්ඩායම් අට අතර වන තරග වටයේ පළමු තරගයට මුහුණ දෙන අතර එහිදී ප්‍රතිවාදියා වන්නේ චීනය ය.
www.supirikrida.com

No comments: