Sep 22, 2013

විනුර ලක්මාල්ගෙන් රත්තරන් පිම්මක්

මැලේසියාවේ ක්‍රියාත්මක ප්‍රථම ආසියානු පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේ තෙවන දිනයේ දී ශ්‍රී ලංකා පදක්කම් සටහනට තවත් රන් පදක්කමක් එකතු කරන්නට විනුර ලක්මාල් සමත් වුණා.මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ සිසුවෙකු වන විනුර දුර පැනීමේ ඉසව්වෙදී මීටර් 7.21 ක දස්කමක් දක්වමින් ශ්‍රී ලංකා පදක්කම් සටහනට  තෙවන රන් පදක්කම එකතු කරන්නට සමත් වුණා.ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකාව දිනා ගෙන සිටින සමස්ත පදක්කම් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබුණු අතර එයට රන් පදක්කම් තුනට අමතරව රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් එක්ව තිබෙනවා.
තරගාවලියේ තෙවන දින‍යේදී  ශ්‍රී ලංකාවට එක් රිදී පදක්කමක් හිමි වු අතර එය බාලිකා මීටර් 100 සහය දිවීමේ තරගයේදී දිනා ගන්නට සමත් වුණා.තත්පර 47.56 ක කාලයකින් සිය ඉසව්ව නිමා කරමින් දෙවන ස්ථානයට පත් මෙම කණ්ඩායමට කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ආර්එම්ආර්කේ රත්නායක,මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ මේධනී වික්‍රමනායක,පානදුර ශ්‍රී  සුමංගල බාලිකාවේ සාරංගි සිල්වා සහ කොළඹ කාන්තා විද්‍යාලයේ සලින්දා ප්‍රනාන්දු අයත් වුණා.බාලක මීටර් 100 සහය දිවීමේ තරගයේදී ශ්‍රී ලංකාවට හිමි වුණේ ලෝකඩ පදක්කමක් වන අතර තත්පර 42.85 කින් ඉසව්ව නිමා කළ එම කණ්ඩායමට රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ සමිත් ලක්මාල්,මාර්ස්ටෙල්ලා විද්‍යලයේ විනුර ලක්මාල්,කදාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ යොමාල් රවිසාර සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ සතිර ශානක ඇතුළත් වුණා.
ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවට සිය දෙවන පදක්කම ලෙස වලල ඒ රත්නායක විද්‍යාලයේ ඒඑම්එම්පී අබේසිංහ ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට සමත් වූ අතර සහය දිවීමේ පදක්කම් සමග ආර්එම්ආර්කේ රත්නායක සහ සමිත් ලක්මාල් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ දිවිත්න පදක්කම්ලාභින් බවට පත් ව සිටිනවා.මේ අතර මීටර් 100 සහය දිවීමේ පදක්කමත් සමග විනුර ලක්මාල් මේ වන විට දිනා ඇති පදක්කම් සංඛ්‍යාව තුනක් වන අතර ඔහු බොහෝ විට මීටර් 400 සහය ඉසව්වේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇත.
අද උදෑසනම පැවති බාලිකා උස පැනීමේ ඉසව්වේදී ජයග්‍රහණය මීටර් 1.55 ක ට සීමා වූ අතර එම උස ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු වෙතින්ම වාර්තා වුණා.ඉසව්ව ක්‍රියාත්මක වූ ආකාරය සැළකිල්ලට ගෙන තරගයේ ස්ථාන තීරණය වූ අතර එහිදී ප්‍රථම ස්ථානයක් සහ දෙවන ස්ථාන දෙකක් සහ සිව්වන ස්ථානයක් නම් කළ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ ජයමාලි ගුණරත්නට සිව්වන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වුණා.
මේ සමග වන ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන හලාවත ආනන්ද ජාතික පාසලේ කේඑම්පී ජයවර්ධන කවපෙත්ත වීසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් අවස්ථාවේ ජය සංඛේත ප්‍රදානයට සහභාගි වූ අයුරුයි.
www.supirikrida.com

No comments: