Oct 23, 2013

පකිස්තානයට සූරතාවය - තරගාවලියේ වීරයා යොහාන්

සිව්වන ජගත් නීතිඥ කුසලානය ඊයේ නවදිල්ලි නුවර දී නිමාවට පත් වූ අතර මෙවර සූරතාවය දිනා ගන්නට පකිස්තානයට හැකි විය.අවසාන තරගයේදී සත්කාරක ඉන්දියාව පරාජය කරමින් පකිස්තානය සූරතාවය දිනා ගත් අතර තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.තරගාවලියේ ක්‍රීඩක දක්ෂතා සැළකිල්ලට ගනිමින් මෙම තරගාවලි ඉතිහාසයේ තරගාවලියක වටිනාම ක්‍රීඩක සම්මානය දෙවන වරටත් ශ්‍රී ලංකාවට හිමි ව අතර මෙවර එම ගෞරවය ලංකාවට ගෙන ආවේ යොහාන් ජිනසේනය.මීට පෙර ද පළමුවන තරගාවලිය ඉන්දියාවේදී පැවත් වු අවස්ථාවේදී ද තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වූ අසේල පටබැදි මෙවර කණ්ඩායමට නායකත්වය දීම ද විෂේශත්වයකි.
තරගාවලිය ක්‍රියාත්මක වූ ස්වභාවය අනුව මූලික වටයේ තරග වල දී සියළුම කණ්ඩායම් එකට මුණ ගැසුණු අතර එම අවස්ථවේදි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.නමුත් තරගාවලියේ අග භාගය වන විට දක්ෂතා අතරට පිවිසි ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව පන්දු ඕවර් 30 දී ලකුණු 336 ක් ලබා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දැක් වූ නමුත් තරගාවලිය පැවත් වු ක්‍රමයට අනුව අවසාන පූර්ව තරග නොපැවත් වූ අතර මූලික වටයේ ලකුණු සටහනේ පළමු කණ්ඩායම් දෙකට පමණක් අවසාන තරගය හිමි විය.ඒ අනුව ශ්‍රී ලංකාවට අවසාන තරගය සදහා පිවිසීම උරගා බලන්නට නැවත අවස්ථාවක් නොපැමිණි අතර සූරයන් සහ අනු සූරයන්ට එරෙහිව හැර අන් සියළුම කණ්ඩායම් වලට එරෙහිව ශ්‍රී ලංකාවට තරග ජය ගැනීමේ අවස්ථාව හිමි විය
කණ්ඩායමේ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක පැවති අතර පිත්තෙන් ප්‍රියන්ත රාජපක්ෂ,රොෂාන් ඩී රෆායෙල්,යොහාන් ජිනසේන,එර්ෂාන් ආරියරත්නම් සහ නායක අසේල ජයකොඩි දක්ෂතා දැක් වූ අතර පන්දු යැවීමේදී තුසිත පල්ලේවත්ත කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් ද,ප්‍රදීප් හීන්කෙන්ද එංගලන්තයට එරෙහිව කඩුලු පහක් ලබා ගනිමින් ද දක්ෂතා දැක් වූ අතර තරගාවලියේ වීරයා බවට පත් වු යොහාන් ජිනසේන ද තරග ජයග්‍රහණයට අවශ්‍යය දායකත්වය පන්දුවෙන් නිරතුරුව ලබා දුන්නේය.
තරගාවලිය පුරාම පිත්තෙන් සහ පන්දුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල සේවයක් කරමින් තරගාවලියේ වීරයා වූ යොහාන්,පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙකු වන අතර ඔහු සහභාගි වූ තෙවන ලෝක කුසලාන නීතිඥ ක්‍රිකට් .තරගාවලිය මෙය විය.2009 දී එංගලන්තයේදී ත්,2011 දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී ත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජගත් නීතිඥ කුසලාන ක්‍රිකට් තරගාවලි නියෝජනය කර ඇති යොහාන් පානදුර ප්‍රදේශයේ සිවිල් නීතිය සම්බන්ධයෙන් පෙනී සිටින ප්‍රසිද්ධ නීතිඥවරයෙකු ලෙස කැපී පෙනෙයි.
ජගත් ක්‍රිකට් පිටියේ ස්වභාවය අනුවද ක්‍රිකට් හී ප්‍රමුඛස්ථානය ක්‍රමයෙන් දකුණු ආසියාව සතු වෙමින් තිබෙන අතර ජගත් නීතිඥ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද මෙම තත්ත්වය ඒ අයුරින්ම දැක ගන්නට ලැබිණ.පළමු තැන පකිස්තානයටත් දෙවන තැන ඉන්දියාවට සහ තෙවන තැන ශ්‍රී ලංකාවට හිමි වු මෙම තරගාවලිය ද දකුණු ආසියාවේ ක්‍රිකට් දක්ෂතාවග ආධිපත්‍යයට යටත් වූ තරගාවලියක් ලෙස නිමාවට පත් විය.මෙවර ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවින පළමු පෙළ කණ්ඩායම් පුහුණුකරුවෙකු මෙන්ම ජනමාධ්‍යවේදියෙකු වන රන්ජන් පරණවිතාන කටයුතු කළේය.
www.supirikrida.com

No comments: