Oct 4, 2012

පාසල් බැඩ්මින්ටන් ගැන හොයා බලන්න -අධ්‍යාපන ඇමති

මේ මොහොතේ ක්‍රියාත්මක වන කණිෂ්ඨ පාසල් බැඩ්මින්ටන් තරගාවලිය අක්‍රමිකතාවලින් පිරුණු  එකක් බව සුපිරි ක්‍රීඩා විසින් පෙන්වා දීමෙන් අනතුරුව,අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන එම කරුණු පිළිබදව සොයා බලන ලෙස ශාරිරික අධයාපන සහ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට එසැනින්ම නියෝග කළේය.සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පිළිබදව පැවති මාධ්‍ය හමුවේදී මෙම කරුණු හෙළිදරව්ව සිදු වූ අතර ක්‍රීඩා අධයක්ෂවරයා ප්‍රකාශ කළේ තමන්ටද ඒ සම්බන්ධයෙන් පැමිණිළි ලැබී ඇති බවය.නමුත් කිසිවෙක් ලිඛිතව කරුණු ඉදිරිපත් නොකිරීමෙන් පරීක්ෂණ කළ නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙහිදි අමාත්‍යවරයා ලේකම් ගෝඨභය ජයරත්නයන්ට සහ අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේ මාධ්‍ය වාර්තා සහ ලැබෙන තොරතුරු මත පරීක්ෂණ අරඹන ලෙස ය.මෙහිදී කණිෂ්ඨ සංචාරයකට ජාතික සංගමයේ උප සභාපතිවරයෙකුගේ ආවතේව කරුවෙකු කළමණාකරු ලෙස යැවීම පිළිබදවද ජනමාධ්‍යවේදීන් කරුණු දැක් වූ අතර එහිදී අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ එය තමන් ගේ නිර්දේශ නොසළකා කටයුතු කිරීමක් ලෙසය.ජාතික සම්මේලනයේ අවිධිමත් ක්‍රියා පටිපාටිය රකින රූකඩයක් බවට පාසල් සංගමය පත්ව තිබෙන බවට කළ චෝදනා සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා තව දුරටත් කරුණු පැහැදිළි කිරිමක් කරමින් ආසියානු සම්මේලනයේ කණිෂ්ඨ තරග සදහා ලංකාවට සහභාගි විය නොහැකි අවදානමක් තිබෙන බව මාධ්‍යයට හෙළි කළ අතර එය ජාතික සංගමය කරන ලද වගකීමක් පාසල් සංගමය මත පැටවීමෙන් සිදු වූවක් බව ද අනාවරණය කළ අතර ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ලේකම්වරයාගෙන් උපදෙස් ලබා ගැනීම පිණිස ලිපියක් සකස් කර ඇති බවද,අධ්‍යක්ෂවරයා පැහැදිළි කළේය.
පැවත්වෙන කනිෂ්ඨ තරගාවලියේ කිසිම කලාප සංවිධායකවරයෙකු තරග කාල සටහන සෑදීමට එක් කර ගෙන නැති වීම පිලිබදව තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් මේ නිසා විශාල නිතරග ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තාවී තිබීම,නිසි පරිදි සංනිවේදනය නොවීම නිසා උතුරු නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික් ගණනාවකින් ක්‍රීඩකයන් විශාල වශයෙන් තරගාවලියට සහභාගි නොවීමත් පිළිබදව අධ්‍යක්ෂවරයාටද තොරතුරු ලැබී තිබෙන බව ඔහු පිළිගත්තේය.ඒ සමගම ගම්පහ ප්‍රදේශයේ යම් අයෙකු විසින් විදේශ සංචාර සදහා ළමුන් සහභාගි කරවීමත්,ඒ ළමුන්ට කලාප තරග වලට සහභාගි නොවී මෙම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබා දීමත් පිළිබදවද එම සාකච්ඡාව පැවත්වෙන විටත් අධ්‍යක්ෂවරයාට පැමිණිලි ලැබී තිබිණ.
නිසි පරිදි තරග කාල සටහන ඉදිරිපත් නොකිරීම සහ එය ප්‍රමාදව ඉදිරිපත් ජාතික සම්මේලයේ නිල වෙබ් අඩවියට ඇතුලත් කිරීම සහ තරග පැවත්වෙන විට එහි ඇති අපිළිවෙල සම්බන්ධයෙන් නැගුණු චෝදනා මතත්,ඇතැම් අයගේ ඕනෑ එපා කම් මතත් නැවත තරග සටහන වෙනස්වීම ගැන ද මාධ්‍යවේදීන් කරුණු ඉදිරිපත් කරන විටත් අධ්‍යක්ෂවරයාද දැනුවත්ව තිබිණි.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා සුපිරික්‍රීඩා වෙත ඒ පිළිබදව සොයා බැලීමට බැඩ්මින්ටන් සංගමයේ ලේකම් වරයා මෙන්ම තරග ලේකම්වරියද සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් ප්‍රමාණය සිය දුරකථනයේ ඇති ඇමතුම් ප්‍රමාණයෙන්ම පෙන්වා දුන් අතර එහිදී ඔවුන් දුරකථන ක්‍රියා විරහිත කර හෝ ඇමතීමට සම්බන්ධ නොවන බව ද පෙන්වා දුන්නේය. ඇති වී තිබෙන බරපතළ තත්ත්වය  පාසල් බැඩ්මින්ටන් සංගමය විසුරුවා දැමීමට තරම් බලවත් වෙමින් තිබෙන බව ද ක්‍රීඩා  අධ්‍යක්ෂවරයා පැහැදිළිව ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්නයන් ද තමන් ද මේ ඇති වී තිබෙන තත්ත්වය සොයා බැලීමට සූදානමින් සිටින බව පැහැදිළි කළ අතර තොරතුරු ලබා දෙන ලෙස ජනමාධ‍්‍යයෙන් ද විශේෂ ඉල්ලීමක් කළේය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාසල් සිසුන් ප්‍රමුඛස්ථානයේ රදවා කටයුතු කළ යුතු බවත් එසේ නොකරන අවස්ථාවන් වලදී තරාතිරම නොබලා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිය අමාත්‍යංශය නොපැකිළිව ඉදිරිපත් වන බවද පැහැදිළි කළේය.
www.supirikrida.com

No comments: