Jun 14, 2012

ඉතිහාසයේ හොදම අස්වැන්න


සියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලි ඉතිහාසයේ හොදම අස්වැන්න වූ රන් 02,රිදී 02 සහ ලෝකඩ 02 ලෙස වූ පදක්කම් සටහනට පිවිසෙමින් 15 වන ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ අවසානයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට හැකි විය.මේ ජයග්‍රහණ ලබා දීම වෙනුවෙන් කැපවුණු පුහුණුකරුවන් අතර කණිෂ්ඨ පුහුණුකරුවන් වැඩි පිරිසක් දකින්නට ලැබුණු අතර වැඩි දෙනෙකු පාසල් පුහුණුකරුවන් වීම හරහා ක්‍රීඩාවේ ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් ද දෙවන පෙළක් සිටින වග පැහැදිළි විය.
ක්‍රීඩා අමාත්‍යංශයට සම්බන්ධ එක පුහුණුකරුවෙක්,ඉහළ නිලධාරියෙක් සහ පෞද්ගලික මට්ටමේ පුහුණුකරුවෙක් හැරෙන්නට මෙම පදක්කම් සදහා දායක වූ සෙසු සියල්ලෝ පාසල් පුහුණුකරුවෝ වූහ.ඒඩී නන්දාවතී - කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය(ශිවන්ති කුමාරි රත්නායක),ලක්ෂ්මන් හපුආරච්චි - රණබිම රාජකීය විද්‍යාලය(සුපුන් විරාජ් රත්නායක),නිශාන් හේරත් - ගලෙන්බිදුනුවැව මධ්‍ය මහා විද්‍යාලය(මධුෂානි නිමේෂා සිරිවර්ධන),ස්වර්ණපාලිත -වලල ඒ රත්නායක විද්‍යාලය(සුබෝධා කාංචනා කුමාරි), පාසල් ශාරීරික අධ්‍යාපන ගුරුවරු ය.චාමිකා ජයමිණි ගේ පුහුණුකරු බීආර් පාලිත ද එවැනිම ගුරුවරයෙකුව සිට පසුව ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂකවරයෙකුව සිට විශ්‍රාම ලැබූ අයෙකි.පවිත්‍රා හංසනී ගේ පුහුණුකරු වන උපාලි විජේසිංහ ද පාසල් පද්ධතිය නියෝජනය කරන අතර නමුත් ඔහු ක්‍රීඩා ගුරුවරයාගේ අඩු පාඩුව පුරවන වෘත්තීයෙන් ගණිත පුහුණු ගුරුවරයෙකි.
ඊට අමතරව චන්දන අමරසිංහ (දුලාජ් ධනුෂ්ක) ක්‍රීඩා නිලධාරියෙකු වන අතර ඉදුනිල් හේරත්ට ගුරුහරුකම් ලබා දෙන සජිත් ජයලාල්  වර්ථමානයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ය.නදීශානි හෙන්ඩර්සන් ගේ පුහුණකරු වන්නේ පුහුණුකරු වෘත්තියේ ප්‍රවීනයෙකු වන සුනිල් ගුණවර්ධනය.
මේ පිංතූරයෙන් පැහැදිළිවන්න බොහෝ දෙනෙකු ක්‍රීඩාවේ දැණුම ස්පර්ශ කළ හැකි මග දෙපස බොහෝ නැවතුම් මගහැර යන මොහොතක පාසල් ක්‍රීඩා ගුරුවරයා විභාග අවශ්‍යයතාවය නිසා හෝ න්‍යායාත්මකව සහ විද්‍යානුකූලව දැණුම එකතු කර ගන්නටත් භාවිතා කරන්නටත් දක්වන උනන්දුව නිසා කෙමෙන් ප්‍රායෝගිකව වැඩෙන බවය. ඒ තත්ත්වය පැහැදිළිව හදුනා ගන්නට ලැබීමද මේ තරගාවලියේ ජයකි.
එසේම ක්‍රීඩා අමාත්‍යවරයා ගේ අවධානයට ලක් ව තවත් කාරණයක් වන්නේ මේ වන විට ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා සිටින පස් දෙනාට අමතරව මීටර් 400 රන් පදක්කම දිනූ ශිවන්ති කුමාරි රත්නායක සහ මීටර් 3000 ලෝකඩ පදක්කම දිනූ චාමිකා ජයමිණි ට ද වරප්‍රසාද ලැයිස්තුව යටතේ ජගත් කනිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ අත්දැකීම් ලබා ගන්නට හැකි පරිසරයක් සැකසීමය.එසේම කාන්තා මීටර් 4 x 400 කාන්තා ඉසව්වේ දී ශ්‍රී ලංකාව දිනූ රන්පදක්කම වෙනුවෙන් වාර්තා කළ විනාඩි 3:46:76 ජගත් කණිස්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන්නට සුදුසුකමක් ද විය හැකිය.
ඒ සදහා සංචිතයේ සිටින අත්දැකීම් ඇති නයෝමිකා ගිම්හානි ජයතිලක සහ පබසරා සේනානායක ද ඇතුලත් කර මීටර් 400 තේරීම් තරගයක් පවත්වා එයින් සුදුසුවන හොදම සිව්දෙනා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සමග තරග වදින්නට යොදා මේ කාලය වඩාත් දියුණු කර ගැනීමේ හැකියාවක් ද පවතින බැවින් මෙවැනි යොවුන් කණ්ඩායමකට ජාත්‍යන්තර අත්දැකීමක් ලබා ගැනීමට ඇති අවශ්‍යයතාවය රට ගැන සිතා මලල ක්‍රීඩා බලධාරීන් තහවුරු කරන්නට කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
එසේම ක්‍රීඩකයන්ට අවශ්‍යය ක්‍රීඩාවේ නීතිමය දැණුම නිවැරදිව සම්පාදනය නොකිරීම නිසා ශ්‍රී ලංකාවේ  මීටර් 4 x 400 පිරිමි කණ්ඩායමට පදක්කමක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.මීටර් 400 අවසාන තරගය පවා නියෝජනය කළ අතුරුපාන නැතිව තරග වැදි  ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ නිසා කිසිදු පදක්කමක් නොමැතිව සිව්වන තැනින් නවතින්නට සිදු විය. කෙසේ හෝ ඉතිහාසයේ වැඩිම වටිනාකමක් එක් වූ ක්‍රීඩා උළෙල ලෙස ශ්‍රී ලංකාව මේ ක්‍රීඩා උළෙලෙන් සංතෘප්තියට පත් වීමෙන් නොනැවතී ඒ මතු වූ දක්ෂතා රැක ගැනීමට සහ වර්ධනයට ගත යුතු ක්‍රියා මාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම වඩා වටින්නේය.

No comments: