Jan 15, 2012

සන්නාලියන්ගේ ශක්තිය ඉදිරියේ ත්‍රිවිධ හමුදාව පසුබසී

                                                 ජයග්‍රාහී MAS පවුල




මෙවර ජාතික බොක්සිං සූරතාවලියේ දී ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා බොක්සිං ක්‍රීඩකයන්ගෙන් එල්ල වූ අභියෝග මැඩ පවත්වා පිරිමි සහ කාන්තා බොක්සිං සූරතා ද්විත්වයම ජගත් ඇගළුම් කර්මාන්ත කේෂ්ත්‍රයේ කීර්තිමත් නමක් ඇති MAS පුවුලේ ආයතන  හරහා ක්‍රියාත්මක වන ස්ලිම්ලයින් බොක්සිං සමාජය සහ MAS සදර්න් බොක්සිං සමාජය විසින් දිනා ගන්නා ලදී.අවසාන තරග වලදි ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රබල සටනක් ලබා දුන්න ද,අවසාන තරග සදහා වැඩි ක්‍රීඩක ප්‍රමාණයක් තේරී පත්ව සිටීමේ වාසිදායක තත්ත්වය නිසා ස්ලිම්ලයින්ක්‍රීඩා සමාජය පිරිමි සූරතාවය සදහා පහසුවෙන් හිමිකම් කියූ අතර කාන්තා අංශයේදී ද යුධ හමුදාවෙන් යම් තර්ජනයක් එල්ල වන බවක් පෙණුනද වැඩි ප්‍රමාණයක් අවසාන තරග වල දී මාස් සදර්න් ඒ සහ බී ක්‍රීඩිකාවන් තරග වැදීමේ තත්ත්වයක් දක්නට ලැබුණු අතර මේ වාසිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මාස් සදර්න් ඒ ක්‍රීඩිකාවෝ ඉතා පහසුවෙන් සූරතාවය අත්පත් කර ගත්හ.
   දක්ෂතම ක්‍රීඩිකාව නිල්මිණි (නිල්)දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව සුමුදු (රතු)

පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ටීඩීඑන්ටී ජයකොඩි ගෞරවයට පාත්‍ර වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගෞරවය දිනා ගත්තේ මාස් සදර්න් ක්‍රීඩා සමාජය නියෝජනය කළ නිල්මිණි ජයසිංහ ය.දක්ෂතම පරාජිතයන් ලෙස පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ සිසිර කුමාරසිංහත්, කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ පීකේ සුමුදුත් ගෞරවයට පාත්‍ර වූහ.ආසියානු බොක්සිං සූරතාවලිය සදහා තේරීම් තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේ දී කාන්තා අංශයේ දී ඔලිම්පික් බර පංති දෙක ලෙස සැළකෙන කිග්‍රෑ.51 බර පංතියෙන් තරග වැදි අනූෂා කොඩිතුවක්කු සහ කිග්‍රෑ 60 බර පංතියෙන් තරග වැදි නිල්මිණි ජයසිංහ ට ප්‍රමුඛතාවය හිමිවනු ඇතැයි විශ්වාසය පළවිය.2011 වසරේ කැපී පෙණුනම බොක්සිං ක්‍රීඩකයා වීමේ ගෞරවය ස්ල්ම්ලයින් ක්‍රීඩා සමාජයේ සුරේෂ් පට්ටියආරච්චි දිනා ගනිද්දී වසරේ හොදම බොක්සිං ක්‍රීඩා සමාජය වීමේ ගෞරවය දිනා ගන්නට ශ්‍රී ලංකා යුධ හමුදාවට හැකි විය.
වසරේ හොදම බොක්සිං කණ්ඩායම - ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම

තරගාවලියේ අවසාන තරග සදහා පිවිසි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සළකා බලද්දී ක්‍රීඩාව පාසල් මට්ටමේ දී හැදෑරු පිරිස අඩු මට්ටමක පැවතිම පැහැදිළිව දකින්නට ලැබිණ.ඒ හේතුව නිසා ක්‍රීඩා රටාවේ මූලික හර පද්ධතීන් ප්‍රගුණ කිරීම පසෙක ලා ආරම්භයේ දීම ක්‍රීඩාවට තරගකාරී මට්ටමෙන් ඇතුළුවන පිරිස තුළ ආකර්ශණිය බොක්සිං ලක්ෂණ හිගවීම කණගාටුදායක තත්ත්වයක් ලෙස දැකිය හැකිය.මේ තත්ත්වය වෙනස් කිරීමට ක්‍රීඩක හැකියාව පාසල් මට්ටමෙන් හදුනා ගැනිමට වැඩ පිළිවෙලක් අවශ්‍යය වන අතර ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට පියවර ගත යුතුය.දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමට තරම් ශක්තියක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටියද ඒවා කෙතරම් දුරට බොක්සිං යටතට ගත හැකිද යන සැකය ඇති වන අතර නිරන්තරයෙන් තරග අතරතුර නීත්‍යාණුකූල නොවන බවට අවවාද වලට ලක්විම මෙන්ම ඇතැම්විට නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් ක්‍රීඩා කිරීම හේතුකොට ගෙන තරග නැවත්වීමට සිදු වීම ද රටේ ‍බොක්සිං ක්‍රීඩාවට යහපත් තත්ත්වයක් නොවන බව කිව යුතුය.
වසරේ දක්ෂතම ක්‍රීඩකයා පීඩී සුරේෂ්

බොක්සිං විනිශ්චය ‍මෙම තරගාවලියේ දි ගැටළුකාරි තත්ත්වයන් කරා යාම අඩුවෙන් සිදුවීම යහපත් තත්ත්වයක් ලෙස දැකිය හැකි අතර නමුත් ඇතැම් පැති විනිසුරු තීරණ අතර දැඩි වෙනස්කම් පළවීම යහපත් ලක්ෂණයක් නොවීය.ඒ නිසා ඉදිරියේ දී එම තීරණවල විවෘතභාවය සුරකිමින් එම ලකුණු ලබාදීම් විවර කරන්නේනම් එය ක්‍රීඩාවේ සහ දක්ෂක්‍රීඩකයාට කරන ආශිර්වාදයක් වනු ඇත.
             පීජී චන්ද්‍රිනා (රතු) සහ අනූෂා කොඩිතුවක්කු (නිල්)

මෙවර තරගාවලියේ දී ගන්ධාරා ක්‍රීඩා සමාජය අවසන් තරග දෙකකට පිවිසීම කැපී පෙණුන අතර පොලිස් ක්‍රීඩා සමාජය තුළින් දැඩි පසුබැස්මක් දක්නට ලැබිණ.පසුගිය කාල සමයේ කැපී පෙණුන දක්ෂතා දැක් වූ පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් තරගාවලි ගණනාවක දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව වෙමින් ජාත්‍යන්තර තරග සදහා පවා සහභාගි වූ ඩබ්ඒඑස් ශාන්තිකා වැනි ක්‍රිඩිකාවක් තරගයකින් තොරව මූලික වටයේදීම එම බර පංතියේ ජයග්‍රාහිකාව වූ විදුශිකා ප්‍රභාදි ට තරගකාරී ක්‍රීඩා රටාවකින් තොරව පරාජය විම කැපී පෙණින.
සිය බර පංතිය පරාජය වුව ද දැඩි තරගකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ කිග්‍රෑ 48 බර පංතියෙන් තරග කළ කේඑච්ඊජී ද සිල්වා ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් ක්‍රීඩිකාවක් විය හැකි ලක්ෂණ පෙන්නුම් කළේය.තරගයේ අවසානය දක්වාම එකම රිද්මයකින් ක්‍රීඩා කිරීමට හැකි මානසික ඒකාග්‍රතාවයකින් මෙන්ම ශරීර ශක්තියකින් ද යක්ත බව ප්‍රදර්ශනය කළ ඇය එම බර පංතියේ ජාත්‍යන්තර තරගකාරියන් හා සම උසකින් යුතු වීම මෙන්ම නිවැරදි ක්‍රීඩා රටාවක නියැලිම ද ගත් විට බලධාරීන් අවධානය යොමු කර සුරුකිය යුතු ක්‍රීඩිකාවක් ලෙස කිව හැකිය.
85 වන වරට සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති ජාතික බොක්සිං සූරතාවලියේ සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වත්මන් කියුබාව නිර්මාණය කිරීමට අප්‍රමාණ කැපවීමක් කරන ලද පිදෙල් කැස්ත්‍රෝ ගේ මෙන්ම අර්නස්ටෝ චේ ගුවේරාගේ ද නමට සම්බන්ධකම් දක්වන වත්මන් ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිණිය වන නිර්සියා කැස්ත්‍රෝ චේගුවේරා එක් වූවා ය.විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූයේ නාවික හමුදා කපිතාන් යෝෂිත රාජපක්ෂ ය.
ඡායාරූප - චමින්ද කහවලගේ
www.supirikrida.com

No comments: