Jan 15, 2012

ඩුමිනි, චන්දිමාල් ගේ වෙහෙස නිශ්පල කරයි

                                                                     දිනේෂ් චන්දිමාල්


ප්‍රථම තරගයේ දී දැවැන්ත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරුවන් තිදෙනා කුමාර සංගක්කාර (03),මහේල ජයවර්ධන(19) සහ ටීඑම් ඩිල්ෂාන්(00) අසාර්ථක වෙද්දී උපුල් තරංග ගේ (66) සහයත් සමග ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 236 දක්වා කැදවන් එමින් සටන්කාමීත්වය උපරිමයෙන් ප්‍රදර්ශනය කළ දි‍නේෂ් චන්දමාල් ලකුණු 92 ක් නොදැවී රැස් කළද,ජීන් පෝල් ඩුමිනි විසින් ක්‍රියාත්මක කළ සටන්කාමී පිළිතුරු ඉණමේ දී නොදැවී ලබා ගත් ලකුණු 66 නිසා දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක් ලබා ගන්නට හැකි විය.තරගයේ වීරයා ලෙස ද ඩුමිනි සම්මානයට පාත්‍ර වූ අතර තරගාවලිය 2 – 0 ක් ලෙස දකුණු අප්‍රිකාවට වඩාත් වාසිදායක සථාවරයක රදවා තබන්නට ද සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පිවිසිය ද නායක ඩිල්ෂාන් ලකුණු කිසිවක් රැස් කරන්නට පෙරාතුව දුවද්දි දැවී ගිය අතර 10 වන ඕවරය ක්‍රියාත්මක වන විට ලකුණු පූවරුව 21 ට සීමා වී තිබූ අතර එම ලකුණු ප්‍රමාණය සටහන් වද්දීම කුමාර සංගක්කාරගේ කඩුල්ලද ශ්‍රී ලංකාවට අහිමි විය.අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් උපුල් තරංග සමග එක්ව තෙවන කඩුල්ලට ලකුණු 84 ක් සබදතාවයක් එක් කළේය.
නමුත් ආරම්භයේ ලැබූ මන්දගාමීත්වයෙන් ගැලවීමට නොහැකිව සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු 13 කින් හයේ පහර 2 සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක් ලැබූ නුවන් කුලසේකර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු වේගය ප්‍රථම වරට ලකුණු 4 සීමාවට කැදවා ඒමට සමත් විය.අනතුරුව පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු 29 කින් ලකුණු 28 ක් ලබා ගත් අතර චන්දමාල් පන්දු 115 කින් ලකුණු 92 ක් රැස් කරේ හතරේ පහර 6 ක් පමණක් එල්ල කරමින් ය.ඒ නිසා චන්දිමාල් ගේ ඉණිම කෙටි ලකුණු වලින් පිරුනු වෙහෙසකාරී සහ සටන්කාමි ප්‍රශස්ත ඉණිමක් විය.
පිළිතුරු ඉණිම සදහා ක්‍රීඩා පිටියට පිවිසි දකුණු අප්‍රිකාව වෙනුවෙන් සැනසිලි සහගත ආරම්භයක් ලබා දුන් හසීම් අම්ලා සහ ග්‍රෙහැම් ස්මිත් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සබදතාවයක් පැවත්වූයේ පන්දු ඕවර් 16.3 ක් තුළ ය.එම වාසිදායක තත්ත්වය දිගින් දිගටම රදවා ගැනීමට පසුපසින් පැමිණි පිතිකරුවන් උත්සාහ කළ අතර ප්‍රථම තරගයේ දී ශතකයක් ලැබූ අම්ලා ලකුණු 55 ට දැවී යාමෙන් පසුව  වගකීම සියතට ගත් ඩුමිනි පන්දු ඔවර 26 ක් පුරා කඩුල්ල රැක ගනිමින් පන්දු 87 ක් තුළ ලකුණු 66 ක් ලබමින් තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකාව වෙත ලබා දීමට පියවර ගත්තේය.  
කෙතරම් අසාර්ථක වුව ද කණ්ඩායමේ රැදී සිටීමේ අපූරු භාග්‍යයක් හිමි දිල්හාර ප්‍රනාන්දු මෙම තරගයේ දී ඉවත් කිරීමේ බුද්ධිය තේරීමේ බලධාරීන්ට පෑදි තිබූ අතර එහි ප්‍රතිපලයක් ලෙස කණ්ඩායමට පැමිණි ධම්මික ප්‍රසාද් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූ අතර ඔහු ලකුණු 46 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514036.html සබදතාවය තෙරපීමෙන් තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව ඇත.

No comments: