Jan 19, 2012

මාෂ් ගේ තැනට ‍ෆෝඩ් රිගයි

ග්‍රෙහැම් ෆෝඩ් 
හිටපු දකුණු අප්‍රිකා පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් වන්නට නියමිත බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.පසුගිය ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් වී ආ ජෙෆ් මාෂ් ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ ව විට අසාර්ථකත්වයට පත් වී ඇති අතර ඒ තත්ත්වය මෙන්ම ජෙ‍ෆ් මාෂ් ගේ ඇතැම් ඉල්ලිම් ද නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුනුකරුවෙකු පිළිබදව සිතා බලන්නට තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර දකුණු අප්‍රිකානු sport24 මාධ්‍ය ආරංචි මාර්ග සදහන් කරන්නේ ෆෝඩ් ඩර්බන් හි ක්‍රියාත්මක ඩොල්පින් ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ධූරයෙන් අද සිට ඉවත් වීමට තීරණය (ජනවාරි 18) කර ඇති බව ය.ඒ සදහා එම කණ්ඩායම් ප්‍රධානින් ගේ අනුමැතිය ‍ෆෝඩ් ට ලැබී ඇති අතර ඔහු ඒසම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තමා ජාතික කණ්ඩායමක පුහුණුකරු ධූරය දැරීමේ සිහිනය සාක්ෂාත් කර ගනු පිණිස මෙසේ ඉවත් වීමට තීරණය කළ බවය. ඩොල්පින් ක්‍රිඩා සමාජයට පළමු පෙළ ක්‍රිකට් තරග සූරතාවය මෙන්ම එක්දින සූරතාවය ද දිනා දීමට කටයුතු කර ඇති ෆෝඩ්,කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත.

ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද  ක්‍රීඩකයෙකු නොවන ෆෝඩ් පළමු පෙළ තරග හතකට පමණක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ද ක්‍රීඩකයෙකු ලෙස ඉහළ දස්කම් දක්වා නැත.නමුත් පුහුණුකරුවෙකු ලෙස හොද ප්‍රතිපල පෙන්වා ඇති ෆෝඩ් මීට පෙර ඉන්දියාවේ පුහුණුකරු ධුරයට ද ඉල්ලුම්පත් යොමු කර ඇතත් පසුව එය ඉවත් කර ගෙන ඇත.මෙය ලංකාවේ ජාතික මට්ටමෙන් ක්‍රීඩා නොකළ අයෙකුට පුහුණුකරුවෙකු විය නොහැකිය යන මතය බිද දැමිමක් නිසා ශ්‍රී ලංකාවට ද ෆෝඩ් ගේ සාර්ථකභාවය හරහා පුහුණුකරුවා පිලිබද නව චින්තනයක් ඇති කර ගැනීමට මග පාදනු ඇත.

ලොව පුරා ඕස්ට්‍රේලියානු පුහුණුකරුවන් වෙත පැවති ඉල්ලුම අභියෝගයට ලක් කරමින් බිද වැටෙමින් පැවති ඕස්ට්‍රේලියා කණ්ඩායමට මග පෙන්වීම දකුණු අප්‍රිකා පුහුණුකරුවෙකු වන මිකි ආතර් ට පැවරීමෙන් ඉනික්බිති එම කණ්ඩායම සාර්ථක වෙමින් පවතින අතර ශ්‍රී ලංකාව ද ඒ අනුව දකුණු අප්‍රිකානු පුහුණුකරුවෙකු පිළිබදව විශ්වාසය තැබීම, දකුණු අප්‍රිකානු පුහුණුකරුවන්ට ජාත්‍යන්තර පිටියේ හොද කලක් උදාවන බවට ඉගි සැපයීමක් බදු ය.මන්ද ඕස්ට්‍රේලියානු පුහුණුකරුවන් පිළිබද විශාල ඉල්ලුමක් ඇති කිරිමට 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඩෙව් වට්මෝර් කටයුතු කිරීම තදින්ම බල පෑවේය.


No comments: