ගයන්තිකා |
නැගෙනහිර පළාත නියෝජනය අනෝමා කරුණාවංශ කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මීටර් 3.30 ක් දක්වා ඉහළ දැමීමට සමත් වුණා.38 වන ජාතික ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ බිහි වූ පළමු සහ එකම ශ්‍රී ලංකා වාර්තාව ලෙස අනෝමා ගේ වාර්තාව හැදින්විය හැකි අතර ඇයට දෙවන වූ හිටපු වාර්තාලාභිණිය ලක්රාණි පෙරේරා මීටර් 3.20 ක දක්ෂතාවයක් දක්වමින් දෙවන ස්ථානය දිනා ගත්තා.
මේ අතර කාන්තා මැදි දුර සහ දුර දිවීමේ ඉසව් වලදී මෑත කාලීනව දකින්නට ලැබෙන ප්‍රගතිය යළිත් තහවුරු කළ දකුණු පළාතේ ගයන්තිකා තුෂාරි අබේරත්න සහ වයඹ පළාතේ චම්පිකා දිල්රුක්ෂි නව උළෙල වාර්තා දෙකක් අලුත් කරන්නට යෙදුණා.2000 වර්ෂයේදී ඩීඒ ඉනෝකා පිහිටුවා තිබූ නව උළෙල වාර්තාව වූ විනාඩි 17:00.40 ක් කාලය ඉක්මවා යමින් ගයන්තිකා විනාඩි 16:51.54 ක කාලයක් වාර්තා කරන්නට සමත් වුණා.ගයන්තිකා සහ ගීතානි රාජසේකර අතර මෙම තරග ඉසව්වේදී හොද තරගයක් දකින්නට ලැබුණු අතර නව ක්‍රීඩා උළෙල වාර්තාවක් සමගින් 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය ජයගත් ගීතානි මෙම ඉසව්වේ සිය ජයග්‍රහණයේදී දෙවැනි වූ ගයන්තිකාට දෙවැනි වුව ද පෙර තිබූ වාර්තාව ඉක්මවා යන්නට සමත් වුණා.
මෑත කාලයේ කාන්තා මැදි දුර ඉසව්වේ සුවිශේෂීම ක්‍රීඩිකාව බවට පත් වී සිටින චම්පිකා දිල්රුක්ෂි,යළිත් වරක් ඒ බව සනාත කරමින් මීටර් 800 කාන්තා ඉසව්වේ ජයග්‍රාහිකාව බවට පත් වූයේ නව උළෙල වාර්තාවක් ද තබමින්.ඇය එහිදී විනාඩි 2:07.10 ක කාලයක් වාර්තා කරමින් මංගලා ප්‍රියදර්ශණි සතුව පැවති විනාඩි 02:08.00 ක උළෙල වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කරන්නට සමත් වුණා.
තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු මලල ක්‍රීඩා සංගම් සභාපතිවරයෙකු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂයන් එක් වී සිටි මලල ක්‍රීඩාව පිළිබදව පුළුල් අවබෝධයක් ඇති පුද්ගලයෙකු වන එතුමාගේ ආරක්ෂාව පිණිස වන පිරිස් එතරම් දුරට ඒ තත්ත්වය නොදැන සිටීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යම් අපහසුවක් විදින්නට වූ අවස්ථා ද දකින්නට ලැබුණා.තරගාවලියේ දිවා විවේකයේදී අතැම් ක්‍රීඩකයන් පෙර පුහුණු ධාවන පථයට වී හවස් වරුවේ පැවත්වෙන ක්‍රීඩා තරග සදහා ගිමන් හරිමින් සිටිනු දකින්නට ලැබුණේ සිය නවාතැන් පොළවල් සදහා ගොස් නැවත ඒමේ දුෂ්කරතාවය සළකා වුව ද ඇතැම් ආරක්ෂකයන් ඒ තත්ත්වය අවබෝධ කර නොගෙන ඔවුන් ඉවත් කිරීමට කටයුතු කිරීම ඇතැම් විට තරගාවලියේ සමස්ත චිත්‍රය පිළිබදව ඔවුන් තුළ අවබෝධයක් නොවීම නිසා සිදු වූවා විය හැකියි.
තරගාවලියේ මේ දක්වා පැවති සියළු තරග ප්‍රතිපල සළකද්දී සුපුරුදු පරිදි සබරගමුව ඉදිරියෙන් සිටින අතර,මධ්‍යම පළාත දෙවන තැනත් වයඹ පළාත තෙවන තැනත් පසුවන අතර මලල ක්‍රීඩා තරග වලදී බොහෝ විට බස්නාහිර පළාතට මෙවර විශාල තර්ජනයකට මුහුණ දිය හැකි බව පළමු දිනයේ ප්‍රතිපලම පැහැදිළි කරනවා.විශේෂයෙන් නව ශ්‍රී ලංකා වාර්තා බිහි නොවුණද කලෙකට පසුව ක්‍රීඩක දක්ෂතා වල යම් පිබිදීමක් දකින්නට ලැබෙන මෙම වකවානුව පිලිබදව සළකද්දී තරගාවලියේ ඉතිරි දින දෙක නව ශ්‍රී ලංකා වාර්තා සහ උළෙල වාර්තා අලුත් වන දින දෙකක් ලෙස හැදින්විය හැකියි.