Jan 21, 2012

තිසර සිංහ වෙස් ගනියි


Thisara Perera was named Man of the Match 

කුණු අප්‍රිකාවට එරෙහිව පැවති සිවිවන එක් දින තරගයේ දී කලෙකට පසුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ පහස විදින්නට සැළස් වූ තිසර පෙරේරා ගේ ප්‍රවේගකාරී ඉණිම, ශ්‍රී ලංකාවට ජයග්‍රහණය මෙන්ම තිසර පෙරේරා ට එක් දින තරග සදහා දොරටුව වසා දමමින් කණ්ඩායම් බලධාරීත්වය කරන ලද කෙණහිලිකමේ වරද ද පෙනවා දුන්නේය.තිසර,පන්දු 44 කින් ලබා ගත් ලකුණු 69 ට හතරේ සිමාවෙන් බොහෝ එපිට පතිත වූ දැවැන්ත හයේ පහර 5 ක් ම අයත් වූ අතර,තරගය නිමා කරමින් ඔහු ලෝන්ග් ඕෆ් කළාපයෙන් එල්ල කළ දැවැන්ත හයේ පහර කිම්බර්ලි ක්‍රීඩාංගනයෙන් ඉවත පතිත වන තරමට දිගු එකක් විය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව දිවා රාත්‍රි තරගයේ රාත්‍රියේ පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකාවට පවරා පළමුව පන්දුවට පහර දීමේ වාරය උදා කර ගත්තේය.දැඩි ප්‍රහාරාත්මක ස්වභාවයක් ගත් දකුණු අප්‍රිකා ඉණිමේ පළමු පන්දු වාර 30 නිමා වන විට ලකුණු 200 ලබා ගැනීම ඊට කදිම නිදසුනකි.පළමු කඩුල්ලට ග්‍රෙහැම් ස්මිත් (68) සහ ඇල්විරෝ පීටර්සන් (37) පන්දු ඕවර් 13.1 ක් තුළ පළමු කඩුල්ලට එක් කළ සබදතාවය ලකුණු 84 ක් විය.දෙවන කඩුල්ලට ස්මිත් ට එකතු වූ ඒබී ඩිවිලියර්ස් තරගයේ මුල් භාගයේ දී ම ‘බැටින්ග් පවර් ප්ලේ’  ලබා ගනිමින් ගිනිකෙළි සංදර්ශණයක් පවත්වන්නට විය.එහි ප්‍රතිපලයක් ලෙස දෙවන කඩුල්ල සදහා පන්දු ඕවර් 10 .4 තුළ ලකුණු 87 ක සබදතාවයක් ඇති වූ අතර ඩිවිලියර්ස් තිසර පෙරේරා ගේ ඥාණාන්විත පන්දුවක හමුවේ පස්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වෙද්දී පන්දු 76 ලකුණු 96 ක් ලබා සිටියේය.ඩිවිලියර්ස් ගේ ඉණිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

නමුත් තරගයේ අවසාන භාගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාලනය සියතට ගත් අතර අවසාන පන්දු ඕවර් 10 තුළ ලකුණු 49 ක ට සිමා කළේය.තරගයේ පළමු කාර්තුවේ පන්දුව පිත්තට ගලා ඒමේ රිද්මයේ වේගය මදක් අඩුවීම සිය පන්දු ඕවර් 50 තුළ ලකුණු 350 ක් පමණ බලාපොරොත්තුවෙන් සිටි දකුණු අප්‍රිකාවේ ලකුණු පූවරුව 299 ට සීමා කරන්නට හේතු විය.
මේ ලකුණු පූවරුව අභිබවා යාමේ වගකීම පැවරුණු ශ්‍රී ලංකා පිතිකරුවන්ට රාත්‍රියේ පන්දුවට පහර දීම මෙන්ම තණතීරුවේ මන්දගාමී ස්වභාවය ද, විශාල අභියෝගයක් ලෙස පෙනෙන්නට තිබුනු අතර,පන්දු ඕවර් 3.1 ක් ගත වෙන තැන ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය තුල ලකුණු අතර සිටින පිතිකරුවෙකු වූ උපුල් තරංග ගේ කඩුල්ල අහිමි වූයේ ලකුණු පූවරුව ලකුණු 17 ක් ව තිබියදීය.අනතුරුව පිටියට පිවිසි කුමාර් සංගක්කාර පන්දු 31 කින් ලකුණු 32 ක් පබා සිටිය දී දැවී ගියේ ඇල්විරෝ පීටර්සන් ගේ අති විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේය.

නමුත් තරගාවලියේ ප්‍රථම අර්ධ ශතකය අත් කර ගත් ඩිල්ෂාන් වගකීම සිය කර පිට තබා ගනිමින් අති විශිෂ්ඨ ඉණිමක් ක්‍රිඩා කළ අතර මේ සංචාරයේ ප්‍රබලතම පිතිකරුවා බවට පත් ව සිටින දිනේෂ් චන්දිමාල් කණ්ඩායම් හැගීමෙන් යුත් පරිපූර්ණ ඉණිමක් ගොඩ නගමින් සිටියේය.ඩිල්ෂාන් කලෙකට පසුව සිය නම ඉදිරියේ ඉලක්කම් තුනක ගණනක් ලියා ගන්නට හැකි ඉණිමක් ක්‍රීඩා කළ ද පන්දු 87 ක් තුළ ලැබූ ලකුණු 87 කින් ඔහුගේ ඉණිම අහවර විය.මහේල ජයවර්ධන වෙනුවට ඇතුළත් කළ සිටි ලහිරු තිරිමාන්න ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදි සිටීමට අවස්ථාව හිමි වූයේ නැත.ඔහු ලකුණු 13 ට දැවී ගිය පසු පිතිකරු නාමාවලියේ උසස් වීමක් ලද තිසර පෙරේරා පිටියට පිවිසියේය.
නිරන්තරයෙන්ම ප්‍රවේගකාරි පිතිකරුවෙකු වූ තිසර,දිනේෂ් චන්දිමාල් ගේ නිරන්තර අවවාද කිරීම් සමග සිය ප්‍රවේගකාරීත්වයට කල්පනා කාරීත්වය ද මුහු කර ගත් අතර සෑම පන්දුවකටම පහර එල්ල කිරීමේ න්‍යාය වෙනස් කර සුදුසු පන්දුව එනතෙක් රැදි පහර එල්ල කිරීමට පටන් ගත්තේය.එහි ප්‍රතිපලයක් ලෙස වෙනදා මෙන් දිගු පහර කිහිපයකින් නිමා වන තිසර ගේ ඉණිම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනාත කරන ඉණිමක් බවට පත් වූ අතර චන්දිමාල් සහ තිසර අතර පස්වන කඩුල්ල සදහා පන්දු ඕවර් 6.2 ක් තුළ ලකුණු 52 ක් එක් කළේය.චන්දිමාල් ලකුණු 59 ක් ලැබු අතර අවසාන පන්දු වාර කිහිපයේ දි තිසර සමග ජයග්‍රහණය තෙක් පිටියේ රැදුණු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු  21 ක් ලබා නොදැවී සිටියේය.
සාමාන්‍යයෙන් ලොව හොදම පන්දු රකින්නන් සහිත කණ්ඩායමක් ලෙස ප්‍රකට දකුණු අප්‍රිකාව අතින් ඊයේ පන්දු රැකීමේ දී බොහෝ අවස්ථා ගිලිහී යනු දකින්නට ලැබිණ.විශේෂයෙන්ම තිසර සහ චන්දිමාල් පිටියේ සිටින අවස්ථාවන් හී එවැනි සිදුවීම් බහුල වූයේ එම පිතිකරුවන් දෙදෙනා ගොඩ නැගූ පීඩනයද හේතු කරගෙන වූ අතර කෙසේ හෝ ඒ සියල්ල අවසාන වූයේ දකුණු අප්‍රිකාවට පන්දු ඕවරයකට ලබා දුන් ලකුණු 6 ක් අභියෝගය ප්‍රමාණවත් එකක් නොවීමෙන් ය.

ඒ සදහා විශාලම ප්‍රහාරය දියත් කළ තිසර පෙරේරා තරගයේ වීරයා වූ අතර පහත දැක්වෙන්නේ තරගයේ නිල ලකුණු විස්තරයට ප්‍රවේශ විය හැකි සබදතාවය ය.
http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514038.html

www.supirikrida.com

No comments: