Jan 20, 2012

නිලූක තවත් ඉදිරියට



ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රිඩක නිලූක කරුණාරත්න ඊයේ සිදු වූ නව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රේණි ගත කිරීම් වල තවත් පියවර 6 ක් ඉදිරියට පැමි‍ණ 72 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී සිටියි.මීට පෙර නිලූක 71 වන ස්ථානයට පත් ව ඇති අතර තව දුරටත් ඔහුට ලැබෙන ජාත්‍යන්තර අවස්ථා අනුව නිලූක බොහෝ විට ඉදිරි කාලය තුළ සිය ජීවිතයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් වලට ඇතුළත් වීමට ඉඩ ඇත.
නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව අද ඇර‍ඹෙන ස්වීඩන තරගාවලියේ දී නිලූක තරග වදින්නේ නව ශ්‍රේණිගත කිරීම් වලට පෙර, තමන් ට වඩා ඉදිරියෙන් සිටි පීටර් කව්කල්  ට වඩා ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙකු ලෙස ය.කෙසේ වුව ත් මෙම තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයා වූ ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් තරගාවලියෙන් ඉවත් වී ඇති අතර මේ තත්ත්වය මත නිලූකට පීටර් සමග පැවත්වෙන තරගය ජය ගතහොත් ඊ ළග තරගයේ දී මෙම තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වල දැනට සිටින ප්‍රබලතම ක්‍රිඩකයා වන ඉන්දියාවේ පාරුපිල්ලෙයි කාශ්‍යප් හමු වීමට නියමිතය.
නිලූක සම්බන්දයෙන් අදහස් දැක් වූ බැඩ්මින්ටන් ප්‍රවීනයෙකු ප්‍රකාශ කර සිටියේ මේ වන විටත් නිලූක සිටින්නේ ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලබන ක්‍රියා පරිපාටියට අනුව ඔලිම්පික් සදහා සුදුසුකම් ලැබිය හැකි තත්ත්වයේ බවය.නමුත් ඉදිරියේ ද දිගින් දිගටම තරගාවලි සදහා ඉදිරිපත් වී මෙම තත්ත්වය ආරක්ෂා කර ගත යුතු බව පවසන එම ප්‍රවීනයා ඒ සදහා බැඩ්මින්ටන් පරිපාලනයේ සහ ක්‍රීඩා පරිපාලනයේ උදව් උපකාර අතවශ්‍යය බව ද පැහැදිළි කරයි.
දැනට නිලූක මෙම තරගාවලි සදහා සහභාගි වන්නේ තමා වෙළද තානාපති ලෙස කටයුතු කරන මැක්ලරන්ස් ආයතනයේ සහ මනිලාල් ප්‍රනාන්දු මහතාගෙන් ලැබෙන යම් අනුග්‍රහයන් මත සහ ඔහු ගේ පෞද්ගලික වියදමින් ය.මේ වන විට 2012 ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටමට ක්‍රීඩාවකින් පිවිස සිටින ක්‍රීඩකයෙකු වන නිලූක ගේ එම තත්ත්වය ආරක්ෂා කර දීමට ක්‍රීඩා බලධාරීන් මීට වඩා උනන්දු විය යුතු බව සුපිරි ක්‍රිඩා විශ්වාස කරයි.මේ වන විටත් ඔහු එම තත්ත්වයට පිවිස ඇත්තේ විදේශ තරගාවලි සදහා කිසිදු පුහුණුකරුවෙකු, භෞත චිකිත්සකයෙකු හෝ නොමැතිව තනිවම සහභාගි වෙමින් ය.ඒ නිසාම ඔහු ට තරගයකින් තරගයට යන විට සිය සිරුරේ යෝග්‍යතාවය පිණිස සම්භාහනයට හෝ කිසිවෙකු නැති අතර එවැනි වාතාවරණයක නිලූක දක්වන මේ දක්ෂතා පිළිබදව සහ රටට ලබා දෙන ගෞරවය පිළිබදව ක්‍රීඩා බලධාරීන් දක්වන සැළකිල්ල ප්‍රමාණවත් නොවන බව අපේ විශ්වාසය ය.

No comments: