Nov 19, 2013

මරීෂා ට නායකත්වය



සුපිරි ක්‍රීඩා වෙබ් අඩවිය පළ ආකාරයටම ජාත්‍යන්තර කණ්ඩායම් හයක් සහභාගි වන දෙසැම්බර් පළමු දින සිංගප්පූරුවේ ඇරඹෙන නේෂන් කුසලාන දැල් පන්දු තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මරීෂා ප්‍රනාන්දු ට හිමි වී ඇති අතර එහි උප නායකත්වය සෙමිනි  අල්විස් ට හිමි වී ඇත.මීට පෙර ද නායිකාව වීමට මරීෂා ට තිබූ අවස්ථාව විවිධ හේතුන් මත අහිමිව ගිය අතර මේ තත්ත්වය දැල් පන්දු පරිපාලනයේ අවධානයට ලක් කරන්නටත් එසේම ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායමට නායකත්වය දුන් සෙමිනි අල්විස් වැනි ක්‍රීඩිකාවට උප නායකත්වය දීම ඇයගෙන් දැල් පන්දු ක්‍රඩාවට ලබා ගැනීමට ඇති දායකත්වයට මෙන්ම රටේ දැල් පන්දු ක්‍රීඩාවට ද වැදගත් බව සුපිරි ක්‍රීඩා පෙන්වා දුන් අතර නායිකාව සහ උප නායිකාව පත් වීමේදි ඒ ආකාරයෙන්ම සිදු වි තිබීම ක්‍රීඩාවේ අනාගතය පිළිබදව දැල් පන්දු පරිපාලනය යම් වගකීමකින් බැදී තිබෙන බව පැහැදිළි කරන්නක් බව අපේ අදහසයි.
කෙසේ නමුත් කණ්ඩායමේ සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් තේරීමේ අවස්ථාවේ සිට විශාල ගැටළු ගණනාවක් පැන නැගෙනු දකින්නට තිබුණු අතර නමුත් ඒ සම්බන්ධයෙන් තෝරාගත් සංචිතයේ සිටින ක්‍රීඩිකාවන් අතරින් විශාල ප්‍රගතියක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තිළිණි වත්තේගෙදර හොද ආයෝජනයක් වනු ඇතැයි දැල්පන්දු සම්මේලනයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.නම් කරන ලද කණ්ඩායමේ වැඩි පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වන අතර තිළිණිට අමතරව සුරේකා කුමාරි සහ චතුරංගනී මල්කාන්ති ද ගුවන් හමුදාව නියෝජනය කරති.පාසල් දැල් පන්දු ක්‍රීඩිකාවන් තිදෙනෙක්ද සංචිතයේ සිටින අතර ඒ අතරින් කොළඹ විශාකා විද්‍යාලය නියෝජනය කරන ගයනි දිසානායක සහ තිසාලා අල්ගම ජාත්‍යන්තර තරග නියෝජනය කර ඇති වඩාත් අත්දැකීම් ඇති ජාතික මට්ටමේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවෝ වන අතර ගයන්ජලි අමරසේන කණ්ඩායමට තේරී පත් වී ඇත්තේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන්ය.
මෙවර ජාතික තරගාවලියේ දැල් පන්දු රැජින වූ කාංචනා ජයවීර සමග නොචිලි රාජපක්ෂ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවය.ශ්‍රී ලංකාවේ ප්‍රබලතම දැල් පන්දු කණ්ඩායම් ලෙස වැජඹි හැටන් නැෂනල් බැංකු කණ්ඩායමෙන් සහ සෙලාන් බැංකු කණ්ඩායමෙන් එක් ක්‍රීඩිකාව බැගින් පමණක් කණ්ඩායමට එක් වි සිටින අතර හැටන් නැෂනල් බැංකු කණ්ඩායමෙන් තරග වදින්නේ දර්ශිකා අබේවික්‍රමය.සෙලාන් බැංකුවෙන් තරග බිමට පිවිසෙන්නී තර්ජනී සිවලිංගම්ය.කණ්ඩායමේ උප නායිකා සෙමිනි ද අල්විස් වරාය අධිකාරිය නියෝජනය කරන අතර ටොයොටා ලංකා පුද්ගලික සමාගම නියෝජනය කරමින් මරීෂා ප්‍රනාන්දු කණ්ඩායමට එක් වී සිටියි.
මරීෂා අත්දැකීම් ඇති ක්‍රිඩිකාවක් මෙන්ම නායිකාවක් ලෙස මෙම තරගාවලියේදී වඩා පරිස්සමින් කටයුතු කළ යුතු අතර සියළුම ක්‍රීඩිකාවන් සිය පෞද්ගලික භාවිතාවන් සහ උවමනාවන් තරග බිමට රැගෙන ඒමෙන් වැළකී සිටීමට ප්‍රවේශම් විය යුතුය.එසේම ජයග්‍රහණයට වඩා නිසි ජාතික කණ්ඩායමක් අනාගතය වෙනුවෙන් සකස් කර ගැනීමේ හොද සංයුතියක් නිර්මාණය කර ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස මෙම තරුණ කණ්ඩායමේ සහභාගීත්වය තේරුම් ගත යුතු අතර කණ්ඩායම් කළමණාකාරිය ලෙස ලක්ෂ්මි වික්ටෝරියා සිය පරිපාලන වගකීම කණ්ඩායමේ අභ්‍යන්තර හැසිරීමට පීඩනයක් එල්ල නොවන ආකාරයෙන් මෙන්ම එල්ල විය හැකි පීඩනයන් වළක්වන ආකාරයෙන් භාවිතා කිරීම පිළිබදව සූක්ෂම හැසිරීමක ඥාණයකින් කටයුතු කිරීම ඉතා වැදගත්ය.
කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස සොමිතා අල්විස් කටයුතු කරන අතර කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස තරග සංචාරයට එක් වන්නේ වෛද්‍ය ලාල් ඒකනායකය.පීඩීඩීඑන් ප්‍රසාදි කණ්ඩායම් භාර නිලධාරිණිය ලෙස සංචාරයට එක් වි සිටින්නීය.
www.supirikrida.com

No comments: