Aug 21, 2012

මහේලගෙන් සුපිරි ඉණිමක් නැගෙනහිර අපරාජිත බව අහෝසි වෙයි

යඹ කණ්ඩායමට නායකත්වය දෙන මහේල ජයවර්ධන විසින් දියත් කරන්නට යෙදුණ පන්දු 50 කින් ලකුණු 96 ක් ගලා ආ අති දැවැන්ත ඉණිමේ ප්‍රතිපලයක් ලෙස සිය පන්දු ඕවර් 20 ලකුණු 190 කින් නිම කළ වයඹ කණ්ඩායම නැ‍ගෙනහිර කණ්ඩායමට එරෙහිව ලකුණු 56 ක ජයක් වාර්තා කරන්නට සමත් විය.කාසියේ වාසිය ලබමින් පන්දුවට පහර දීමට පිවිසි වයඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ තමීම් ඉක්බාල් සහ කම්රාන් අක්මාල් අතර දුර දිග විහිදි සබදතාවයක් ඇති නොවුණු අතර ඒ අනුව මුළු ලකුණු 17 ක් ව තිබිය දී මහේල කම්රාන් අක්මාල් ගේ අඩුව පිරවීමට තමීම් ට එක් විය.
Mahela Jayawardene on his way to 96 off 50
එතැන් සිට තෙවන කඩුල්ලට තමීම් (32) සමග ලකුණු 67 ක් සහ කෞශල්‍යය වීරරත්න (36) සමග සිව්වන කඩුල්ලට ප්‍රවේගකාරී ලකුණු 56 ක් එකතු කළ මහේල කෞශල්‍යයගේ දැවී යාමෙන් අනතුරුව නැගෙනහිර පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් හයේ පහර පහක්ම වාර්තා කළේය.පන්දු යැවීමේදී අජන්ත මෙණ්ඩිස් පමණක් තර්ජනයක් වුව ද ඔහුට පන්දු රකින්නන්ගේ සහය නොලැබුණු බැවින් වයඹ ලකුණු පූවරුව 190 වෙද්දී දැවී ගිය කඩුලු ප්‍රමාණය ලෙස සටහන් වූයේ හතරක් පමණි.
පිළිතුරු ඉණිමට පිවිසි නැගෙනහිර කණ්ඩායමේ දැවැන්ත ලකුණු ප්‍රමාණයට එරෙහිව සටන් කිරීමේ උත්සාහය ව්‍යර්ථ කරන ප්‍රධානතම බලවේගය බවට පත් වූ වයඹ කණ්ඩායමේ දකුණත් පිට දග පන්දු යවන්නා අකිල ධනංජය නැවතත් තේරීම් කමිටුවේ නිදිබර දෑස් වලට ඇගිල්ලෙන් අනිමින් ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක නියැලුණේ සිය පන්දු ඕවර් 4 දී ලකුණු 15 ට කඩුලු 3 ක් දවා ගනිමින්ය.19 වන විය ආසන්නයේ සිටින මෙම පන්දු යවන්නා තුළ ඇති අපූරු පන්දු සංකලනය ද ගත් විට දිගු ගමණක් යාමට හැකි රටේ අනාගත ක්‍රිකට් සම්පතක් බව අවිවාදිත අතර ඔහු රැක ගැනීමට අවශ්‍යය ආත්ම විශ්වාසය සහ නිසි අවස්ථාව ලබා දීමට ක්‍රිකට් බලධාරීත්වය සහ තේරීම් කමිටු බලධාරීන් වග කිව යුතුය.
එසේම ලකුණු 190 ක විශාල ලකුණු ප්‍රමාණයක් හඹා ගිය නැගෙනහිර කණ්ඩායමේ ලාබාල ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා පමණක් හුදෙකලා සටනක නියැලුණු අතර ඔහුට සහය දෙන්නට අයෙක් විණි නම් තව දුරටත් පරාජයේ අවමානයේ ප්‍රමාණය හෝ හෑල්ලු කර ගන්නට තිබිණ.ඇන්ජලෝ පන්දු 39 කින් නොදැවී ලකුණු 48 ක් නොදැවී ලබා ගැනීමට සමත් විය.වයඹ - නැගෙනහිර තරගයේ ලකුණු විස්තරය සදහා පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571365.html
සනත් ජයසූරියගේ ආගමනයත් සමග සිය පිත්ත හකුලා ගෙන පිතිකරු නාමාවලියේ පහළට බසින්නට සිදු වූ කිත්රුවන් විතානගේ විසින් ලකුණු 31 ක් සහ ඔහුගේ දෑතට ලබා දුන් නුපුරුදු කඩුලු රැකීමේ වගකීම ඉටු කරමින් රැක ගත් අපූරු උඩ පන්දු 3 ත් කේන්දු කර ගනිමින් රුහුණ කණ්ඩායමට එරෙහිව ලකුණු 42 ක ජයක් ලබන්නට කදුරට කණ්ඩායමට හැකි විය.පළපුරුදු ජීවන්ත කලතුංග සහ කිත්රුවන් ලකුණු 31 බැගින් ලබා ගෙන ලබා දුන් දායකත්වය සමග කදුරට කණ්ඩායම ලකුනු 142 සීමාවට පිවිසි අතර  රුහුණ කණ්ඩායම වෙනුවෙන් දිලරුවන් පෙරේරා ලකුණු 21 ට කඩුලු 3 ක් ලබා ගත්තේය.
පිලිතුරු ඉනිමට පිවිසි රුහුණ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ගිහාන් රූපසීංහ ආබාධයකට ගොදුරු වීම ඔවුන්ගේ ගමන් මග අහුරා නැගි විශාල බාධකයක් වූයේ තරග ආරම්භයේදී ම ලකුණු වේගය දැඩිව පහළ බසින්නට වූ බැවිණි.නමුත් ලහිරු තිරිමාන්න (23) සහ සහීඩ් අෆ්රිඩ් (36) නැවත රුහුණ කණ්ඩායම අවශ්‍යය ලකුණු වේගයට කැදවා එන්නට සාර්ථක උත්සාහයක් දරමින් ලකුණු රැස් කළ ද සෙස්සෝ සියල්ලෝම අසාර්ථකත්වයේ පතුලේ ගිලී ගියහ.තන්වීර් ලකුණු 4 ට කඩුලු 3 ක් ද සහීඩ් අජ්මාල් ලකුණු 23 ට කඩුලු 3 ක් ද ලබා කැපී පෙණින.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571364.html
ඉහත දැක්වෙන සබදතාවය තෙරපීමෙන් එම තරගයේ සමස්ත ලකුණු සටහන ට පිවිසෙන්නට හැකියාව ඇත.
www.supirikrida.com

No comments: