Aug 24, 2012

අකිලට දොර හැරෙයි

 ශ්‍රී ලංකාවේ පැවත්වීමට නියමිත 20 - 20 තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේ දී මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක එස්එල්පීඑල් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වන අකිල ධනංජය ද ඇතුළත් කර ඇත.එසේම එම කණ්ඩායමට ඩිල්ෂාන් මුණවීර ද කැදවා ඇත.ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ තරගාවලියට ඇතුළත් නොකළ ධනංජය එස්එල්පීඑල් තරගාවලියට ඇතුළත් කළ අතර එහිදී මහේල ඔහු ගේ හැකියාවෙන් නිසි ප්‍රයෝජන ලබමින් මෙතෙක් තරගාවලියේ පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට දුෂ්කරම පන්දු යවන්නා ඔහු බවට පත් කර ඇත.
තේරීම් කමිටුවේ තීරණ ඔවුන් ගේම අභියෝග බවට පත් වෙමින් අකිලව කණ්ඩායමට කැදවීම සිදු වී අති අතර ඔහු වෙනුවට යෙද වූ තරිදු වඩාත් දක්ෂ ක්‍රීඩකයා නම් ඔහු ද සංචිතයට කැදවිය යුතුව තිබිණි.කෙසේ හෝ අකිලව කැදවීම අගය කළ යුතු අතර ඔහු මහේල ගේ පාලනය යටතේ ඉහළ දස්කම් දක්වමින් තිබීම ලෝක කුසලාන තරගාවලියේ දි ශ්‍රී ලංකාවට විශාල ආශිර්වාදයක් විය හැකිය.මීට පෙර මහේල නායකත්වය දරන අවධියේ දී ශ්‍රී ලංකාවේ දෙවන පෙළ තරග වල කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටි අජන්ත මෙණ්ඩිස් ද අන්තර් පළාත් තරග වලදී මහේල ගේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබ ඉහළ දස්කම් දැක් වූ අතර බොහෝ විට මෙවර ඒ අවස්ථාව අකිලට හිමි විය හැකිය.
අකිලට අමතරව ප්‍රහාරාත්මක පිතිකරු ඩිල්ෂාන් මුණවීරට ද අවස්ථාවක් හිමි වී ඇති අතර ඇතැම් විට තෝරි තිබෙන සංචිතය ගැන සළකා බලන විට ඩිල්ෂාන්ට ඩිල්ෂාන් සමග ඉණිම ඇරඹිමට අවස්ථාවක් හිමිවනු ඇතැයි සිතිය  හැකිය.තවමත් ආබාධ සුව වී ඇති බවට වෛද්‍ය නිර්දේශ නොලැබුණු කුමාර සංගක්කාර සහ නුවන් කුලසේකර ද සංචිතයේ සිටින අතර බොහෝ විට ඔවුන් දෙදෙනා සිය පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය යහපත් බව පෙන්වා කණ්ඩායමට ඇතුළත් වනු ඇත.
ඒ අනුව නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම නායක මහේල් ජයවර්ධන,ඇන්ජලෝ මැතිව්ස්,ටීඑම් ඩිල්ෂාන්,කුමාර සංගක්කාර,ලහිරු තිරිමාන්න,ජීවන් මෙණ්ඩිස්,ඩිල්ෂාන් මුණවීර,තිසර පෙරේරා,ලසිත් මාලිංග,නුවන් කුලසේකර,රංගන හේරත්,අජන්ත මෙණ්ඩිස්,දිනේෂ් චන්දිමාල්,සමින්ද එරංග සහ අකිල ධනංජය ලෙස වේ.
කාන්තා ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කරන ලද කණ්ඩායමේ නායකත්වය ශෂීකලා සිරිවර්ධන ට හිමි වී ඇති අතර නම් කරන ලද 14 දෙනෙකුගෙන් යුත් සංචිතයට සදමාලි දොලවත්ත,ඩිලානි මනෝදරා,චාමිනි සෙනවිරත්න,චමරි අතපත්තු,දීපිකා රසංගිකා,ඉෂානි ලොකුසූරිය,ශ්‍රීපාලි වීරක්කොඩි,උදේශිකා ප්‍රාබෝධනී,මධුරි සමුද්‍රිකා,ඉනෝකා රණවීර,ප්‍රසාදිනී වීරක්කොඩි,ඉනෝකා ගලගෙදර,නිලක්ෂි සිල්වා ඇතුළත් වෙති.

No comments: