Jan 26, 2012

දින 10 ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලි 03

උපාලි

ගාමිණි
ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ මෙහෙයවීමෙන් එළැඹෙන මාර්තු මස 19 සිට 29 දක්වා දින 10 තුළ ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලි තුනක් පැවතවීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටියි.එහි පළමු තරගාවලිය සංවිධානය කිරීමේ ගෞරවය මීගමුව ටෙනිස් ක්‍රීඩා සමාජයට හිමි වී ඇති අතර එහි ජයග්‍රහකයනට මුදල් ත්‍යාග ලෙස ඇමෙරිකානු ඩොලර් 2,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය වී ඇත.එම තරගාවලිය මාර්තු 19 – 21 යන තෙදින තුළ පැවත් වේ.
දෙවන තරගාවලිය ජාතික ටෙනිස් සංගම් මූලස්ථාන පිටියේදී පැවත්වෙන අතර දින 10 තුළ පැවත්වෙන තරගාවලි තුනෙන් වැඩිම ත්‍යාග මුදල වන ඩොලර් 10,000 ක මුදල ක් මෙම තරගයේ ජයග්‍රහකයනට හිමි වේ.තරගාවලිය මාර්තු 23 සිට 25 දක්වා පැවත්වීමට කටයුතු යොදා ඇත.තෙවන තරගාවලිය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ටෙනිස් පිටියේ දී පැවත්වේ.මාර්තු 27 – 29 අතර පැවත්වෙන මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට මුදලින් ඇමෙරිකානු ඩොලර් 2,000 ක ත්‍යාග මුදලක් හිමි වේ.
ලොව පුරා වසරකට ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලි 70 ක් පමණ පැවත්වෙන අතර මේ වන විට ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් වන උපාලි රාජකරුණා මෙන්ම ගාමිණි දිසානායකත් ජාත්‍යන්තර අවධානය ට පත් වී සිටියි.එසේම ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය ද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව එහි ප්‍රකාශිකාවක් සුපිරි ක්‍රීඩා වෙත පැවසූ අතර රෝද පුටු ටෙනිස් ක්‍රීඩාවේ ක්‍රීඩක තාක්ෂණය දියුණු කිරිමට මෙන්ම,එම පුහුණුකරුවන්ට ඉහළ දැණුමක් ලබා දීම කෙරෙහි ද සම්මේලනයේ අවධානය යොමු වී ඇත.
මේ තරගාවලිය ද ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩාව දෙස වැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු කරන තරගාවලියක් වනු ඇති අතර එය ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩාවේ ජාත්‍යන්තර සබදතා පොහොසත් කිරීමට හේතුවක් වනු ඇත.ඒ පියවර ශක්තිමත් කරමින් මෙම තරගාවලියට අනුග්‍රාහකත්වයෙන් සම්මාදම් වීමට මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට ඉහළ ඉඩ-කඩක් සැකසී ඇති අතර ඒ පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය හරහා ලබා ගැනීමට පුළුවන.

No comments: