Jan 23, 2012

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් සූරයෝ ඉරානයෙන් - සූරියෝ කසකස්තානයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඓතිහාසික ජයක්



ලිම්පික් තරගාවලිය සදහා ආසියානු මහද්වීපික තරග යටතේ සහභාගි වන කණ්ඩායම නිර්ණය කර ගැනිමේ මූලික වටයේ තරගයක් ලෙස මීගමුවේ දී ක්‍රියාත්මක වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි සූරතාවය ඉරානයට ත් කාන්තා සූරතාවය කසකස්තානයටත් හිමි විය.
එහි දී කාන්තා අනු සූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා අංක 1 කණ්ඩායම කසකස්තාන අංක 1 කණ්ඩායම පරදවා අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීම කැපී පෙණින.අවාසනාවන්ත ලෙස එම කණ්ඩායම නියෝජනය කළ ගීතිකා ගුණවර්ධන සහ තක්ෂිලා නෙරංජලී ගුණසිංහ කසකස්තාන 1 ක්‍රීඩිකාවන් (ට්සිම්බලෝවා සහ මශ්කෝවා) පැරදවිමට ප්‍රථම ශවුන් ගේ පළමු තරගයේ දී කසකස්තාන අංක 2 ක්‍රීඩිකාවන් වූ සමාලිකෝවා සහ බොගාටු හමුවේ ද තරග වට දෙකම ඉදිරියෙන් සිට අවසාන මොහාතේදී ඉතා අවාසනාවන්ත ලෙස පරාජය නොවන්නට මෙවර කාන්තා සූරතාවය සදහා රන් වටයක ට ගොස් එය දිනා ගැනීමට අවස්ථාවක් ශ්‍රී ලංකාවට තිබිණ.
ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් තක්ෂිලා සහ ගීතිකා දෙදෙනාම දැක් වූ අප්‍රතිහත ධෛර්‍යයෙන් යුත් ක්‍රීඩා රටාව පැසසුම් සහගත විය.තමන්ට වඩා පළපුරුද්දෙන් සහ දක්ෂතාවයන්ගෙන් ඉදිරියෙන් සිටින බවට පිළිගත් කසකස්තාන් ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන ඉහළ භෞතික පරිසරයේ ආශිර්වාදයට සහ කායික වශයෙන් ඔවුන් තුල ඇති ශක්තිය ද දෙවැනි කර දැමීමට දැඩි මානසික ස්ථාවරභාවයකින් තරග වැදුනු එම දෙදෙනා ලද ජය ආදර්ශමත් එකක් වන්නේ හිත ඇත්නම් පත කුඩා ද යන ආත්තෝපදේශය සිහිගන්වන ආකාරයේ විශිෂ්ඨ එකක් වූ බැවිණි.
කාන්තා අංක 2 කණ්ඩායම ද අංක 1 කණ්ඩායමේ ජයග්‍රහණයේ පිබිදීම ඇතිව කසකස්තාන අංක 2 කණ්ඩායම වූ තරගයේ දී ප්‍රශස්ත ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් තරග වට 3 ක් දක්වා තරගයේ තීරණය ලැබීමේ කාලය දිගු කරන්නට සමත් වුව ද,එම කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩිකාව වූ සාගරික ගුණසිංහ වෙතින් තරගයේ අවසාන භාගයේ දී ලැබිය යුතු දායකත්වය නොලැබී යාම හේතුවෙන් අවසාන වටය ලකුණු 12 – 15 ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජය වන්නට සිදුවිය.
පිරිමි සූරතාවය රන් වටය දක්වා පිවිසි අතර සූරතාවය සදහා තරග වැදි ඉරාන සහ කසකස්තාන් කණ්ඩායම් තරග 2 බැගින් ජයගෙන තරගාවලිය සම තත්ත්වයට ගෙන ඒම එයට හේතුව විය.එහිදී කසකස්තානයේ සිඩ්ඔරෙන්කෝ සහ ඩයිචෙන්ක්කෝ පරාජය කළ ඉරානයේ ෆර්රොකී සහ සල්ගා පිරිමි සූරතාවය ඉරානයට දිනා දීමට පියවර ගත්තේය.කෙසේ වුව ද මහද්වීපික තරගාවලියේ අවසාන වටය නියෝජනය කිරීමට පිරිමි අංශයේ තෙවන ස්ථානය දිනූ ශ්‍රී ලංකාව සහ කාන්තා අංශයේ තෙවන ස්ථානය දිනූ ඉන්දියාව ද තේරී පත් වූ බැවින් ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම මහද්වීපික කුසලාන අවසාන තරග වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.
ජාත්‍යන්තර තරග පිටියේ ආසියාතික මට්ටමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවනට වෙරළ ක්‍රීඩාවේ පෙරට ඒම සදහා තරග ඇදුම විශාල ගැටළුවක් වී ඇති බව පෙනෙන්නට තිබෙන අතර තරග කරන ක්‍රීඩිකාවන් පවා ඊට අදාළ නිශ්චිත ඇදුමෙන් තොරව තරග වැදීම කැපී පෙණින.මේ තත්ත්වය යටතේ පිහිණුම් ඇදුමට මැලිකමක් නොවන සමාජ පංතියට වෙරළ වොලිබෝලය හදුන්වා දිම හරහා එම ඇදුම ඇදීමට දක්වන මැලි බව ඉවත් කිරීමට පියවර ගන්නේ නම් එම තරග අංශයේ මීට වඩා ප්‍රගතියක් සහ තරගකාරිත්වයක් ඇති කර ගැනීම අපහසු නැත.සිරුර නමනීය ලෙස වඩා පහසුවෙන් ක්‍රියාකාරී කර ගැනීමට අවශ්‍යය පසුබිම එම ඇදුම තුළ ඇති බව තේරුම් ගෙන ක්‍රියා කිරීම මෙහිදී ඉතා වැදගත් ය.
තරගාවලියේ දෙවන දිනයේ ලකුණු විස්තරය පහත දැක්වේ.
පිරිමි අංශය
ශ්‍රී ලංකා 1 කණ්ඩායම සහ ඉන්දියා 2 කණ්ඩායම
21-12, 21 -8
ශ්‍රී ලංකා 2 කණ්ඩායම සහ ඉන්දියා 1 කණ්ඩායම
21-9, 21-14
ශ්‍රී ලංකා 1 කණ්ඩායම සහ ඉන්දියා 1 කණ්ඩායම
21-13,21-13
ශ්‍රී ලංකා 2 කණ්ඩායම සහ ඉන්දියා 2 කණ්ඩායම
21-9,21-18
ඉරාන 1 කණ්ඩායම සහ කසකස්තාන 2 කණ්ඩායම
21-18,21-16
ඉරාන 2 කණ්ඩායම සහ කසකස්තාන 1 කණ්ඩායම
13 -21,15-21
ඉරාන 1 කණ්ඩායම සහ කසකස්තාන1 කණ්ඩායම
25-23,21-23,18-16
ඉරාන2 කණ්ඩායම සහ කසකස්තාන 2 කණ්ඩායම
14-21,14-21
ඉරාන 1 කණ්ඩායම සහ කසකස්තාන 1කණ්ඩායම (රන් වටය)
15-10

කාන්තා අංශය
ශ්‍රී ලංකා 1 සහ කසකස්තාන 2
20-22,19-21
ශ්‍රී ලංකා 2 සහ කසකස්තාන 1
9-21,14-21
ශ්‍රී ලංකා 1 සහ කසකස්තාන 1
11-21,21-16,19-17
ශ්‍රී ලංකා 2 සහ කසකස්තාන 2
11-21,23-21,12-15




No comments: