Jan 24, 2012

ක්‍රීඩා දිනපොත ක්‍රීඩා ඇමති අතින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට

ඡායාරූපය - පාලිත ගුණසේන

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෛනික චර්යාවන් ක්‍රීඩාවට උචිත සහ සෞඛ්‍යාරක්ෂිතව සකසා ගැනීම වෙනුවෙන් ක්‍රීඩා ජීවිතයට අදාළ සියළු දෛනික චර්යාවන් සටහන් කිරීම පිණිස සකස් කළ ක්‍රීඩා දින පොතක් හදුන්වා දීම ඊයේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ දී සිදු වුණා.ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය අමතා එය නිවැරදිව පරිශීලනය කිරීමේ වැදගත්කම පිළිබදව ප්‍රවීන පුහුණුකරු සුනිල් ගුණවර්ධන මෙන්ම ප්‍රවීන ක්‍රීඩිකා දමයන්ති දර්ශා ද දේශන පවත්වන්නට යෙදුණා.
ක්‍රීඩා වෛද්‍ය ඒකකය වෙනුවෙන් එහි වෛද්‍ය ලාල් ඒකනායකයන් විසින් සකස් කරන්නට යෙදුණ මෙම ක්‍රීඩා දින පොත පිළිබදව සුපිරි ක්‍රීඩා වෙත අදහස් දක්වමින් ක්‍රීඩා වෛද්‍ය ආයතන ප්‍රධානි මහාචාර්‍ය අර්ජුන ද සිල්වා ප්‍රකාශ කළේ මෙම පොත පරිශීලනය කිරීම පිළිබදව සොයා බැලීමට ක්‍රීඩා පරිපාලන පුහුණුකරුවන්මෙන්ම ක්‍රීඩකයන් ද අවධානය යොමු කිරීම වැදගත් බවය.විශේෂයෙන් මින් ඉදිරියට තහනම් උත්තේජන සිදුවීම් අළලා පුහුණුකරුවාද වරදකරුවෙකු වීම සිදුවන බැවින් පුහුණුකරුවන්ට මෙය තම ක්‍රීඩකයා සමග දැඩි සම්බන්ධතාවයකින් කටයුතු කිරිමට පෙළඹවීමක් වනු ඇති බවට විශ්වාසය පළ කළේය.
එසේම මෙය පරිශිලනය නොකරන අයට ක්‍රීඩාවෙන් ලැබිය යුතු වරප්‍රසාද අත්හිටුවීමට ද ක්‍රීඩා සංගම් හරහා කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බැවින් ක්‍රීඩා දින පොත නොවරදවා පරිහරණය කරන්නක් වීමත් එයින් ලාකේය ක්‍රීඩාවට යහපත් ජයග්‍රහණ ඇති වීමත් බලාපොරොත්තු විය හැකි බව ප්‍රකාශ කළේය.
ඡායාරූපයේ දැක්වෙන්නේ ප්‍රවීන මලල ක්‍රීඩක ප්‍රසන්න සම්පත් අමරසේකර ට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමයන් විසින් ක්‍රීඩා දිනපොත පිළි ගැන් වූ අවස්ථාවයි.

www.supirikrida.com

No comments: