Jun 1, 2012

වැඩමුළුවට පැසසුම්


 ජාතික සංචිතවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සංනිවේදන කුසලතා සහ මහජන සම්බන්ධතා වර්ධනය පිණිස,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති එක්දින වැඩ මුළුව, ඒ සදහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නොමද පැසසුමට භාජනය විය.එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ජනමාධ්‍යවේදීන් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇරඹි මෙම ගමන සාර්ථක කර ගනු පිණිස දිය හැකි සෑම සහයෝගයක්ම ලබ දෙන බවය.ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම වැඩ මුළුව සාර්ථක කර ගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍යංශය,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පදනම සමග අත්වැල් බැදගත්හ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මහාචාර්‍ය ආරියරත්න ඇතුගලයන් මෙහි ප්‍රධාන දෙසුමකට සහභාගි වෙමින් ක්‍රීඩකයෙකුට සිය කුසලතා වර්ධනය පිණිස ක්‍රීඩාව ආශ්‍රිත දැණුම මෙන්ම සාමාණ්‍ය සමාජ දැණුමද වැදගත්වන ආතාරය පැහැදිලි කර දුන්නේය.  ප්‍රවීන ජනමාධ්‍යවේදී දිවයින පුවත්පතේ ක්‍රීඩා කතෘ සහ සමකතෘ අශෝක ගුණතිලක ක්‍රීඩාවෙන් සාර්ථක වීමටනම් තමා කරන ක්‍රීඩාවෙන් වින්දනයක් ලැබීමට හුරුවීමේ වටිනාකම පැහැදිළි කළ අතර මනෝ විද්‍යා දේශකයෙකු වූ චමිල කොඩිකාර මානසික ශක්තිය ක්‍රීඩාවේ ජයග්‍රහණ සදහා කෙතරම් දුරට හේතු වන්නේ දැයි පැහැදිළි කළේය.
සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ කතෘ දිනේෂ් වීරවංශ ජයග්‍රහණයකදී මෙන්ම ජනමාධ්‍යයට මුහුණ දෙන සෑම අවස්ථාවකදී ම ක්‍රීඩකයා පෙර සූදානමකින් සහ අවබෝධයකින් සිටිය යුතු බව පැහැදිළි කළේය.ප්‍රවීන ක්‍රීඩා පුහුණුකරුවෙකු මෙන්ම ක්‍රීඩා විද්‍යයතනයේ හිටපු අධ්‍යක්ෂ යෝගානන්ද විජේසුන්දරයන් සිය දෙසුම තුළින් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ලබන ජයග්‍රහණයන් තනිව තමන්ට අයිති ජයග්‍රහණ නොවන බවත් එම ජයග්‍රහණ පිටිපස විශාල සමාජ සාධක ප්‍රමාණයක් සක්‍රීයව පවතින බැවින් ක්‍රීඩා ජයග්‍රහණයක් යනු සාර්ථක කණ්ඩායම් ක්‍රියාකාරීත්වයක පිළිබිඹුවක් බවත් පැහැදිළි කර දුන්නේය.
වැඩ මුළුවට සහභාගි වූ ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආරිය රූබසිංහ,ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම ‍සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මහාචාර්‍ය ආරියරත්න ඇතුගල වැඩමුළුව පිළිබදව සාකච්ඡාවක නිරත වී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
www.supirikrida.com 

No comments: