Nov 26, 2012

කිරුළ රත්නපුරෙන් ගම්පහට

Photoත්නපුර දිස්ත්‍රික්කය 2009 වසරේ සිට ඉකුත් වසර දක්වා තෙවරක්ම ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සූරතාවය දිනා ගනිමින් රැක ගත් ආධිපත්‍යය බිද මෙවර එම කිරුළ ගම්පහට රැගෙන යන්නට ගම්පහ දිස්ත්‍රික් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.අවසාන ඉසව්ව නිම වන තෙක්ම රත්නපුර සහ ගම්පහ අතර හුවමාරු වෙමින් පැවති මෙවර සූරතාවය ක්‍රීඩා උළෙලේ අවසාන ඉසව්ව වූ මීටර් 400 අවුරුදු 20 න් ඉහළ පිරිමි තරගයේ ජයග්‍රහණයත් සමග ගම්පහට හිමි විය.ඒ රත්නපුරට වඩා වැඩි ලකුණු 4 ක් ලබමින්ය.තෙවන ස්ථානය හිමි වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයට ය.
හිමේෂ
වයස් ඛාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේ අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වූයේ ලාංකේය කෙටි ධාවන පථයේ අල්‍රුත්ම බලාපොරොත්තුව ලෙස වැඩෙන හිමේෂ ඒෂාන් ය.කළුතර විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි මෙම යෞවනයා මීටර් 100 ඉසව්ව තත්පර 10.54 කින් නිම කර සමස්ත සිය වයස් ඛාණ්ඩයේ පමණක් නොව සමස්ත උළෙලේම වේගවත්ම ක්‍රීඩකයා වන්නට සමත් විය.ජාතික තරුණ සේවා සභාවෙන් ඇතැම් විට මෙවැනි ක්‍රීඩකයන් බලා හදා වඩා ගන්නා ක්‍රමවේදයකට යම් යම් අවස්ථාවලදී පිවිසෙනු අප දැක ඇත්තෙමු.මෙයද ඒ සදහා ඉතා හොද අවස්ථාවක් වන බව සැක නැති අතර හිමේෂ වයස,හැකියාව ආදිය සළකා බලන විට හෙට ඔහු රටට මෙන්ම ජාතික තරුණ සේවා සභාවට ද ආලෝකයක් විය හැකි තරුණයෙකු බව සහතිකය.

චම්පිකා
මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ සිටින හොදම මැදි දුර ධාවිකාව ලෙස කැපී පෙණෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ චම්පිකා දිල්රුක්ෂී ක්‍රීඩා උළෙලේ අවුරුදු 20 න් ඉහළ ක්‍රීඩිකාව වූයේ මීටර් 1500 ඉසව්ව විනාඩි 4:17.69 ක ට නිමා කරමින්ය.එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවේ ද උරුමක්කාරිය වන චම්පිකා ගේ මෙම දක්ෂතාවය ඇයගේ ජාතික වාර්තාවට පමණක් දෙවන වන්නීය.මෙම තරග උළෙලේ ජාතික වාර්තාවට පිවිසෙන අයෙකුට මෝටර් රථයක් දිනා ගැනීමේ අවස්ථාව තිබුණද,ඇයට එම අවස්ථාව ඉතා අවාසනාවන්ත ලෙස අහිමි වී ගියේ ඇය පසුගිය සතියේ යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා උළෙලේදී  නව ජාතික වාර්තාවද තබ සිය සේවා බලකාය වෙනුවෙන් මිටර් 100 සහය දිවීම වැනි ඉසව් වලට ද සහභාගි වෙමින් අධික ලෙස වෙහෙසට පත්වීම නිසාද යන්නද සැක සහිතය.ඒ නිසා සියළු හමුදාවල ජාතික සහ ක්‍රීඩක වගකීම් දෙවන කොට සිය අන්තර් රෙජිමේන්තු උළෙල ප්‍රධාන කොට ඔවුන් රෙජිමේන්තු ජයග්‍රහණ අරමුණු කර පීඩනයට පත් කිරීමේ  පල විපාකය ලාකේය ක්‍රීඩා කේෂ්ත්‍රයේ සිහිනයක් බදු මෝටර් රථයක් දිනා ගැනීමේ අවස්ථාව චම්පිකාට අහිමි වූවා ද යන්න දැනෙන විට සියළු රෙජිමේන්තු ගැන ගෞරවය පළුදු වන්නේය.

මේ අතර තුන් පිම්ම ජාතික වාර්තාලාභියා වන ගම්පහ දිස්ත්‍රික්කයේ එරංග දිනේෂ් ප්‍රනාන්දු යෞවන ක්‍රීඩා උළෙලේ අවුරුදු 20 න් ඉහළ වාර්තාවේද උරුමක්කාරයා වූයේ මීටර් 16 .04 ක දක්ෂතාවයක් දක්වමින්ය.එම දක්ෂතාවය ඔහුට අවුරුදු 20 න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හිමිකර දෙන්නට ප්‍රමාණවත් විය.ඔහු ද මෑත කාලයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කේෂ්ත්‍රයට පෑයූ වටිනාකම් සහිත ක්‍රීඩකයෙකු වන අතර ජාතික වගකීමක් ලෙස සළකා රැකගත යුතු ක්‍රීඩකයෙකි.අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ කේඒඑස් දුලාංජලී  තේරී පත්විය.මීටර් 12.44 ක දක්ෂතාවයක් තුන් පිම්ම ඉසව්වේදී  පෙන්වූ ඇය ඒ සදහා හිමිකම් කීවාය.
නව වාර්තාවකට රුපියල් 10000 ක් හිමි වීම මෙම උළෙලේ විශේෂත්වයකි.ඒ අනුව මෙවර ඒ වෙනුවෙන් රුපියල් තුන්ලක්ෂ තිස්දහසක් වැය කරන්නට සිදු වූයේ තිස්තුන් දෙනෙකු එම කඩඉම ඉක්මවා ගිය බැවින්ය.නමුත් උළෙල වාර්තාවක් සම කිරීමක් ද එම ප්‍රදානයන්ට අයත්විය යුතුය.
එහෙත් එවැන්නක් සිදු නොවුණු නිසා උස පැනීමේ ක්‍රීඩිකා ප්‍රියංගිකා මධුමන්තිට අසාධාරණයක් සිදු විය.
ක්‍රීඩා උළෙල අලංකාරවත් කිරීම සදහා කර තිබූ අවශ්‍යය දේ මෙන්ම අනවශ්‍යය දේ ද තිබිණ.අනවශ්‍යය දේ ඈත් කර දැමුවේ නම්,එයින් විශාල වියදමක් ඉතිරි කර ගැනීමට තිබිණ.එවැනි අනවශ්‍යය වියදමක් ලෙස  ක්‍රීඩාංගණය වටා යෙදු කුඩා විදුලි බුබුළු දැක්විය හැකිය.සමහර විට ගෙවුණු ආසියාතික කණිෂ්ඨ ක්‍රීඩා උළෙලේ දී විදුලි බුබුළු යෙදීමෙන් ලද උත්තේජනය එයට බලපෑවා වෙන්නට හැකිය.නමුත් එම උළෙල රාත්‍රියේදී ක්‍රියාත්මක වුව ද මෙය ක්‍රියාත්මක වූවේ දහවල් කාලයේ බැවින් එසේ විදුලි බුබුළු දැල්වීම දහවල් විදුලි පන්දමක් දල්වා ගෙන ඇවිදීමට සමාන විය.
තරගාවලියේ මාධ්‍ය කටයුතු මෙහෙයවීමේ දී මාධ්‍යයට ආරක්ෂක ලේකම්වරයාගේ පැමිණෙන බව සදහන් කර පසුව ඒ බව සදහන් කළේ නම් ඔහු සහභාගි නොවන බව යළිත් සදහන් කරන්නයැයි මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කළේ එය විශාල වරදක් ලෙස සළකා ගෙන බව පෙණින.නමුත් සමාරම්භයට සහ සමාප්තියට ලද ආරාධනාවන් පිරික්සද්දී ද,ආරක්ෂක ලේකම්වරයා සහභාගිවන බව දකින්නට විය.ඒ නිසා එම ප්‍රවෘත්තිය වෙනස් කිරීමට උත්සාහ දැරීම නිශ්පල වෑයමක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගෙන්ම අසා දැන ගැනීමට පුළුවන.ප්‍රවෘත්ති ඔබ අතට පෙරවරුවේ පත් වුව ද එම ප්‍රවෘත්ති සහිත ලිපි සහිත පිටු සැකසෙන්නේ ඊට පෙර දිනයේ බවත් සමහර විට උදෑසන පළකිරීමට එන ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙස ඉල්ලන විට පුවත්පතේ ඒ කොටස පිටපත් ලක්ෂ ගණනක් මුද්‍රණය කර අවසන් වී තිබෙනන්නට පුළුවන් බවද ඩලස් අමාත්‍යවරයාගෙන්ම දැන ගැනීමට හැකිය.
උළෙල ආවරණයට වඩා මෙහිදී උළෙලේ සැමරුම් මාධ්‍ය අතර බෙදා දෙද්දී අවධානය යොමු කර ඇත්තේ උළෙල සම්බන්ධ මාධ්‍ය හමුවට සහභාගි වී එම නිලධාරි මුහුණු ආවරණයදැයි යන සැකය මතු වූවේ මාධ්‍යයට උළෙල ආශ්‍රිත සැමරුම් එම මාධ්‍ය හමුවට සහභාගි වූ අයට පමණක් ප්‍රදානය කරන බවක් අවස්ථා කිහිපයකදීම මාධ්‍ය අංශයේදී අසන්නට ලැබුණු බැවින්ය.සැමරුම් බලාපොරොත්තුවෙන් මාධ්‍ය ආවරණ කටයුතු සිදු නොකළද,ක්‍රීඩා උළෙලක අසීරුම කටයුත්ත ක්‍රීඩා කටයුතු ආවරණය බැවින් එය නොතකා හැරීම කණගාටුදායකය.
එසේම මාධ්‍ය සාකච්ඡා පවත්වද්දී ක්‍රීඩා මාධ්‍ය සාකච්ඡා පැවත්වීමේදී ඒ සදහා යොදා ගන්නා කාලය ද වැදගත් බව කල්පනා නොකිරීම ද මෙවර මාධ්‍ය හමුවට සහභාගිවීමේදී ගැටළු ඇති කළේය.ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඒකකයට අමතරව ක්‍රීඩාව සම්බන්ධ අයෙකුද නිරන්තරයෙන් මාධ්‍ය අංශයට තරග උළෙල පැවත්වෙන කාල සීමාවට යොමු කර තිබීම වැදගත් බව මීට වසර කිහිපයකට පෙර සිටම අප පෙන්වා දී ඇතත් ඒ ගැන තවමත් අවධානය යොමු නොවී ඇත.ඇතැමෙකුට මෙය විවේචනයක් ලෙස දැනිය හැකි නමුත් රටේ ප්‍රධානතම ශක්තිවන්ත බලවේග ක්‍රීඩා පිටියේ රොද බන්දන යෞවන ක්‍රීඩා උළෙල වඩා යහපත් තලයකට ඔසවා තබන්නට මේ සටහන්කරු දක්වා තිබෙන සහයෝගය එහි වාර්තා ඉතිහාසය නිවැරදි ලෙස පළවීම ගැන පසුබිම හොයන්නෙකුට පැහැදිළි කර ගැනීමට හැකි නැත.එසේ ස්වේච්ඡාවෙන් කැපවීම් කරමින් ක්‍රීඩා උළෙලේ යහපත වෙනුවෙන් වෙහෙසවීම ඇද පමණක් දැකීමක් ලෙස සිතන්නෙකුට කීමට ඇත්තේ එය ඔහුගේ චින්තනයේ ඇදයක් පමණක් බවය.
කෙසේ වුවත් අලුත් හා වැදගත් දේ එකතු කරන ක්‍රීඩා උළෙලක් ලෙස මීට වසර 5ට පමණ පෙර සිට වැඩෙමින් පවතින යොවුන් ක්‍රීඩා උළෙල සරුව පිත්තල වලින් අලංකාර නොකළද,එය මේ රටේ ක්‍රීඩාවේ වැදගත් වූ විශාල භාවිතාවක් බව අපි විශ්වාස කරන්නෙමු.ඒ නිසා ගුණාත්මක ලෙස ක්‍රීඩාවට සහ ක්‍රීඩකයාට ප්‍රතිපාදන වැඩි වශයෙන් ලැබෙන උළෙලක් ලෙස තව දුරටත් වර්ධනය කරන්නට කල්පනා කරනු විනා පාට පාට නිවෙන විදුලි බුබුළු බවට පත් නොකිරීමට නොසිතන්න යැයි අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.ජාතික තරුණ සේවා සභාව සතුව යොවුන් හැකියාවන් වලින් පිරුණු යොවුන් සම්පත් බොහෝය.ඒ කලා අංගයන් වෙනත් ඕනෑම කලා නිර්මාණ සමග කරට කර තැබිය හැකි අයුරෙන් ඉදිරිපත් කළ හැකිය.එසේම ක්‍රීඩා උළෙලට මහ දවල් විදුලි බුබුළු යෙදීමට වඩා මේ රටේ රූපවාහිණි සහ සිනමා මාධ්‍යයේ මහ දැවැන්තයන් බිහි කළ නිස්කෝ වීඩියෝව හරහා තිර යොදා ක්‍රීඩාංගණයෙන් පිටත සිට නැරඹිය හැකි පරිදි විකාශයක් කළේනම් එයද ජාතික තරුණ සේවා සභාවෙන් මාධ්‍ය මෙහෙවරට හෙට දින පිටතට එන්න සිටින තරුණ කණ්ඩායම් වලට ජාතිය වෙනුවෙන් කරන ආයෝජනයක් විය හැකිය.ඒ සදහා ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් පශ්චාත් මත විමසීමක් කළ හැකිනම් වැදගත්ය.ඒ සදහා 'මරු ස්ර්' න්‍යායෙන් පිළිතුරු බදින්නන් වෙනුවට 'විවේචන සමග ඉදිරිපත් වන යෝජනා'ගැන වැඩි අවධානයෙන් සිතිය හැකිනම් වඩා වැදගත්ය.
www.supirikrida.com

No comments: