Nov 26, 2012

ඇමතිතුමනි! වටනබේට වටනාකමක් දෙන්න

පන් ආධාර මත ඉදිවන හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ආශ්‍රිතව ඉදිවන බේස්බෝල් ක්‍රීඩාංගණය දකුණු ආසියාවේ ඉදිවන පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය යි.මෙම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ බේස්බෝල් ප්‍රේමීන්ගේ සිහිනයක් සැබෑවීමක් පමණක්ම නොවේ.එය ලංකාවේ බේස්බෝල් වලට ආදරය කරන ජපනෙකුගේ සිහිනයක් සැබෑවීමක් පමණක් නොව හපන්කම් වල ජයක්ද ලෙස හැදින්විය හැකිය.එම සිහිනය සැබෑ කර ගැනීමට ඔහු කළ වන්දනාවේ මේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ,මැති ඇමතිවරුන්ගේ සිට ජනාධිපතිවරයා දක්වාම දන්නා කරුණක්ද බැවින් ඒ ගැන ලියන්නට යාම පලක් නැත.ඒ ජපනානම්,වත්මන් ශ්‍රී ලංකා බේස්බෝල් පුහුණුකරු  යසුමා වටනබේ ය
කලක් යන විට මෙම සිහිනය යථාර්තයක් කර ගන්නට වෙර දැරූ වටනබේ ගේ නම සුළගේ ගසා ගෙන ගොස් මේ පිටියේ හිටවන මල්පැල වල පවා එක එක පුද්ගලයාගේ නමින් නම් වන්නට ඉඩ ඇත.ඒ ජයග්‍රහණයේ පසුව ඇති වන සැබෑ තත්ත්වයක් බව ට මානවීය උදාහරණයක්ම දැක්විය හැකිය.2000 වසරේ දී කෙන්යාවට මීටර් 800 කාන්තා ඔලිම්පික් පදක්කම ගෙනා පැමෙලා ජෙලිමෝ අවජාතක දියණියක ලෙස පීතෘත්වය පිළිබදව සහතිකයක් නොලැබ සිටියාය.නමුත් ජයග්‍රහණයෙන් පසුව පීතෘත්වය සනාත කර ගැනීම සදහා කිහිප දෙනෙකුම ඩීඑන්ඒ පරීක්ෂණ සදහා ඉදිරිපත් වන්නට විය.
ඒ නිසා මෙම ක්‍රීඩාංගණය නොව අඩුම තරමේ ප්‍රධාන ක්‍රීඩාගාරය හෝ යසුමා වටනබේ නමින් නම් කිරීමට අමාත්‍යවරයාට මැදිහත් විය හැකිනම් එය අපේ කෘතවේදීත්වය පිළිබදව ජාත්‍යන්තර සහතිකයක් විය හැකිය.එසේම එතෙකින් නොනැවතී තවත් දේ මේ ක්‍රීඩාංගණය හරහා ලාංකේය බේස්බෝල් ක්‍රීඩාවට ඈදා ගැනීමට ද මෙය පිටුවහලක් කර ගැනීමට එය හොද අවස්ථාවක් විය හැකිය.විශේෂයෙන් අමාත්‍යවරයාගේ ජපන් සබදතාවල වර්ගපලය හොදින් දන්නා මේ සටහන්කරු එය පදනමක් කර ගෙන තවත් මෙයට ඈදා ගත හැකි දේ සදහා ආරම්භයක් ලබා ගැනීමට වටනබේ ගේ නම විශාල පිටුවහලක් විය හැකිය.
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී ත් මලල ක්‍රීඩා සංචිතය ලැගුම් ගත්තේ එහි මලල ක්‍රීඩා ක්‍රීඩාංගණයට යාබදව ඇති හමුදා කදවුරට අයත් නේවාසිකාගාරයේය.එවැනි නේවාසිකාගාරයක් බේස්බෝල් ක්‍රීඩාංගණයට යාබදව ද ඉදිවන්නේනම් අප ඊයේ අඩුපාඩුවක් බව පෙන්වා දුන් ජාතික බේස්බෝල් සංචිතයක් පවත්වා ගෙන යාමට එය මහත් පිටුවහලක් වන බව නිසැකය.
බේස්බෝල් ජාතික කණ්ඩායම ගත්තද වැඩි පිරිසක් සිටින්නේ ගාල්ල,මහනුවර ආදි ප්‍රදේශවලින් පැමිණෙන අය බව පැහැදිළිය.එවැනි නේවාසිකාගාරයක් ඇති වන්නේ නම් එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනවා සැක නැත.
ඉතිං එවැනි කාරණයකදිත් වටනබේ ට රටක් සහ රටේ ක්‍රීඩාවක් විදිහට ඔහුගේ සේවය ඇගයීමට ලක් කිරීම සදහා ක්‍රීඩාගාරයට හෝ නම යොදා තිබිම වාසිදායක විය හැකි බැවින් ඉක්මණින් දියුණුව කරා ළගාවෙන ලාංකේය බේස්බෝල් ක්‍රීඩාවේ දියුණුවේ ගමණ වේගවත් කිරිමට නේවාසිකාගාරයක් වැනි දේ ප්‍රමාදයේ තිරිංග මුදන ප්‍රවේග ගියරයක් විය හැකි බව අපි සතුටින් සිහිපත් කරන්නෙමු.පුහුණු සැසි සදහා ක්‍රීඩකයන් යොමු කිරීම,පිටත සිට පැමිණීමේදී ඇති විය හැකි ගැටළු සහ ප්‍රමාදයන් අවම කර ගැනීමේ සහ මානසික මට්ටම යහපත් ලෙස පවත්වාගෙන යාමේ ඉඩ - කඩ පුළුල් කිරීමට ලාංකේය බේස්බෝල් පරිපාලනයට එවැන්නක් දායාදයක් - ආභරණයක් විය හැකි බව ද අපි සිහිපත් කරණු කැමැත්තෙමු.
එසේම නිරන්තරයෙන් JICA ආයතනය ශ්‍රී ලංකාවට බේස්බෝල් පුහුණුකරුවන් ලබා දීමේදී ඔවුන්ගේ නවාතැන් සදහා ද වියදම් කරන බව නිබොරුය.ඒ බර හෝ එම අනුග්‍රහයෙන් මුදවා තැබිය හැකිනම්,ඒ වෙනුවට වෙනත් සංවර්ධනයට අපේක්ෂා කරන තවත් දෙයක් පිළිබදව අපට ඔවුන් හා සාකච්ඡා කළ හැකිය.
ඒ නිසා අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ වියදමකකින් තොරව බේස්බෝල් ක්‍රීඩාවට පැළදිය හැකි ආභරණයක් ලෙස යසුමා වටනබේ ගේ නම ට ඉදිවන ක්‍රීඩාංගනයේ ප්‍රධාන ක්‍රීඩාගාරය හෝ නම් කිරීමෙන් ලබා ගත හැකි වාසිදායක තත්ත්වයන් නොතකා නොහරිනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
www.supirikrida.com

No comments: