Dec 30, 2012

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සුදු තාත්තා සමු ගනියි

'පිය' යන වචනය දිනා ගන්නට තරම් පියකරු ලැබැදි බවක් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඔහු තුළ විය.නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තලයේ වීරත්වයේ සළකුණක් බවට පත් කරන්නට හේතු වූයේ ඔහුය.ඒ නිසාම ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් මිදුණු සමස්ත ලාංකේය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් වෙත ද වීරයෙකු බවට පත් විය.අන්නාසි කෑල්ලක රස බලමින් එය ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වන රස පළතුරක් කරන අතරේම ලිට්ල් කළු,මාස්ටර් බ්ලාස්ටර්,කැප්ටන් කූල් යන වචන ක්‍රිකට් සංස්කෘතියට හදුන්වා දෙමින් ලාංකේය ක්‍රිකට් වීරයන්ගේ ප්‍රතිරූපය ජගත් ක්‍රිකට් පිටිය තුළ සනාත කරන්නට ටෝනි ග්‍රෙග් නම් මේ සුවිෂේශී මිනිසාට හැකි විය.
ලාකේය ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉංග්‍රිසි ව්‍යවහාරයේදී පසුබෑම පිළිබදව ක්‍රීඩක කාමර වලටම එබී කතා කර ඔවුන් අපහසුවට පත් නොවන ආකාරයට කතා බහ කිරීමට වටපිටාව සකස් කර ගන්නට තරම් මේ සුන්දර මිනිසා දක්වා තිබෙන කැපවීම හෙළිදරව් වෙද්දී ඉංග්‍රිසි දැණුම අඩු ක්‍රීඩකයන්ව ද අපහසුවට පත් කරමින් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අසන ඇතැම් ලාංකේය නිවේදකයන් ට ඉ‍ගෙන ගන්නට බුද්ධියක් තිබේනම් ග්‍රෙග් විශ්ව විද්‍යාලයකි.ලංකාවේ සාහිත්‍යධරයන් කලා කරුවන් සමග  එකම බෝඩිං කාමර වල කරක් ගැසූ ඇතැම්හූ සීගිරිය,දඹුල්ල පිළිබදව කියා ගන්නට නොහැකිව ලතවෙන විට ශ්‍රී ලංකා ක්‍රිකට්  ජාත්‍යන්තර වශයෙන් අපහසුවට ලක් වන තැන් හී විස්තර විචාරක කුටිය තුළ සිය ගැඹුරු හඩින් ලංකාවේ ගැලවුම්කරු වූ ටෝනි එවැනි අවස්ථාවල දී උපන් රට ගැන නොදන්නා පිරිසගේ ද ගැලවුම්කරු වෙනු අප දැක ඇත.
සනත් ජයසූරිය වැනි පිතිකරුවෙක් වීරයෙක් වීමට ඔහුගේ ජවසම්පන්න පහරවල් තරමටම තදින් ජව හදවත් තුළට වදින්නට ඔහු සම්බන්ධයෙන් ටෝනි පැවසූ වචන ද හේතු වූ බව අපි පිළිගත යුතු වන්නෙමු.ඒ නිසාම ලෝකය පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් වූ සනත් පාර්ලිමේන්තු මංත්‍රී පදවියක් දක්වා සිය ජනප්‍රියත්වය ඔසවා තැබීමෙන් ඉනික්බිති විස්තර විචාරක කුටියද ආක්‍රමණය කළේය.එහිදී ද විස්තර විචාරකයාගේ වගකීම් ක්‍රිකට් ඉක්මවා ගිය එකක් බව සනත්ට පැහැදිළි කළ ටෝනි, සනත් නොදත් සනත්ගේ රටේ ජාතික අනන්‍යතා පිළිබදව සනත් ට කියා දුන්නේය.
ඔහු ලංකාවේ ඉතිහාසයේ සිට වර්ථමානය පිළිබදව ඓතිහාසික මෙන්ම දේශපාලනික කියවීමක් ද ඇති පුද්ගලයෙකු ලෙස අපට අනන්‍ය වූ ඇවතුම් පැවතුම් පිළිබදව ද විශාල අවබෝධයක් ඇතිව කටයුතු කළ අයෙකි.ඔහුගේ ක්‍රීඩක අවධියේ ඇතැම් සිදුවීම් නිසා ඔහු කළු ජාතික විරෝධියෙකු ලෙස හංවඩු ගැසුණු අවස්ථා දැක තිබුණත් ක්‍රීඩක භූමිකාවෙන් නික්මීමෙන් ඉනික්බිතිව ඔහු කුඩා රටවල ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙන ඒමට විශාල කැපවීමකින් සිය හඩ අවදි කළ ක්‍රීඩකයා විය.ශ්‍රී ලංකාවේ පමණක් නොව බංගලාදේශය වැනි රටවල ද ශකීබ් අල් හසන් වැනි ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයේ ඉදිරියට ගෙන ඒමට ටෝනි ගේ හඩට විශාල ශක්තියක් තිබිණ.
ක්‍රීඩක භූමිකාවන් විවිධ චරිත සදහා ජේදනය වෙනු දකිමින් සහ අනතුරුව ඒවා සිය න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවන්නට වෙර දරා ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට යම් යම් හානි කරක අයුරුද අප කලින් කල දැක ඇත.නමුත් ටෝනි කිසි විටෙකත් එවැනි හානියක් නොකළ ලංකාවේ ක්‍රිකට් අභිවෘද්ධිය වෙනුවෙන්ම සිය කැපවීම ඇපවීම උපරිමයෙන්  කළ ටෝනි ඇතැම් විට ජන්මයෙන් ලාංකිකයන් වූ අයෙකුට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා‍ව වෙනුවෙන් සැබෑම ලාකේය ක්‍රිකට් ප්‍රේමියෙකි.ඒ ප්‍රේමය සදාකාලිකව ක්‍රිකට් පිටියේදී අපේ ඓතිහාසික ජයග්‍රහණ ස්මරණය කරමින් සිහිකරනු හැකි වුව ද යළිත් සජීවීව ඒ හඩ අපට අසන්නට වරම් නැත.ටෝනි නික්ම ගොස් ඇත්තේ නොඑන ගමණකටය.එහෙත් කාටවත් යා නොහැකි දුරක් ඔබ ලාංකේය ක්‍රිකට් ප්‍රේමීන්ගේ හෘදයාංගම බව තුළ ගොස් ඇත.එ හෘදයාංගම බව අසළට හෝ ඒමට හැකි අයෙක් දැනටනම් නැත.ඒ නිසා ඔබ සිටින විට දැණුනු පිරුනු බව බොහෝ කාලයක් අපට හිස් ව දැණෙනු ඇත.
ටෝනි!
 ඔබට දෙව් මව් තුරුළේ සැතපෙන්නට ප්‍රාර්ථනා කරන්නට හෝ නිවන් සුව පතන්නට හෝ පෙර ටෝනි ගේ උවමනාව ගුරු කොට ලාංකේය ක්‍රිකට් සම්බන්ධයෙන් මැදිහත්වීමේදී ඊට අවංකව ආදරයෙන් මැදිහත් වීම තුළින් ටෝනිට දැක්විය හැකි ගෞරවය පාරභෞතික ප්‍රාර්ථනාවන්ට වඩා ටෝනිට දැක්විය හැකි ‍ඉහළම ගෞරවය බව අපි විශ්වාස කරන්නෙමු!
www.supirikrida.com


No comments: