Jan 2, 2013

බේස්බෝල් ලියුම ගැන සොයා බලනවා - රංජනී ජයකොඩි

පැවති ප්‍රතිමළුන් පිටුදැකීමේ ජාතික බේස්බෝල් තරගාවලියේ හොදම කණ්ඩායම් අට අතර පැවත්වෙන ලීග් තරගාවලියේදී ලීග් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් ශක්තිමත් කිරීමට පරාජිත කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට එම කණ්ඩායම් වලට ක්‍රීඩා කිරීමට දීමේ සදාචාරසම්පන්න විරෝධී ක්‍රියාව නීත්‍යානුකූල තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය ලබා ගත් බව කියමින් ක්‍රීඩා සමාජ වෙතින් ලිපියකට අත්සන් ලබා ගැනීම පිළිබදව සොයා බලන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි පැවසුවාය.අප ක්‍රීඩා සමාජ වෙතින් ලැබුණු තොරතොරු මත මේ පිළිබදව අධ්‍යක්ෂ ජෙනරාල්වරියගෙන් මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනාගෙන්ද විමසීමක් කළ අතර එම තිදෙනාටම එවැනි ලිපියකට අනුමැතිය ලබා දුන් බවක් මතක තිබුණේ නැත.
මෙහිදී එම අනුමැතිය ලබා ගැනීමේ දී අදාළ ප්‍රතිමළුන් පිටුදැකීමේ තරගාවලිය පදනම් කරගෙන ලීග් තරගාවලිය පැවත්වෙන්නේ නම් පරාජිත ක්‍රීඩා සමාජ වල ක්‍රීඩකයන් ලීග් තරගාවලියට සුදුසුකම් ලත් කණ්ඩායම් වලට ඇතුළත් වීම අසාධාරණ බව එම නිලධාරීන්ද පිළිගත් අතර මෙම තරගාවලියට කණ්ඩායම් තෝරා ගැනීමේදී එය නව තරගාවලියක් ලෙස සළකන්නේ නම් එම කණ්ඩායම් තෝරා ගැනීම පිළිබදව පැහැදිළි කිරිමක් අවශ්‍යය වන බවද ඔව්හූ පිළි ගත්හ.
සාමාන්‍යයෙන් මෙවැනි ඉල්ලීමක් ක්‍රීඩා සමාජ හරහා ඉදිරිපත් විය හැකි අතර එය සදාචාර සම්පන්නද - නැද්ද යන්න තීරණය කිරීම අදාළ පරිපාලනය විසින් කළ යුතුය.නමුත් මෙහිදී ක්‍රීඩා සමාජ ‍එම සදාචාර සම්පන්න නොවන තත්ත්වයට ඇද දැමීමට ලිඛිතව කැමැත්ත ලබා ගැනීම පරිපාලනයක් විසින් සිදු කිරීම හාස්‍යයට තුඩු දෙන කරුණක්ය.මේ වන විට එම අවසර ලබා ගැනීම ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය මත සිදු වන බවට ඇතැම් ක්‍රීඩා සමාජ වලට දැණුම් දී තිබෙන බවත්,එහිදි ඇතැම් ක්‍රීඩා සමාජ අමාත්‍යංශයෙන් අවසර ලබා ගැනීම සිදු වී ඇත් නම් යළි ක්‍රීඩකයන්ගෙන් අත්සන් ඉල්ලා සිටින්නේ කුමකට ද යන්න ප්‍රශ්න කර ඇති බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.
මෙසේ ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියට ක්‍රීඩා කළ පරාජිත කණ්ඩායම් වල ක්‍රීඩකයන් ලීග් තරගාවලියට සුදුසුකම් ලත් කණ්ඩායම් වලට ඇතුළත් කිරීමෙන් ලීග් තරගාවලිය සදහා කණ්ඩායම උසස් කිරීමට දායකත්වය දැක් වූ එම කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදු වන බවත්,පරාජිත කණ්ඩායම් වල දැනට සිටින දක්ෂ ක්‍රීඩකයන්ද මේ තත්ත්වය නිසා එම කණ්ඩායම් වලට අහිමි වී යාමෙන් එම කණ්ඩායම් වල ඉරණම තව දුරටත් අවාසනාවන්ත තත්ත්වයක් ගනු ඇති බවත් පෙන්වා දෙන බේස්බෝල් ක්‍රීඩකයන් පවසන්නේ නමුත් පරිපාලනය විසින් ලිපියකට අත්සන් තැබීමට බලපෑම් කරද්දී එය ප්‍රතික්ෂේප කිරීමෙන් තමන්ගේ ක්‍රීඩකත්වයට අවැඩක් වෙනු ඇති බවත්ය.පරිපාලනයේ කාර්යය විය යුත්තේ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට නම් ක්‍රීඩා සමාජ වලට දක්ෂයන් බෙදී යාම ද ව්‍යාප්ත කිරීම වුවත් පරිපාලනය කටයුතු කරන්නේ ක්‍රීඩා සමාජ කිහිපයකට දක්ෂයන් කොටු කර එම ක්‍රීඩා සමාජ අතරේ පමණක් මෙම ක්‍රීඩාව රදවා ගැනීමට බවත් එම අදහස් දක්වන්නන් තව දුරටත් පැහැදිළි කරයි.
පරාජිත කණ්ඩායම් වල ක්‍රීඩකයන් ඇතුළත් නොකර මෙම ක්‍රීඩා සමාජ වලට නව තරුණ ක්‍රීඩකයන් අලුතින් ඇතුළත් කර ගැනීමට හැකියාව ඇති බව පෙන්වා දෙන තවත් පිරිසක් පැහැදිළි කළේ මෑත කාලයේ ජපන් කනගාවා කණ්ඩායම අතර පැවති තරගවලදීත් නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා මනාව හදුනා ගැනීමට හැකි වූ බවය.එවැනි කිසිදු පරාජිත කණ්ඩායමකට ඇතුළත් නොවන ක්‍රීඩකයෙකු ලීග් තරගාවලිය නියෝජනය කරන කණ්ඩායමකට ඇතුළත් වීම ගැටළුවක් නොවන නමුත් ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේම දිගුවක් ලෙස පැවත්වෙන ලීග් තරගාවලියේදී පරාජිත කණ්ඩායමක ක්‍රීඩකයෙක් ලීග් තරගාවලියේ කණ්ඩායමට ඇතුළත් වන්නේනම් එය එක තරගාවලියක් තුළ ක්‍රීඩකයෙකු  ක්‍රීඩා සමාජ දෙකකට ක්‍රීඩා කිරීමක් වන බව පැහැදිළි කරන එම පාර්ශවය මෙය පරිපාලනය විසින් සිදු කිරීමට මැදිහත් වීම ඉතා භයානක තත්ත්වයක් බවත් ඒ අනුව ලීග් තරගාවලියට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් වල ක්‍රීඩකයන් පරිපාලනයේ හිතවත් කණ්ඩායම් වලට ඇතුළත් කර අනෙකුත් කණ්ඩායම් දුර්වල කිරීමට හැකි බවත් පෙන්වා දෙති.
ක්‍රීඩකයින් අධෛර්යට පත් කිරීම,ක්‍රීඩා සමාජ අකර්මන්‍ය කිරීම වැනි ක්‍රීඩාවට අහිතකර විශාල බලපැමක් මෙම සිදු වීම හරහා විය හැකි බවත්,සුපිරික්‍රීඩා ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියට පැහැදිළි කළ අතර ඇය ද මෙම තත්ත්වය පිළිගනිමින් එවැනි තත්ත්වයකට කිසිසේත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් අවසර නොලැබෙන බවත් පෙන්වා දුන් අතර කිසියම් නොමග යැවීමක් මගින් එවැනි දෙයක් සිදු වී ඇත්නම් වහාම එය නිවැරදි කිරීමට සිය දායකත්වය ලබා දෙන බවත් පැහැදිළි කළාය.
www.supirikrida.com


No comments: