Jan 14, 2013

පෙස්ටස් සහ ගයි දැයෙන් සමු ගතියි

ශ්‍රී ලංකාවට බේස්බෝල් ක්‍රීඩාව හදුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරට දායක වූ 1977 එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වූ පෙස්ටස් පෙරේරා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා සහ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස 83 - 8 කාල වකවානුවේ කටයුතු කළ සහ පසුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද,ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ලෙස ද කටයුතු කළ ගයි ද අල්විස් ඊයේ සිය ජීවිත වලට සමු දුන්නේය.
පෙස්ටස් ක්‍රීඩාවට සමීප ව කටයුතු කළ දේශපාලනඥයෙකු ලෙස ප්‍රකට අතර අද ද දිවයිනේ ප්‍රධානතම මලල ක්‍රීඩා ධාවන පථයක් ලෙස පැසසුම් ලබන වෙන්නප්පුව අල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණය ඇතුළු එම ක්‍රීඩා සංකීරණය ජනතාවට පවරා දීම කෙරෙහි විශාල මෙහෙවරක් කළේ ෆෙස්ටස් පෙරේරා ය.එසේම ධිවර අමාත්‍යවරයාව සිටිය දී ධිවර ප්‍රජාව අතර ක්‍රීඩාව දියුණු තත්ත්වයට ගෙන ඒමට උත්සාහ කළ අතර බේස්බෝල් ක්‍රීඩාවේ ආරම්භක අවධියේ අම්පාර වැනි ප්‍රදේශවල එම ක්‍රීඩාවේ විශාල ප්‍රබෝධයක් දක්නට ලැබෙන්නේ ෆෙස්ටස් පෙරේරා ගේ ආශිර්වාදය මත යන්නද ප්‍රකටය.හෙතෙම මිය යන විට 82 වන වියේ පසු විය.
ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම කඩුලු රකින්නෙකු බවට අවිවාදිත ගයි,දැවැන්ත පහරවල් සහිත ප්‍රහාරකයෙකු ද විය.සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරන සුසංයෝගයට පෙර වරෙක ගයි ද එක්දින තරග වල දී ආරම්භක පිතිකරු භූමිකාවට ගෙන ඒමට උත්සාහයක් තිබුණ ද එය සාර්ථක වන තුරු කල් මැරීමට එවකට පරිපාලනය නිර්භීත නොවීය.පසුව ග්වේන් හේරත් ගේ ආශිර්වාදය ඇතිව කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ගයි,ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනයේ මුල් පුටුව දරමින් සෑහෙන කාලයක් එහි සභාපතිවරයාව සිටියේය.කලෙක සිට පිළිකා රෝගයෙන් පීඩා විදි ගයි මිය යන විට 52 වන වියේ පසුවිය.
ක්‍රීඩාවේ ප්‍රබෝධය පිණිස දැවැන්ත මෙහෙවරක් කළ පෙස්ටස් සහ ගයි යන දෙපළටම ඔවුන් විශ්වාස කළ ධර්මයන්ට අනුව මරණයෙන් අත්විය හැකි ඉහළම ආශිර්වාදය ලැබීමට හේතු වාසනා වේවා යන්න සුපිරි ක්‍රීඩා පැතුමයි.
www.supirikrida.com

No comments: