Aug 14, 2012

බැඩ්මින්ටන් පරිපාලනය නොදැන ගොස් අතරමං වීම

නමාධය මගින් ඔලිම්පික් තරගාවලිය සදහා නිලුක කරුනාරත්න වෙනුවෙන් පුහුනුකරුවෙක් නොයැවීම සම්බන්ධයෙන් කල විවේචන පිළිබදව සාකච්ඡා කිරිමට බැඩ්මින්ටන් පරිපාලනය විසින් කැදවන්නට යෙදුණු මාධ්‍ය හමුවක් බැඩ්මින්ටන් සම්මේලන මූලස්ථානයේදී ඊයේ  පැවති අතර එහිදි දැන ගන්නට ලැබුණේ බැඩ්මින්ටන් පරිපාලනයේ නොදැනුවත්කම හේතුවෙන් එම වරද සිදු වූ බවය.එහිදී නිලූක ගේ පුහුණුකරුවා ලෙස ඔහුගේ කොරියානු පුහුණුකරු කිම් යන්ග් සහභාගි වනු ඇතැයි සිතූ බව පැවසූ බැඩ්මින්ටන් සභාපති පරාක්‍රම බස්නායකයන් නමුත් ඔහු පෝලන්ත ජාතික පුහුණුකරු ‍බැවින් එම අවස්ථාව නොලැබුණු බවත් පෙන්වා දුන්නේය.
වෙනත් රටක ජාතික පුහුණුකරුවෙක්ට එසේ කටයුතු කළ නොහැකි බව සභාපතිවරයා නොදැන සිටීම නිසා වෙනත් පුහුණුකරුවෙක් යැවිම පිළිබදව ජාතික ඔලිම්පික් කමිටුවට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමක් නොකළ බව සභාපතිවරයා පිළිගත් අතර තමාට ඔලිම්පික් ගමණ යාම සදහා ජාතික ඔලිම්පික් කමිටුව සියළු වියදම් දැරූ බව පැවසීය.
තිලිනි ජයසිංහ ශ්‍රී ලංකාවේ අංක 11 ක්‍රීඩිකාව ලෙස සිට ඔලිම්පික් වරම් ලබා ගත්තේ ඇයට ජාත්‍යන්තර තරග සදහා සහභාගි වීමට බැඩ්මින්ටන් සංගමය කරන ලද විශේෂ අනුග්‍රහය යන්න සභාපතිවරයා ප්‍රතික්ෂේප කළ අතර ඒ සදහා එම ක්‍රීඩිකාවන් ආසියාවේ ප්‍රබල ක්‍රීඩිකාවන් සහභාගි නොවන අප්‍රිකාව වැනි රටවල පැවත්වෙන  තරග සදහා ගොස් ඔලිම්පික් පරිසාධන මට්ටම දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ බව පැහැදිළි කළ අතර ඉදිරියේදී එවැනි තත්ත්වයන් වැළක්විමට පියවර ගන්නා බව පෙන්වා දුන්නේය.එසේම තිලිණි ජයසිංහ මින් පසු කේවල තරග වලින් ඉවත්වන බව ඔලිම්පික් තරගාවලිය නිමාවේ පැවසූ බව ද සභාපතිවරයා අවධාරණය කළේය.
නිලූක කරුණාරත්නට කෝට් ගණනක මුදලක් ලබා දීම පිලිබදව අමාත්‍යංශය කරන නිවේදනය පිලිබදව සභාපතිවරයා කිසිවක් නොදන්නා බව පැවසූ අතර ඇතැම් විට ඔහුට අමාත්‍යංශය වෙනම එම මුදල් ලබා දී තිබෙනවාද යන්න පිළිබදව තමන් නොදන්නා බව ද සදහන් කළේය.නමුත් ක්‍රීඩකයෙකුට ආධාර කිරීම එම ක්‍රීඩකයාගේ පරිපාලනය නොදැනුවත්ව සිදු නොවන බව සත්‍යයකි.මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය නිලූකට වියදම් කළ මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනය නිකුත් කළ අමාත්‍යංශ මාධ්‍ය ලේකම් හර්ශ බී අබේකෝන් පැවසුවේ එම මුදල් පිළිබදව අදාළ මාධ්‍ය නිවේදනයට ඇතුළත් කළේ බැඩ්මින්ටන් පරිපාලනය විසින් ලබා දුන් දත්තවලට අනුව බව ය.
පසුගිය කාලයේ කණිෂ්ඨ ක්‍රීඩකයන් ගේ සංචාරය පිළිබදව ජනමාධ්‍ය විසින් විමසා සිටි අවස්ථාවේ සභාපතිවරයා පැවසුවේ ඊට පිළිතුරු බැදීමට වෙනම මාධ්‍ය හමුවක් පවත්වන බවය.සිදුවීමෙන් සිදුවීමට මාධයහමු පැවත්වීම වෙනුවට ඊ ළගට කැදවන මාධ්‍ය හමුවට සම්මේලනය ගිණුම් අනුමත කර නොගැනීම,ලැබුණු පිහාටු මල් විකිණීම සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ දැනුවත් කර ඒ පිළිබදව ක්‍රීඩා සමාජ මිළදී ගැනීමකට සූදානම් වන විට එම පිහාටුමල් තොගය එක් ආයතනයකට විකුණා දැමීම ඇතුළු බැඩ්මින්ටන් සංගමයට එල්ල වී තිබෙන සියළු චෝදනා පිළිබදව සාකච්ඡාවට ගැනීමට සූදානම් වන ලෙස අවධාරණය කර සිටිමු.
www.supirikrida.com

No comments: