Sep 20, 2013

පළමු දවසේම ශ්‍රී ලංකාවට පදක්කම් පහක්

මැලේසියාවේ ක්‍රියාත්මක පළමු ආසියාතික පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේදී පළමු දිනය නිම වන විට ශ්‍රී ලංකාවේ පදක්කම් පැස පදක්කම් පහකින් පුරවා තබන්නට ශ්‍රී ලංක පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.ඩබ්බීඑම් සමරවීර පළමු රන් පදක්කම දිනා ‍දීමෙන් අනතුරුව පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නුවන් කුමාර හෙල්ල වීසි කිරීමේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ මීටර් 51.25 ක දක්ෂතාවයක් දක්වමින්.දුර පැනීමේ බාලිකා ඉසව්වේදී මීටර් 5.63 ක දක්ෂතාවයක් දැක් වූ පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ සාරංගි සිල්වා ද ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙන්නට සමත් වුණා.
උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව තේරීම සදහා පැවති තරගයේදී කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ආර්එම්ආර්කේ රත්නායක තත්පර 12.45 කින් ඉසව්ව නිමා කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වුණා.මෙම තරගයට සහභාගි වූ මාකලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලය නියෝජනය කළ මේධනි වික්‍රමනායක තරගය නිමා කළේ හත් වැනි ස්ථානයට වූ අතර ඇය තත්පර 12.73 ක කාලයක් වාර්තා කළා.රත්නපුර සිවලි මධ්‍ය මහා විද්‍යාලයේ සමිත් ලක්මාල් මිටර් 100 තරගයේදී පස්වන ස්ථානයට පත් වුණේ,තත්පර 10.90 ක කාලයක් වාර්තා කරමින් වූ අතර ශ්‍රී ලංකාවට ඊයේ හිමි වූ අනෙක් ලෝකඩ පදක්කම දිනා දුන්නේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ කේඑම්ඩීපී කුලසූරියයි.
පළමු තරගවලිය බැවින් රටවල් නවයකින් පමණක් තරග කරුවන් ඉදිරිපත් වී සිටින අතර සත්කාරක මැලේසියාවට පසු වැඩිම පිරිසක් සහභාගි කරවා ඇති රට ලෙස සැළකෙන්නේ ශ්‍රී ලංකාවයි.ශ්‍රී ලංකාව 35 දෙනෙකු සහභාගි කරවීමට නියමිත බව නිල ලේඛණ වල සදහන් වුව ද අවසානයේ 32 ක කණ්ඩායමක් සහභාගි කර තිබෙනවා.මැලේසියාව වැඩි සහභාගීත්වයේ ප්‍රතිපල සමගින් දැනට පදක්කම් සටහනේ පළමු තැන සිටින අතර ඉන්දියාව දෙවන ස්ථානයේත්,ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේත් පසු වෙනවා.
අද දෙවන දිනයේ තරග ද එරට වේලාවෙන් පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිත අතර තරග වල ප්‍රතිපල ඉක්මණින් දැන ගැනීම සදහා www.supirikrida.com වෙබ් අඩවියේ පහසුකම් සළසා තිබෙන අතර එහි ඇති තරගාවලිය ආශ්‍රිත තොරතොරු දැන ගැනීමේ බැනරය තෙරපීමෙන් ඉනික්බිතිව තරග ප්‍රතිපල වලට පිවිසීමට හැකියාව තිබෙනවා.
www.supirikreeda.com

No comments: