Sep 20, 2013

ලංකාව අන්තිමයා නොවී සිටින්න අද මියන්මාරය හා සටනක

තායිලන්තයේ පැවත්වෙන ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද මියන්මාරය හා තරග වදින්නේ තරගාවලියේ කණ්ඩායම් 16 අතරින් 16 වන සහ 15 වන ස්ථානය තෝරා ගැනීම සදහා වන තරගයටයි.අද මියන්මාරය සමග තරගයේදී අන්තිමයා නොවී සිටීමේ හැකියාව ලැබෙනු ඇතැයි සිතිය හැකි එකම කාරණය මියන්මාරය පළමු වටයේදී ශ්‍රී ලංකාව වෙතින් වට 3 - 0 කින් පරාජය වී සිටීමයි.ශ්‍රී ලංකාව මේ තරගාවලියේ ලද එකම ජයද එය වන්නේය.
නමුත් ශ්‍රී ලංකාව ඉදිරියේ වට 3 - 0 ක් ලෙස පරාජය ලැබූ මියන්මාරයට  ඉන්දියාව පරාජය වූ අතර ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ පරාජය වූයේ වට 3 - 0 ක් ලෙසය.එ අනුව ශ්‍රී ලංකාව මේ තරගාවලිය තුළ ක්‍රියාත්මක වී ඇති ආකාරය අනුව මියන්මාරය පරාජය කරන තුරු පරාජය කළා යැයි කිව නොහැකි තත්ත්වයක පසු වන අතර දක්ෂතා ස්ථාවර මට්ටමක පවතින්නේද,ක්‍රීඩිකාවන් යෙදවීම මෙන්ම තරග පිටිය තුළ ක්‍රීඩිකාවන්ට නිසි අවස්ථාව හිමි වේද යන්න පිළිබදව තරග වාර්තා බලන විට ඇති වන කුකුස තරගාවලිය නිමා වූ වහාම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තාක්ෂණික කමිටුවක් සිටීනම් වහාම පරික්ෂාවට ලක් විය යුතු දෙයක්ය.
මේ වන විට වොලිබෝල් ක්‍රීඩාව තුළ ද එය පරවේණි උරුමයක් කර ගන්නට සැරසෙන පිරිස් පරිපාලනමය වශයෙන් මෙන්ම වෙනත් වගකීම් දැරීම හරහා ද මතු වෙමින් සිටින අතර ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනෙන ආනන්ද වන්නිතිලක කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පත් වීම නැළක්වීම පිණිස එවැනි පාර්ශව විශාල ව්‍යාපාරයක් ද ගෙන ගියේය.ඊට ප්‍රධාන හේතුව වූයේ ක්‍රීඩක අවධියේදී වන්නිතිලක ශ්‍රී ලංකා කණ්ඩායම සමග කළ සංචාරයකදී අතුරුදහන් වී පළා ගොස් තිබීමය.නමුත් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩාවේ නියැලෙන්නන් හැටියට එසේ පළා ගිය පිරිස් එයින් වැළක්වීම පිණිස කළ යුතුව තිබුණේ,ක්‍රීඩකයාට යහපත් ආර්ථික රටාවක් නිර්මාණය කිරීමය.ඒ පළා ගිය ක්‍රීඩකයන් වොලිබෝල් නිසා සිය දක්ෂතාවයන්ට සාපේක්ෂව යමක් හිමි කර ගෙන සිටියා යැයි කිව නොහැකි අතර සිටියේ හිමි විය යුතු දේ නොලැබය.
විමල් කරුණාතිලක,සමන්සිරි සෙනවිරත්න, ජනරංජන වැනි තවත් නම් මේ ලේඛණයට අදාළ ‍වන අතර ඒ දිගු නාම ලේඛණය සදාකාලිකව වොලිබෝල් කේෂ්ත්‍රයෙන් අකුලා දැමීමට සෑදි තිබූ න්‍යාය පත්‍රය වෙනස් කිරීම සදහා ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ සිටම එවකට ඔහුගේ මාධ්‍ය කටයතු භාරව සිටි සිසිර යාපා ද එකතු කර ගනිමින් කරුණු දැක් වූ පුද්ගලයා ලෙස වන්නිතිලක,සමන්සිරි,විමල් ජනරංජන ඇතුළු පිරිසක් අද ලාංකේය වොලිබෝලයේ නගා සිටුවීම සදහා සිය දායකත්වය සපයමින් සිටීම සතුටට කාරණයකි.
කෙසේ හෝ තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර ලෙස ජපානය,චීනය,දකුණු කොරියාව සහ තායිලන්තය පිවිස සිටින අතර අද පැවත්වෙන තායිලන්තය සහ චීනය අතර තරගයේ තීරණයට අනුව සහ ජපානය සහ දකුණු කොරියාව අතර තරගයේ තීරණයට අනුව හෙට මෙවර ආසියානූ සූරියන් කවරේද යන්න තීරනය කරන තරගයේ කණ්ඩායම් දෙක කවුරුන්ද යන්න තීරණය විමට නියමිතය.
තරගාවලියේ තරග පැවති රටාව නිරීක්ෂණය කිරීමේදී ඉන්දීය පරාජය අඩුම තරමේ අවම කර ගැනීමට හෝ නැතිනම් ජය ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකියාව තිබූ බව සිතිය හැකි අතර පිලීපීනය සමග පැවති තරගය ද එවැනි එකකි.එය වැළක්වී යාම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ මුල් කණ්ඩායම් 12 අතරට පිවිසීමට අවස්ථාව නොලැබුණු අතර අද ඉන්දියාව තරග වදින්නේ පිලීපීනයට 11 වන ස්ථානය හිමි වීම වැළක්වීමටය.එම තරගයේ තීරණය අනුව තරගාවලියේ 12 වන ස්ථානය හිමි වන්නේ ඉන්දියාවට ද,පිලපීනයට ද යන්න තීරණය වන්නට නියමිතය.
www.supirikrida.com

No comments: