Sep 15, 2013

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මියන්මාරය පරාජය කරති

  


මේ දිනවල තායිලන්තයේ පැවත්වෙන ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව සිය ප්‍රථම ජය වාර්තා කරමින් මියන්මාරයට එරෙහිව වට 3 - 0 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.ප්‍රබල චීන තායිපේ කණ්ඩායමට සහ කොරියාවට එරෙහිව ශ්‍රී ලංකාවට වඩා හොදින් දක්ෂතා දක්වා තිබීම නිසා මියන්මාරය ශ්‍රී ලංකාවට විශාල තර්ජනයක් වනු ඇතැයි සිතූවද එම තර්ජනය ප්‍රථම වටයට පමණක් සීමා කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණා.එහිදී ප්‍රථම වටයේදී ජයග්‍රහණය ආසන්නයටම පැමිණි මියන්මාරය අවසානයේ ලකුණු 26 - 24 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජයට පත් වුණා.දෙවන සහ තෙවන වට පිළිවෙලින් ලකුණු 25 - 17 ක් සහ 25 - 20 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේ තරගයේ ප්‍රතිපලය තරග වට 3 - 0 ක් ලෙස දක්වමින්.
ඒ අනුව ශ්‍රී ලංකාව 16 වන දා ඇරඹෙන දෙවන වටයේ ශ්‍රේණිගත කිරීමේ තරග වලදී ඉන්දියාව,පිලපීනය සහ  මියන්මාරය සමග එච් කොටසෙන් තරග වදින්නට නියමිතව සිටිනවා.එම කණ්ඩායම් හතර සළකද්දි ලකුණු ලබා ගැනීමේ වේගය මත ඉන්දියාව ඉදිරියෙන් සිටින අතර පිලිපීනය සහ මියන්මාරය දක්වා තිබෙන දක්ෂතා අනුව ශ්‍රී ලංකාවට පිටුපසින් සිටිනවා.
තරගාවලියේ මූලික වටයේ තරග වලදී චීනය,දකුණු කොරියාව,ජපානය සහ කසකස්තානය කිසිදු තරගයකින් පරාජයට පත් නොවී සිය අපරාජිත බව රැකගෙන සිටින අතර ඒ අතරින් චීනය,ජපානය සහ දකුණු කොරියාව සිය ප්‍රතිවාදී කණ්ඩායම් වලට එකදු තරග වටයක් හෝ ජය ලබා ගැනීමට නොදීම කැපී පෙනෙනවා.

No comments: