Sep 21, 2013

කාලිංගගේ කිරි හැලියට ගොම වැටේ

ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය වසර ගණනක සිට ගිය ගමනේ තිබූ පක්ෂග්‍රාහී බව හේතුවෙන් ලාංකේය බේස්බෝලය කඩා වැටෙමින් තිබූ මොහොතක ඊට එරෙහිව කෙටිකාලීන සහ දීර්ඝකාලීන වැඩ පිළිවෙළක්ද සමග ඊට අභියෝග කරන්නට පිරිසක් ඉදිරිපත් විය.නිලවරණයකට පෙරාතුව වැඩ පිළිවෙළක් සහ සැළසුමක් මාධ්‍යයට ඉදිරිපත් කරමින් ඔවුන් අළුත් සම්ප්‍රදායක් ලාංකේය ක්‍රීඩා නිලවරණ කලාවට හදුන්වා දුන් අතර නමුත් හිටපු පරිපාලනය ඊට මුහුණ දීමට නීති අංශයේ ප්‍රමුඛතමයෙකු වන කාලිංග ඉන්ද්‍රතිස්ස මූලික කර ගෙන නිලවරණයට පිවිසියේය.එහි තිබූ අතැම් දෝෂ සහිත තත්ත්වයන් පෙන්වා දුන්නද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද,එහි නීතිමය තත්ත්වයන් වෙනුවෙන් පෙනී සිටි ඇතැම් නීතිවේදීන් කාලිංග වැනි නීතිඥයන් ඉදිරියේ එහි නීතිමය තත්ත්වයන් ගැන කතා කරන්නට දැක් වූ බියගුළු ස්වභාවය නිසාද කාලිංග ව අභිබවා යමින් ඔහුට අභියෝග කිරීමේ උත්සාහය පසු පසට ඇදිණ.
නමුත් කාලිංග බලයත් සමග තමා පය තැබූ අඩවියේ අලුත් වෙනසක් ඇති කිරීමට පියවර ගත් අතර අද වන විට එම ගමන යහපත් දිශාන්තියක් කරා රැගෙන යාමට කාර්ය බහුල ඇතැම් නිලධාරීන්ට සහය වීම පිණිස සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පිරිස් ද යොදවමින් සිටින බව කේෂ්ත්‍රයේ බොහෝ දෙනා අතර නොරහසකි.
එහි ප්‍රතිපලයක් ලෙස ක්ලැසික් බේස්බෝල් තරගාවලිය හදුන්වා දෙමින් ලංකාවේ ප්‍රබලතම බේස්බෝල් ක්‍රීඩකයන් අතර වන තරගාවලියකට මග පෑදීමට අවශ්‍යය අනුග්‍රාහක ආශිර්වාදය දිනා ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනයට හැකි විය.මේ සත්කාර්යය කරළියට ගෙන ඒමේදී ක්‍රීඩකයන් තේරීමේ තාක්ෂණික කාර්යයේ සිට පිළුණු වූ ගද දැනෙන්නට පටන් ගත් අතර එම වගකීම පැවරුණු පුද්ගලයන් සිය කිළිටි අත් වලින් එම කාර්යයේ පිරිසිදු බව කෙළෙසමින් වටිනා ක්‍රීඩකයන් කපා දමන්නට සිදු විය.
එසේම කාලයක් තිස්සේ එකම විනිසුරු කණ්ඩායමක් තරග සදහා යෙදවීම කේෂ්ත්‍රයේ දකින්නට තිබෙන දෙයක් වන අතර මේ නිසා ඇතිවන කාර්ය බහුලත්වය මානසික ඒකාග්‍රතාවය කෙරෙහි බලපාන බැවින්ද එම වැරදි සිදුවන බවක් පෙනෙන්නට ඇත.එම පත් කිරීම් නිල වශයෙන් බේස්බෝල් පරිපාලනයේ විනිසුරු අධ්‍යක්ෂවරයාට හිමි විය යුතු අතර ඔහු තවත් සුදුසුකම් ඇති පුද්ගලයන් විනසුරු කේෂ්ත්‍රයට හදුන්වා දෙමින් ක්‍රීඩාවේ ව්‍යාප්තිය සිදු කිරීමට කටයුතු කළ යුතු වුව ද,ඔහුගේ උවමනාවට හෝ සංගමයේ වෙනත් අයෙකුගේ හෝ පිරිසකගේ උවමනාව මත එය මෙම තරගාවලියේදී ද සිදු වූයේ නැත.
එහි ප්‍රතිපල මේ මොහොතේ ක්‍රියාත්මක ක්ලැසික් තරගාවලියේදී ඔහුටම පෙරළා විදින්නට සිදු වූ අතර ඔහු විසින් ගත් තීරණයකට අනුව හෝ ඔහු රූකඩයක් ලෙස යොදවා ගෙන පරිපාලනයේ අයෙකු හෝ කිහිප දෙනෙකු විසින් ගත් තීරණයකට අනුව හෝ පත් කළ විනිසුරුවෙකු විසින් ගත් තීරණයකට විරෝධය පා විනිසුරු අධ්‍යක්ෂවරයා විසින් පුහුණුකාරත්වය දරන කණ්ඩායමට සිදු වූ අසාධාරණයක් නිසා සිය කණ්ඩායම තරගයෙන් ඉවත් කර ගත්තේය.විනිසුරු තීරණයට එරෙහි වීම සාමාන්‍යයෙන් සිදු නොවිය යුතු වුව ද,විනිසුරු අධ්‍යක්ෂවරයාම එය කළ විට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම පිළිබදව කිසිවක් කළ හැකිද?එසේම මේ කාරණයත් සමග විනිසුරු අධ්‍යක්ෂවරයා කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙස පත් කර ඇත්තේ ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය ය.එයද සිදු නොවිය යුත්තකි.විනිසුරු අධ්‍යක්ෂවරයා කණ්ඩායමක් පුහුණු කරද්දී එම කණ්ඩායමට එරෙහිව විනිසුරු තීරන යම් පක්ෂග්‍රාහී තත්ත්වයක් ගනු ඇතැයි සැකයක් පහළ වීමට ඇති ඉඩ සහ බලපෑමක් වීමට ඇති ඉඩ අධික අතර මේ සිදුවීම ද හැදින්විය හැක්කේ විනිසුරුවරයාට අනියමින් ඔහුගේ විනිසුරු කාර්ය පිළිබදව යම් ආකාරයක බලපෑමක් කිරීම බව අපේ හැගීමය.
දැන් සිදුවීම සිදු වී හමාරය.කාලිංග ඉන්ද්‍රතිස්ස වැනි අත්දැකීම් සහ සමාජ සම්බන්ධතා ඇති අයෙකු ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාව ඉහළ තලයකට ඔසවා තැබීමට සිය භාවිතාවන් නොමසුරුව පරිත්‍යාග කිරීම ක්‍රීඩාව ලද ආශිර්වාදයක් වුව ද,ඇතැම් නිලධාරීන්ට සිය කාර්ය පහසු කිරීම සදහා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය පවා යොදවමින් කරන දායකත්වය ක්‍රීඩකයන් තේරීමේදී සිදුවන අසාධාරණකම් සහ විනිසුරුවන් තේරීමේදී කරන අසාධාරණකම් මැඩිමටද යෙදවීමට කටයුතු නොකළහොත්,කාලිංග දකින සොදුරු සිහිනයට බාධා ඇතිවීම නොවැළක්විය හැකි වනු ඇත.
වෘෂභයන් ගොයමට පොහොර ලෑමට කුඹුරේ  බැද ගියහොත් ඌ ගොම ලෑමට අමතරව ගොයමද කා විනාශ කරන බව සත්‍යයකි.මේ සිදු වීම ද එවැනි දෙයක් වන අතර කාලිංගගේ පිරිසුදු හැගීම කිරි කළයක් වුව අසූචි අත ඇති අයට වගකීම් පැවරුණු විට ඊට ඒවා මුසුවීමට ඇති ඉඩකඩ ද සුළු පටු නොවේය.
www.supirikrida.com

No comments: