Sep 17, 2013

අපේ අවම ඉලක්කය පදක්කම් 10 ක් -උපාලි අමරතුංග

මැලේසියාවේදී අද ඇරඹෙන පළමු ආසියානු පාසල් මලල ක්‍රීඩා සූරතාවලියට 32 ක කණ්ඩායමක් සහභාගි කරවන ශ්‍රී ලංකාව එහි දී අවම වශයෙන් පදක්කම් 10 ක් දිනා ගැනීමට උත්සාහ කරන බව කණ්ඩායම් ප්‍රධානි,බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා සහ ජාතික පාසල් ක්‍රීඩා සභාවේ ලේකම් සහ පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති උපාලි අමරතුංග  සුපිරික්‍රීඩා වෙත පැවසීය.
අපිට සෑහෙන යමක් කළ හැකි බව විශ්වාසයි.මේක පළමු තරගාවලිය නිසා අපි දන්නෙ නැහැ නමුත් සියල්ලන්ගේ තත්ත්වය.ඒ නිසයි අවම වශයෙන් පදක්කම් 10 ක් කියන්නෙ.යනුවෙන් ප්‍රකාශ කළ උපාලි,ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තරගාවලිය තුළ වැඩි වශයෙන් දකින්නට නොලැබීම පිළිබදව සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යලයෙන් සහභාගි වූ රිදී පදක්කම්ලාභී අකිල රවිශංක පෞද්ගලික හේතු මත තරගාවලියෙන් ඉවත්ව සිටින බව පෙන්වා දුන්නේය.ඊට අමතරව තේරීම් සදහා පාදක වූයේ කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වීම නිසාද ක්‍රීඩකයන්ට අවස්ථාවක් නොලැබී ගිය බව ද ඔහු පෙන්වා දුන්නේය.
මීට ප්‍රතිවිරුද්ධ අදහස් දැක් වූ පුහුණුකරුවන් කිහිප දෙනෙකු පැවසුවේ මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට පෞද්ගලිකව දරන්නට වන වියදම නිසා එම ආසියාතික පදක්කම්ලාභින් තරගාවලියෙන් ඉවත්ව සිටින බවය.වසර ගණණකට පසුව මලල ක්‍රීඩාවෙන් රටට විදේශ රටක දී විශාල ජයග්‍රහණ ගණනාවක් ගෙනා රටේ මලල ක්‍රීඩා අනාගතය පෝෂණය කළ හැකි බව සිතිය හැකි යොවුන් ක්‍රීඩක පිරිසක් කෙරෙහි මේ වන තුරු ක්‍රීඩා අමාත්‍යංශයේ,අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ මලල ක්‍රීඩා සංගමයේ ද අවධානය එතරම් යොමු වූ බවක් පෙනෙන්නට නැති බව පෙන්වා දෙන එම අදහස් දැක් වූ පිරිස දිවයිනේ ප්‍රමුඛතම අතිරේක ආහාර නිෂ්පාදන ආයතනයක් මෙවර ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට අනුග්‍රහය දැක්විමට ඉදිරිපත් වී සිටියදී මෙම ජයග්‍රාහී ක්‍රීඩකයන්ට එම ආයතනයේ ආහාර නිෂ්පාදන කට්ටලයක් හෝ පිරිනමා සංඛේතාත්මකව උපහාරයක් දක්වන්නට පාසල් මලල ක්‍රීඩා සංගමය හෝ මැදිහත් නොවීම කණගාටුදායක තත්ත්වයක් බව පෙන්වා දුන්නේය.
කුමන තත්ත්වයක් යටතේ හෝ පළමු ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන රටවල් නවයක් අතරෙන් ශ්‍රි ලංකාවට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා යැයි සුපිරික්‍රීඩා සුභාශිංෂණය කරමු.
www.supirikrida.com 

No comments: