Feb 21, 2012

දෝනි ගේ තැන පාර්තිව් පටෙල්ට ?


නිසි වේලාවට පන්දු ඕවර් ප්‍රමාණය අවසන් කිරීමට නොහැකි වීමේ චෝදනාව මත යළිත් තරග තහනමකට ලක් වූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි අද ශ්‍රී ලංකාව සමග තරගයට ක්‍රීඩා නොකරන නිසා කණ්ඩායමේ අතිරේක කඩුලු රකින්නා වන පාර්තිව් පටෙල්ට අද තරගයේදී අවස්ථාවක් හිමි විය හැකිය.එසේම කණ්ඩායමේ නායකත්වය බොහෝ දුරට ගෞතම් ගාම්බීර්ට පැවරෙනු ඇතැයිද  ඉන්දීය ක්‍රිකට් ආරංචි සදහන් කරන අතර මේ තරගයට ශ්‍රී ලංකාව ඉතා හොද මානසික ස්ථාවරයකින් පිවිසීම සැළකිල්ලට ගෙන අතිරේක පිතිකරුවෙකු යොදවා කඩුලු රැකීමේ වගකීම ගාම්බීර් විසින්ම පවරා ගන්නට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග  පෙන්වා දුන්නේය.
අවසන් තරග කිහිපයේදී ලකුණු අතර සිටි මහේන්ද්‍ර සිං දෝනි තරගයට සහභාගි නොවීම ඉන්දියාවට අවාසිදායක තත්ත්වයක් වන නමුත් ඉන්දීය පිතිකරු බල ඇණිය සුළුවෙන් තැකීම අවදානම්ය.එසේම ඉන්දීය කණ්ඩායම මේ තරගාවලියේ ජයග්‍රහණය කරන ලද තරග දෙකේම වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා වූ ගෞතම් ගාම්බීර් තරගයේ සිටීම මෙන්ම සචින් තෙන්දුල්කාර්,විරාට් කෝලි,සුරේෂ් රයිනා,රෝහිත් ෂර්මා,රවීන්ද්‍ර ජඩේජා වැනි ඕනෑම කණ්ඩායමකට හිසරදයක් විය හැකි ක්‍රීඩකයෙකු ලකුණු අතරට පැමිණෙන්නේ නම් එය ප්‍රතිවාදීන්ට හිත සුව පිණිස නොවනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් මේ තරගාවලියේ දී තම වගකීම විශ්වාසයෙන් යුතුව ඉටු කරමින් සිටින අතර පිතිකරුවන් අතරින් දිනේෂ් චන්දිමාල් පෙරටු කොට ගත් පිතිකරු බල ඇණියට ඩිල්ෂාන් ගේ ලැබුණු සහයෝගය තවත් ශක්තිමත් කිරීමට මෙන් නායක ජයවර්ධන ද ලකුණු අතරට පැමිණීම අස්වැසිල්ලකි.



No comments: