Jan 30, 2012

කහවත්තේ වොලිබෝල් මරු - තේරිම් කමිටුව හිටියනම් ඊටත් වඩා මරු


මෙවර ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලියේ දිස්ත්‍රික්ක ජයග්‍රාහකයන් ගේ දෙවන අවසාන පූර්ව තරග සහ අවසාන තරගය හැරෙන්නට සියලු තරග පැවත්වූයේ   කහවත්ත මහජන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගෙනයි.දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි මෙම තරගාවලියට කණ්ඩායම් 50 ක් (පිරිමි 25, කාන්තා 25) සහභාගි වීමට නියමිතව සිටි අතර එයින් වව්නියා කාන්තා කණ්ඩායම හැරෙන්නට අනෙකුත් සියළුම කණ්ඩායම් සහභාගි වී සිටි අතර ඒ අතර නමගිය කණ්ඩායම් වලට අභියෝගයක් විය හැකි කණ්ඩායම් මෙන්ම නමගිය ක්‍රීඩකයන්ට අභියෝගයක් විය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද දකින්නට ලැබුණත් මේවා දකින්නට මේ රට නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවරේද යන්න තීරණය කරන තේරීම් කමිටු සාමාජික සාමාජිකාවන් මෙම තරග බිමේ දකින්නට සිටියේ නැහැ.
තරගාවලිය සදහා කාන්තා අංශයෙන් ඉදිරිපත් වූ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාසල් ක්‍රීඩිකාවන් නියෝජනය කළ ශාන්ත මේරි කණ්ඩායම ප්‍රබල මාවතගම කැෂුවලයින් කණ්ඩායම පරාජය කරමින් ද,එවැනිම පාසල් ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇහැලියගොඩ ධර්මපාල කණ්ඩායම කොළොන්නාව එකමුතු කණ්ඩායම පරාජය කරමින් ද පෑ දස්කම් ඉහළ මට්ටමක පැවතිණ.එම කණ්ඩායම් සිය ප්‍රථම අවසාන පූර්ව තරග පරාජය වුව ද අවසාන තරග සදහා පිවිසෙන කණ්ඩායම් හතර අතරේ රැදෙමින් තව දුරටත් මෙම තරගාවලියේ සූරතාවය සම්බන්ධයෙන් සටන් කරන්නට සුදුසුකම් ලැබීම අගය කළ යුතුය
එසේම ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ බෙන්තොට සාගර වැනි කණ්ඩායම් වල ඇතැම් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටාවද ජාතික මට්ටමේ නියෝජනය දක්වා ගෙන එන්නට සුදුසු මට්ටමක පැවති අතර පරාජය වුව ද දක්ෂ කණ්ඩායමකට එක් කර කණ්ඩායම් ජයග්‍රහණයක් බවට පෙරළිය හැකි තවත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද මෙම තරගාවලිය තුළ සිටියත් මේවා දකින්නට තේරීම් කමිටු වල සාමාජිකයන් නොසිටීම කණගාටුදායක තත්ත්වයකි.
අති විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව ජනවාරි 28 – 29 දෙදින තුළ ක්‍රියාවට නැගුණු මෙම ක්‍රීඩා උළෙල සංවිධාන මට්ටමෙන් ආදර්ශවත් තරගාවලියක් බවට පත් කරන්නට වොලිබෝල් ප‍ාළක මණ්ඩලයේ උප සභාපති සබරගමු පළාත් සභා මංත්‍රී කාංචන ජයරත්න ලබා දුන් නායකත්වය අගය කළ යුතු වෙනවා.බොහෝ ජාතික මට්ටමේ තරග වල දී සංවිධානයට නායකත්වය දෙන පුද්ගලයන් සියල්ල දොඩම් ගොඩ බදා ගන්නා ආකාරයට බදා ගනිමින් කටයුතු කළ ද කාංචන සියල්ල එකිනෙකා අතර බෙදා හැර අධීක්ෂණය පමණක් තමා අතේ තබා ගනිමින් අවශ්‍යය අවස්ථාවේ දී පමණක් මැදිහත් වෙමින් කටයුතු කළ ආකාරය ඒ සාර්ථකත්වයට හේතු වූවා.
නමුත් මෙම තරගාවලිය අතිශයින් සාර්ථක වීමට කහවත්ත ප්‍රදේශයේ නරඹන්නන්ගේ උද්යෝගය සහ සහභාගීත්වය ද බල පෑ අතර ඒ අතර සිටි ප්‍රේක්ෂකයෙකු කිලිනොච්චි කණ්ඩායමට දකුණේ සුහදත්වය පිළිගැන්වීමක් ලෙස දිවා භෝජනය ඇතුළු සියළු සත්කාරයන් ලබා දෙමින් කළ කැපවීම ගැන ද අපා අසන්නට ලැබුණා.නමුත් තරගාවලියේ අවසාන පූර්ව තරගයකට පමණක් කහවත්තේ උද්යෝගය සීමා කළ වොලිබෝල් සම්මේලනය දෙවන අවසාන පූර්ව තරග සහ අවසාන තරග වෙනත් ප්‍රදේශයක පැවත්වීම කෙරෙහි කහවත්ත ජනතාව කණස්සල්ලෙන් පසු වුණා.
‘අපි කොට ඇදලා දුන්නම පෙරහැරේ වෙන අලි යනවා’ කණ්ඩායම් 49 ක තරග දින දෙකක් සංවිධානය කරමින් මෙම තරගාවලියේ වැඩිම වෙහෙස ඔවුන් දැරැවද රටේම අවධානය යොමු වන අවසාන තරග වෙනත් ප්‍රදේශයක පැවත්වීම කෙරෙහි අදහස් දැක් වූ එම ප්‍රදේශයේ බොහෝ දෙනෙක් සුපිරික්‍රීඩා වෙත පැවසුවේ දැඩි කළකිරීමකින්.

No comments: