Jan 27, 2013

කුසල් ගේ නිකසල කුසලතා සංගා ඉදිරියේ කිලිටි වේද?

Kushal Perera hits one on the leg sideශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බොහෝ දක්ෂයෝ එම අවස්ථාවට මුහුණ දීමට අවශ්‍යය මානසික පසුබිම සකස් කර ගැනීමට අපොහොසත්වීම නිසා පැමිණි සැණින් කණ්ඩායමෙන් ඉවතට වීසි වී යන්නේ ලැබෙන අවස්ථාවන් වලින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකිවය.නමුත් කුසල් ජනිත් පෙරේරා ට තමන්ට ලැබුණු අවස්ථාව අනවශ්‍යය පීඩනයකින් තොරව භාර ගැනීමට තිබූ හැකියාව නිසා කලෙකට පසු ශ්‍රී ලංකාව ලැබූ සුපිරිතම ක්‍රීඩකයෙකුගේ ප්‍රවිශ්ඨය සනිටුහන් කරන්නට ඔහුට හැකි වී ඇත.ලොව වේගවත්ම තණතිලි වල නුපුරුදු දේශයක අලුත් බව අමතක කර සිය සුපුරුදු රිද්මයෙන් පහරදීමේ හැකියාව නිසාම ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමු 20 - 20 තරගයේ ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මාවත සකස් කිරීමේ හැකියාව කුසල් ට ලැබිණ.
නමුත් සිය ක්‍රීඩා දිවියේ අවසාන භාගයට පිවිස සිටින සංගක්කාර නැවත පැමිණීමෙන් පසු කුසල්ට අත්වන ඉරණම පැහැදිළි නැත.දැනට ද ඔහු සංගා ගේ හිස්තැන පුරවන්නේ දිනේෂ් චන්දිමාල් ගේ අතිරේක කඩුලු රකින්නා ලෙසය.ටෙස්ට් කණ්ඩායමේ  ප්‍රසන්න ජයවර්ධන ද සිටින්නේය.ඒ නිසා කඩුලු රකින්නෙකු ලෙස කණ්ඩායමේ රැදී සිටීමේ ඉඩ කුසල් ට අඩුය.එහිදී අනාගතය ගැන ගැඹුරින් සිතා තීරණය ගත යුත්තේ තේරීම් කමිටුව හෝ සංගක්කාරය.විශේෂයෙන් එළැඹෙන බංගලාදේශ සංචාරයේ දී හෝ සුවපත් තත්ත්වයේ සිටියත් සංගක්කාර‍ වෙනුවට කුසල්ව සීමිත ඕවර් තරග සහ 20 - 20 තරග සදහා  යෙදීමට තේරීම් කමිටුවට හැකියාවක් තිබෙන්නේ නම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කරන යහපත් ආයෝජනයක් වනු සැක නැත.
එසේම ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු 20 - 20 තරගය ජය ගැනීමේදී විශිෂ්ඨ දක්ෂතා දැක් වූවෝ ශ්‍රී ලංකා ක්‍රිකට් හී අනාගතය වෙති.ජ්‍යෙෂ්ඨයන් නික්ම යාමට ආසන්නයේ සිටින මොහොතක සිය ස්ථාවරය සදහා සැකසී තිබෙන ඉඩ - කඩ හොදින් අවබෝධ කරගෙන සිටින ඔව්හූ තම ස්ථාවරය සකසා ගැනීම වෙනුවෙන් වෙනදාට වඩා සැළසුම් සහගතව ක්‍රීඩා කිරීමට දක්වන උනන්දුව අපූරුය.කුසල් ජනිත්,තිරිමාන්න මෙන්ම තිසර පෙරේරා ද දකෂතා අතර සිට පළමු තරගයේ ජයග්‍රහණයට කැප වෙද්දී නායක ඇන්ජලෝ මැතිවිස් ද තරගයේ ජයග්‍රහණය සදහා අවශ්‍යය කරන ආක්‍රමණික ඉණිමක් ක්‍රීඩා කළ ආකාරය අපූරුය.
ඔස්ට්‍රේලියාව ලකුණු 137 ට සීමා වීමට ඩේවිඩ් වෝනර් ගේ ලකුණු 90 ක් වූ ඉණිම තදින් බල පෑවේය.ඔහු නොදැවී රැස් කළ ලකුණු 90 පන්දු 62 දී වාර්තා වූ අතර එය අති විශිෂ්ඨ වුව ද සම්පූර්ණ ඉණිම ඔහු වටා බැද තැබූ සෙස්සෝ එම ඉණිමේ ගෞරවය වෙනුවෙන් ඔහුට හිමි විය යුතු ශතකයට පිවිසෙන්නට උපකාර කළා විනා ලකුණු වේගය ඉහළ දැමීම සදහා අත දිග හැර පහර දීමට උත්සාහ ගන්නා බවක් නොපෙණින.
උදාහරණයකට නොදැවුණු සිව්වන කඩුල්ලේ සබදතාවය ලකුණු 84 ක් වූ අතර එයින් වෝනර් ගේ සහය පිතිකරු වූ ඇඩම් වෝගස් පන්දු 29 ක් තුළ ලකුණු 25 ක් ලබද්දී එකදු හතරේ පහරක්වත් වාර්තා නොවීම ගත හැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉණිමේදී පෞද්ගලික ඉණිම් ගැන නොතකමින් ක්‍රීඩා කළ අතර ඩිල්ෂාන් (16) සහ කුසල් ඉණිම අරඹමින් ලබා දුන් ලකුණු 45 ක සබදතාවයේ ශක්තිමත් පදනම පෙරටු කර ගෙන තරගයේ 19 වන ඕවරයේ අවසාන පන්දුවට පෙර පන්දුවේදී ජයග්‍රහණය වාර්තා කළේය.නායක ඇන්ජලෝ මැතිව්ස් ඉණිමේ වැඩිම ලකුණු ප්‍රමාණයේ හිමිකරු වූ අතර ඔහු ලකුණු 35 ක් නොදැවී ලබා ගත්තේ පන්දු 27 දී ය.තිසර පෙරේරා ලකුණු 19 ක් නොදැවී ලබා ගත්තේ ජයග්‍රහණය වාර්තා වූ පන්දුව සදහා මෙන්ම ඊට පෙර පන්දුවට ද දර්ශණීය හයේ පහර දෙකක් එල්ල කරමින් ය. 
තරගයේ ලකුණු සටහනට පහත සබදතාව‍ය භාවිතා කළ හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573019.html   

No comments: