Nov 11, 2012

සම්පත් ගේ වාර්තාව එරංගට

මින්ද සම්පත් වීරසිංහ 2006 වසරේ පැවති දකුණු ආසියාතික තරගාවලියේදී තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙමින් තැබූ තුන් පිම්ම ඉසව්වේ ජාතික වාර්තාව (මීටර් 16.26) 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී මීටර් 16.37 ක දක්ෂතාවයක් දක්වමින් බිද දැමීමට ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ එරංග දිනේෂ් ප්‍රනාන්දු සමත් විය.එසේම තරගාවලියේ විශාලතම කාලීන වර්ධනය පෙන්නුම් කළ ඉසව්ව වූ කාන්තා මීටර් 800 ඉසව්වේදී  ශ්‍රියාණි ධම්මිකා මැණිකේ 1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියට සහභාගි වී තැබූ විනාඩි 2:03.85 ක් වූ ශ්‍රී ලංකා වාර්තාවෙන් පසුව එම ඉසව්වට ක්‍රීඩිකාවක් වාර්තා කළ හොදම කාලය වාර්තා කළ චම්පිකා දිල්රුක්ෂි (විනාඩි 02:04.97) සිය ජයග්‍රාහී ධාවන ජීවිතයේ තවත් වැදගත් කඩඉමක් පසු කළේ,ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 800 ඉසව්වේ තරගාවලි වාර්තාව ලෙස පැවති විනාඩි 03:08:23 ක් පැවති මංගලා ප්‍රියදර්ශණීගේ දකෂතාවය අභිිබවා යමින් එම සවාර්තාව සිය නමට ලියා ගනිමින්ය.
ශානිකා සමන්මලී එම ඉසව්වේ දෙවන ස්ථානය විනාඩි 02:06;24 ක කාලයකින් ද,කේඒඩී සදකාන්ති විනාඩි 02:06.95 කින් මීටර් 800 නිමා කරමින් තෙවන ස්ථානය ද ලැබුවේ මංගලා සතුව පැවති පැරණි ජාතික සූරතාවලි වාර්තාව අබිබවා යමින්ය.කාන්තා හෙල්ල වීසිකිරීමේ තරගයේදී කලක සිට ශ්‍රී ලංකා වාර්තාලාභිණිය නදීකා ලක්මාලි පසුපිසින් හඹා ආ නදීකා දිල්හානි ලේකම්ගේ ඒ උත්සාහය මල්පල ගන්වා ගත්තේ මීටර් 55.76 ක දක්ෂතාවයක් දක්වමින් නදීකා සතුව පැවති තරගාවලි වාර්තාවද සිය නමට ලියා ගනිමින්ය.කලෙක සිටම කාන්තා යගුලිය ඉසව්වේ තමා සතු ආදිපත්‍යයට අභියෝගයක් වෙමින් සිටින තාරිකා කුමුදුමාලි ප්‍රනාන්දු අබිබවා යමින් සිය හැකියාවන් ප්‍රදර්ශනය කරන්නට යළි සමත් වූ නදීකා මුතුනායක 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා යගුලිය ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ සිය නමට පැවති තරගාවලි වාර්තාව අලුත් කරමින් මීටර් 14.50 ක දක්ෂතාවයක් දක්වමින්ය.
වයඹ පළාත් සභාවෙන් සේවය අහිමි කළ එරං‍ග ගේ පුහුණුකරු
තුන් පිම්ම පැනීමේ නව ශ්‍රී ලංකා එරංග දිනේෂ් ප්‍රනාන්දු මෙන්ම චමින්ද සම්පත් ප්‍රනාන්දු ගේ ද පුහුණුකරු වන්නේ පිලිප් රංජිත්ය.ජාතික මට්ටමේ දක්ෂාත දක්වන පැනීම් සූර - සූරියන් විශාල පිරිසකගේ මාර්ගෝපදේශකයා වන පිලිප් ට ඒ සදහා රජයේ ක්‍රීඩා නිලධාරිවරයෙකු ලෙස කළ සේවයට ලැබෙන උපහාරය සේවයට වාර්තා නොකිරීම හේතුවක් කර ගෙන ලැබෙන වැඩ තහනමක්ය.මේ වන විට නව ශ්‍රී ලංකා වාර්තා තබන්නට ක්‍රීඩකයන් පුහුණුකිරීම පිළිබදව ඔහුට ලැබෙන වරප්‍රසාදය එවැනිය.
තමා යටතේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පුහුණු කිරීමට සහභාගි වීම නිසා සේවයට වාර්තා කිරීම පිලිප්ට අහිමි වන්නේය.නමුත් වයඹ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට අවශ්‍යය වූයේ ජාතියට වටිනා ක්‍රීඩකයන් දායාද කරන මේ පුහුණුකරුවාට සිය බලය භාවිතා කර ඒ සදහා ආශිර්වාද කිරීම නොවේය.කාර්යාලයට නිසි පරිදි පැමිණිම,සිය බල ප්‍රදේශයට සීමා වී සේවය කිරීමය.ප්‍රතිපලය සේවය අහිමි වීමය.මේ පිළිබදව වර්ථමාන ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවා වයඹ පළාත් සභාවට දන්වා මේ පුහුණුකරු නැවත සේවයට බදවා ගන්නා ලෙස දැනුම් දුන්නද වයඹ පළාත් සභාව නිහඩය.ඒ නිසා ජාතික සූරයන් නිර්මාණය කිරීම වෙනුවෙන් උපහාර ලෙස රජයෙන් ලැබී තිබෙන සේවය අහිමි කිරීම දෙස මේ වන විට විශ්‍රාමික සුවයෙන් පසුවන හිටපු වයඹ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට තරම් සතුටක් වෙන කිසිවෙකුට නොදැනෙනු ඇත.
ජාතික සූරයන් බිහිකරන තමන් යටතේ සිටින නිලධාරියෙකු පමණක් නොව එම නිලධාරියාගේ දරු පවුලට ද බඩ ගින්න තදින් දැනෙන්නට ඇර විශ්‍රාම ගිය අධ්‍යක්ෂවරයා අනු ගමනය කරන්නට තවත් ක්‍රීඩා පරිපාලකයන් පුරුදු පුහුණු වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැළක්වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීම මීට වඩා ජවයකින් සිදු විය යුතු බව අපි විශ්වාස කරන්නෙමු.
මලල ක්‍රීඩා සංගමය ද මේ රටට සම්පත් නිර්මාණය කරන පුහුණුකරුවා ගේ ගැටළු වලට මීට වඩා මැදිහත්විය යුතුය.අඩුම තරමේ නීත්‍යාණුකූල මට්ටමෙන් මේ පුහුණුකරුවාට සිදු වී තිබෙන දේ පිළිබදව විමසා බලා අදාළ වගකිවයුත්තන් දැනුවත් කිරීමට සහ ඔවුන් මෙම දක්ෂයා ආරක්ෂා කිරීමට පෙළඹවීමට මීට වඩා මැදිහත් වීමක් කළ යුතුය.එසේ නොවීමෙන් විය හැක්කේ, වගකීමෙන් වැඩ කරන පුහුණුකරුවන් අභියෝගාත්මකව ක්‍රීඩාවේ ප්‍රගමනය පිණිස කරන මැදිහත් වීමෙන් කුසීතව ඉවත්වීම පමණි.
දිල්රුක්ෂි ගේ දිදුලීම
මලල ක්‍රීඩා බලධාරීන් විසින් කරන ලද නිවැරදි තේරීමක් ලෙස ඇයට ලැබුණු වරප්‍රසාදයන්හී ප්‍රතිපල විදහා පෙනවමින් සිටින ක්‍රීඩිකාවක් ලෙස චම්පිකා දිල්රුක්ෂි හැදින්විය හැකිය.මෑත කාලීනව පැවති තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලියේදී මීටර් 800 සහ 1500 ඉසව් ද්විත්වයෙන්ම රන් පදක්කම් දිනා පැමිණි චම්පිකා දිල්රුක්ෂි මෙවර ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී වසර 9 ක් පැවති කාන්තා මීටර් 800 ඉසව්වේ  වසර නවයක් පැවති ක්‍රීඩා උළෙල වාර්තාව අලුත් කළාය.කෙන්යානු පුහුණුව ලද චම්පිකා එම පුහුණුවෙන් පසුව පැමිණ මේ වන විට මැදි දුර කාන්තා ධාවනයේ ලාංකේය සළකුණ බවට පත් වෙමින් සිටින්නීය.දැනට මීටර් 1500 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව දරන්නී චම්පිකා මේ වන විට මීටර් 800 ඉසව්වේ ලංකාවේ හොදම දෙවන කාලය වාර්තා කළ ක්‍රීඩිකාව ද වන්නීය.
අලුත් මැදිදුර බලාපොරොත්තුව බවට පත් වී සිටින චම්පිකාව රැක  ගැනීම සහ ඒ දක්ෂතා වර්ධනයට අවශ්‍යය පසුබිම සැකසීමට ඇය පෙළන ද්‍රරිද්‍රතාවයට පහර දීමට වෙනම කණ්ඩායමක් සැකසිය යුතුය.ඒ ආර්ථික ප්‍රහාරය සාර්ථකව සිදු වන්නේ නම් අයගේ යුධ හමුදා පඩිය,ක්‍රීඩා අවශ්‍යයතා සහ දුක්ඛ දෝමනස්සයන් උරුම සිය පැල්පතේ ගැටළු වලින් මිදීමට දරන්නට වන බරපැන අපහසුවෙන් දරා ඉන්නා යුධ හමුදාවේ පඩිපතට කළ නොහැකි තව බොහෝ දේ තිබෙන බව චම්පිකාගේ දෙපය විසින් අනාගතයේදී ඔප්පු කරනවා ඇත.
රුපියල් 100 ද මහමෙරක් සේ වටිනා සහ රුපියල් 100 ක වෙනසකට ද මහත් වූ වෙනස් ප්‍රතිලාභ අත්කර දිය හැකි වට පිටාවක පවතින මලල ක්‍රීඩාව වැනි ක්‍රීඩා සදහා සහන සැළසීම වෙනුවට රේසින් මෝටර් රථ පමණක් බද්දෙන් නිදහස් වන ප්‍රායෝගික නොවූ වටපිටාවක් තුළ ක්‍රීඩාවෙන් රට ලෝකයට ගෙන යාමට හැකි ශඛ්‍යතාවයන් ප්‍රගුණ කරන චම්පිකා වැනි ක්‍රීඩිකාවකට,අඩුම තරමේ සිය පුහුණුවට එන්න බයිසිකලයක්වත් ලැබෙනවා නම් යහපත් නොවන්නේද?
90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ ප්‍රතිපල සදහා මෙම සබදතාවය භාවිතා කරන්න http://www.srilankaathletics.com/F2d%202012.html

www.supirikrida.com

No comments: