Mar 7, 2012

කොමන්වෙල්ත් කුසලාන තරගාවලියේ ඩිල්ෂාන් සෑම අතින්ම පෙරමුණට


නායකත්වයේ කටු ඔටුන්න අත හැරීමෙන් පසුව මුහුණ දෙන පළමු තරගාවලිය නිමා වීමට තවත් එක් තරගයක් පමණක් ඉතිරිව සිටියදී තිලකරත්න ඩිල්ෂාන් තරගාවලියේ කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වී සිටියි.දෙවන අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 8 ක ජයක් ලබා දීමට පෙරමුණ ගත් ඩිල්ෂාන්,තරගාවලියේ දෙවන ශතකය වාර්තා කරමින් තරගයේ වීරයා වීමට අමතරව තරගාවලියේ ලකුණු එකතුව 500 සීමාවට රැගෙන ගිය පළමුවැන්නා වෙමින් ලකුණු 505 ක් දක්වා තම ලකුණු එකතුව රැගෙන ගියේය.එසේම තරගාවලියේ කඩුලුලාභීන් අතර ‍ඕවරයකට අඩුම ලකුණු සාමාන්‍යයක් රදවාගත් පන්දු යවන්නා ලෙස සිටින්නේද ඩිල්ෂාන් ය.එසේම විරාඒ කෝලි සමග වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැක ගත් පන්දු රකින්නා ලෙස ඩිල්ෂාන් උඩ පන්දු 6 ක් රැක ගෙන සිටින්නේය.තරගයක දී වැඩිම උඩ පන්දු පමාන්‍යක් ලෙස ඉකුත් මෙල්බර්න් තරගයේදී උඩ පන්දු 3 ක් රැක ගත්තේද ඩිල්ෂාන්ය.
දෙවන අවසාන තරගය ආරම්භ වීමට පෙර එය විකාශය වන කාල්ටන් ස්පෝර්ට්ස් නාලිකාවට විශේෂ විස්තර ප්‍රකාශනයට එක් වූ අරවින්ද ද සිල්වා සිය පරිනත බව මෙන්ම අත්දැකීම් ද එකතු කර ගනිමින් නිවැරදි අනාවැකි පළ කිරීම ද අගය කළ යුතුයි.ඇඩිලේඩ් තණතිල්ලේ ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රටාවට ගැලපෙන බව මෙන්ම අවසාන වරට පන්දුවට පහර දීමට ලැබීමේ වාසිදායක තත්ත්වය ද අරවින්ද විග්‍රහ කළ අයුරු අපූරුයි.ඔහු ප්‍රකාශ කළ ආකාරයටම කිසිදු ගැටළුවක් නොකර කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවට පහර දීමට සුපුරුදු පරිදිම ඩේවිඩ් වර්නර් සහ මැතිව් වේඩ් පැමිණියා.ආබාධ ගැන කියවුණ ද, වර්නර් ඊයේ තරගයට ඇතුළත් කර තිබුණ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසාන තරග සදහා පැමිණෙන තෙක් පන්දු යැවීමට නිසි අවස්ථාවක් නො’ලද ඩිල්ෂාන් ඊයේ තරගයේ අරම්භක පන්දු යවන්නා ලෙස ද යොදා ගත්තා.මාලිංග දිගින් දිගටම ප්‍රහාරයට ලක් වූ නිසා මහේල කළ ඩිල්ෂාන් යොදා ගැනීම සාර්ථක වූ අතර ප්‍රහාරාත්මක පිතිකරු වේඩ් ලකුණු 14 ට දවා ගැනීමට අමතරව පවර්ප්ලේ අවස්ථාවේ පිතිකරුවන් පාලනය කරමින් පන්දු යැවූ ඩිල්ෂාන් ලකුණු 40 ක් පමණක් සිය පන්දු ඕවර් 10 තුළ ලබා දුන්නා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දු රැකීම දුර්වල තත්ත්වයක පැවති අතර උඩ බන්දු 5 ක්ම ගිලීහී ගිය අතර ඉන් ප්‍රයෝජන ගත් නායක මයිකල් ක්ලාක් ලකුණු 117 ක් සහ ඩේවිඩ් වර්නර් ලකුණු 100 ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියා ලකුණු පූවරුව පන්දු ඕවර් 50 නිම වන විට ලකුණු 271 දක්වා ගෙන ගියා.යළි ඉපදුණු ලසිත් මාලිංග සිය පන්දු ඕවර් 10 ලකුණු 40  ට සීමා කිරීමෙන් නො’නැවතී කඩුලු 3 ක් දවා ගත් අතර ඒ අනුව මේ වන විට තරගාවලියේ ඔහු ලබා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව වන 18 මෙම තරගාවලිය තුළ පන්දු යවන්නෙකු ලබා ගත් වැඩිම කඩුලු ප්‍රමාණය ද වෙනවා.   
පිළිතුරු ඉණිමට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත් නායක මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 179 දක්වා දික් ක‍‍ළේ,ජයග්‍රහණය අත පේන මානයට ගෙන එමින්.ජයවර්ධන ඒ අතරින් වඩාත් ප්‍රහාරාත්මක වූ අතර ඔහු පන්දු 76 දී ලබා ගත් ලකුණු 80 කින් සිය ඉණිම නිදා කරද්දී පිටියට බට කුමාර සංගක්කාර සහ ඩිල්ෂාන් අතර දෙවන කඩුල්ලේ සබදතාවය 55 ක් වූ අතර ඩිල්ෂාන් ගේ ඉණිම ලකුණු 106 ට නිමා වුණා.තරගය නිමවන විට සංගක්කාර නමට නොදැවී ලකුණු 51 ද. දිනේෂ් චන්දිමාල් නමට නොදැවී ලකුණු 17 ක් ද එකතු වී තිබුණා.ශ්‍රී ලංකාවට ජය ගැනීමට පන්දු ඕවර් 50 ක් ම හිමිව තිබුණත් 45 වන ඕවරයේ දෙව පන්දුවට සංගක්කාර එල්ල කළ හතරේ පහරත්  සමග ලකුණු තත්ත්වය ලකුණු 274 ක් දක්වා ඉහළ ගියා.
තරගයේ සමස්ත ලකුණු සටහනට පහත සබදතාවයෙන් ප්‍රවේශ විය හැකිය. http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518969.html

No comments: