Mar 8, 2013

සංගා අදත් එළියෙද?

ගෙවුණු ඕස්ට්‍රේලියානු සංචාරයේදී අබාධයකට ලක් වූ කුමාර සංගක්කාරට අද ඇරඹෙන බංගලාදේශ ටෙස්ට් තරගයේදී අවස්ථාව අහිමි විය හැකි බවට තොරතොරු වාර්තා වෙනවා.අබාධයෙන් පසුව ජාත්‍යන්තර තරග අත්දැකීමක් ලබා ගැනීමට තිබූ මාතර පැවති පුහුණු තරගයේදී ද  සංගක්කාර දකින්නට නොලැබුණු අතර අද ආරම්භ වන ටෙස්ට් තරගයේදී ද ඔහු සංචිතයේ සිටියද කණ්ඩායමට නම් නොකිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙනවා.තිලාන් සමරවීර ආබාධයකට ලක් වූ මහේලගේ අවස්ථාවට කැදවන බව කීව ද,ඔහුව සංචිතයට හෝ නොකැදවා ඉවත් කිරීම ආසන්නතම හේතුව කර ගනිමින් තිලාන් ජාත්‍යන්තර තරග දිවියෙන් සමු ගැනීම ප්‍රකාශ කරන්නට යෙදුණා.මේ ආකාරයට තේරීම් කමිටුව පැරන්නන්ට පල නොකියා පලා බෙදමින් අලුත් කණ්ඩායමක් ශක්තිමත්ව නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන බවක් වාර්තා වුව ද ටෙස්ට් තරගයකදී ජවය මෙන්ම අත්දැකීම් සහ පළපුරුද්දටද වැඩි වටිනාකමක් හිමි වෙනවා.
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය හොදම ටෙස්ට් ජයග්‍රහණ සහිත නායකත්වයක් ශ්‍රී ලංකාවට ලබා දීම සදහා නවක කණ්ඩායමක් මෙහෙයවීමේ වගකීම දරමින් සිය නායකත්වයේ ගමන ඇරඹු අතර එවැනිම කාර්යයක් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ද තමන්ට දරන්නට වනු ඇතැයි එම වගකීම භාරගත් දවසේ අප වෙබ් අඩවියට ප්‍රකාශ කළා.ඒ අනුව යමින් නව තරුණ හැකියාවන්ගෙන් ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරීම වෙනුවෙන් සනත් ඇතුළු තේරීම් කමිටුව කටයුතු කළ යුතුව ඇතත් එය වදුරාට දැලි පිහිය ලද සේ භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව අප විශ්වාස කරනවා.
කෙසේ හෝ අද ටෙස්ට් තරගයට දග පන්දු යවන්නන් දෙදෙනෙකු යොදවා ගනු ඇතැයි විශ්වාස කළ හැකියි.සංගගේ ස්ථානය මෙන්ම වේග පන්දු යවන්න් තිදෙනෙකුද දෙදෙනෙකුද යන කාරණය ද පදනම් කරගෙන අද බොහෝ විට කුසල් ජනිත් පෙරේරාට හෝ කිත්රුවන් පෙරේරාට හෝ එම දෙදෙනාටමද කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමට අවස්ථාව තිබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
www.supirikrida.com

No comments: