Dec 7, 2012

ශ්‍රී ලංකාව අවසාන තරගයට නාවත් සිංගප්පූරුව පරදයි

සියානු කුසලානය අහිමි වීමේ වාඩුව ගත් ශ්‍රී ලංකා දැල් පන්දු ක්‍රීඩිකාවෝ සිංගප්පූරුවට ඔවුනගේ දේශයේදීම පරාජය අත් කර දීමට සමත් වූහ.ලකුණු 65 - 52 ක් ලෙස එම ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිංගප්පූරුවට සය සාමාජික තරගාවලියේ අවසාන තරගය පිළිබදව තිබූ බලාපොරොත්තුව විසුණු කර දැමීමට සමත් වූහ.


නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලියට පෙර එල්ල වූ චෝදනා කිසිවක් මේ ජයග්‍රහණය හරහා නිශේධනය නොවන බව කිව යුතුය.සිංගප්පූරුව මේ තරගාවලියේ දී එලැඹෙන කණිෂ්ඨ ආසියානු කුසලානය සහ ජගත් කණිෂ්ඨ කුසලානය බලාපොරොත්තුවෙන් අවුරුදු 16 ආසන්නයේ පසුවන දක්ෂ ක්‍රීඩිකාවන් තිදෙනෙකුම ඇතුළත් කර තිබිණ.එය වසං කළ නොහැකි කාරණයක් නොවන අතර එසේ කියා ශ්‍රී ලංකාව සිංගප්පූරුව පරදා රටක් හැටියට ලත් ජය කිසි විට හෑල්ලුවට ලක් කිරීම එම කරුණ හෙළිදරව් කිරීමේ අභිප්‍රාය නොවේය.
එසේම තිලකා ජිනදාසගේ සමයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ කාය ශක්තිය හා දරා ගැනීමේ හැකියාව අනෙකුත් ආසියානු රටවල් ඉක්මවා බොහෝ ඉදිරියෙන් තිබුණ ද,ඇය ගේ ඉවත් කිරීමෙන් පසු එය ක්‍රමයෙන් හීන වූ බවක් දක්නට ලැබිණ.මෙම තරගයේදී ද එම තත්ත්වය දකින්නට ලැබුණු අතර තරගයේ ප්‍රථම කාර්තුවේ සිට සිව්වැනි කාර්තුව දක්වා සැළකිල්ල යොමු කරද්දී කාර්තුවෙන් කාර්තුවට ලකුණු පරතරය අඩු වී අවසාන කාර්තුව පරාජය වූ බව හදුනා ගන්නට හැකිය.පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ලකුණු 19 - 12 ක් ලෙස ද,දෙවන කාර්තුව ලකුණු 17 - 12 ක් ලෙස සහ තෙවන කාර්තුව ලකුණු 14 - 12 ක් ලෙස ද ජය ගත් අතර අවසාන කාර්තුවේදී ශ්‍රී ලංකාව 16  - 15 ක් ලෙස පරාජයට පත් වන්නේය.
මේ තත්ත්වය ඇති වීමට බල පෑ ප්‍රධානතම කාරණයක් ලෙස වසර ගණනකින් ජාතික කණ්ඩායමක් හෝ රටක ප්‍රධාන කණ්ඩායමක් පුහුණුකර නොසිටි හයසින්ත් විජේසිංහට පුහුණුකරු ධූරය පිරිනැමීම දැක්විය හැකිය.ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ජයග්‍රහණය සදහා මෙහෙය වූ ප්‍රබලතම පුහුණුකාරියක් වූව ද ඒ පත්වීම ලැබෙන විට ඇය ඉහළ තරගකාරීත්වයට මුහුණ දීමට සුදුසු මට්ටමේ පුහුණුකාරියකව ප්‍රායෝගික මට්ටමෙන් ක්‍රියාකාරීව නොසිටියාය.ඒ තත්ත්වය පැහැදිළිව දැක දැක හයසින්ත් ගේ අඩුව මැකීමට ගත්තේ හයසින්ත්ටත් වඩා කාලයක් තරගකාරීව ජාතික මට්ටමෙන් කණ්ඩායමක් පුහුණු නොකළ තැනත්තියක ය.
ඒ තත්ත්වය සළකා වර්ථමානයේ ජාතික මට්ටමේ උසස් දක්ෂතා දක්වන තරගකාරී ක්‍රීඩා සමාජ වලට පුහුණුකරුවන් ලෙස සම්බන්ධ වී සිටින යමුනා සදමාලි,සොමිතා ද අල්විස්,රූබා ජයලාල් සහ පීඩීඑම් ප්‍රසාදි ඒ සදහා යෝජනා කර අප යෝජනා කර සිටියත් එවැනි ප්‍රායෝගික නැති මිනිසුන්ට වගකීම් පැවරීමේ ප්‍රතිපලය වූයේ එම පුහුණුකරුවන්ට එම අවස්ථාව අහිමි වීමය.අප එහිදී පාසල් පුහුණුකාරියන් ලෙස දක්ෂතා දක්වන අමල්කා ගුණතිලක සහ ජානකී ගුණසේකර වැනි අයෙකු සහය පුහුණුකාරියක ලෙස පත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නද එයින් ප්‍රතිපලයක් අත් නොවිණ.
කෙසේ හෝ මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට අවසන් තරගයට ඒමට නොහැකි වූ බව සිතන්නට ද හේතු තිබිය හැකිය.මැලේසියාව සහ ශ්‍රී ලංකාව ජයග්‍රහණ වලින් සම මට්ටමේ සිටියද ජයග්‍රහණ වල දී ගෝල පරතරය තබා ගැනීමේ ප්‍රතිශතය මත මැලේසියාව ඒ සදහා සුදුසුකම් ලබා ඇත.ඒ අනුව අපරාජිත ටැන්සානියාව සහ මැලේසියාව මෙවර සය ජාතික දැල් පන්දු තරගාවලියේ අවසාන තරගයට තරග වදිද්දී ශ්‍රී ලංකාවට සිව්වන හෝ තෙවන තැන බලාපොරොත්තුවෙන් නැමීබියාව සමග තරග වැදීමට සිදු වී ඇත.

No comments: