May 8, 2012

මංජුල පළමු තැනට එයි - ෂෙහාන්ට දෙවන තැන

සියානු ග්‍රෝන්ප්‍රී තරගාවලියේ පළමුවැන්න ඊයේ බැංකොක් හී දී නිමාව දුටුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදි ක්‍රීඩකයන් අතරින් මංජුල කුමාරට පමණක් ප්‍රථම තැන හිමි වෙමින්.නමුත් ඊයේ තරග වැදි ක්‍රීඩකයන් අතරින් සුදුසුකම් ලැබීමේ දක්ෂතා අතර ස්ථානයක් දිනා ගැනී‍මට හැකි තත්ත්වයක් නොපෙන් වූ ෂෙහාන් අඹේපිටිය දෙවන ස්ථානයට පත් වෙමින් ඉදිරි තරග සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කිරීම සුභදායක තත්ත්වයක්
මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වු මංජුල කුමාර ඊයේ දිනයේ අවසානය සටහන් කරමින් පැවති උස පැනීමේ තරගයේදී රැස් ව සිටි සීමිත ප්‍රේක්ෂක සියල්ලගේම අවධානය දිනා ගැනීමට සමත් වුණා.මීටර් 2.23 ක උසක් ඉක්මවා යාමෙන් පසු කෙළින්ම ඔලිම්පික් පරිසාධන මට්ටම වූ මීටර් 2.28 ට නො’පිවිස 2.26 උස තරණය කළේනම් මංජුල ගේ දක්ෂතාවය තවත් ඉහළ යන්නට තිබුණු අතර නමුත් ඔහු ඉතා පහසුවෙන් එම උස කඩඉම් තරණය කළ ආකාරයෙන් බොහෝ විට ඉදිරි තරග දෙකේදී මංජුල කුමාර ලන්ඩන් ඔලිම්පික් උළෙලට සුදුසු වූ කණ්ඩායමට එක්වනු ඇතැයි අනුමාණ කළ හැකියි.
මංජුල ද එම අදහස සනාථ කරමින් තමන් ඉතාම හොද මානසික විශ්වාසයකින් සිටින බව පැවසූ අතර තමාට මීටර් 2.28 ට පිවිසීම ආකාර දෙකකින් වැදගත් බව පෙන්වා දුන්නා.මන්ද දැනට පවතින මංජුලම සතු ශ්‍රී ලංකා වාර්තාවද (2.27) යළිත් මීටර් 2.28 ක උසත් සමග අලුත් කිරීම ද මංජුලගේ බලාපොරොත්තුවක් බවට පත් වී තිබෙනවා.
තමා මේ වසරේ ඉදිරිපත් වු දෙවන තරගයේ දී ප්‍රථම තරගයට වඩා ප්‍රගතියක් ලැබීම තමාට දෙවන ස්ථානයටත් වඩා වටිනා බව පැවසූ ෂෙහාන් අඹේපිටිය,සිය ආරම්භය පිළිබදව සතුටට පත් වුව ද තරගයේ අවසාන කොටසේ යම් දියුණුවක් සිදුවිය යුතු බවත් සිය දේශීය පුහුණුකරු සුනිල් ගුණවර්ධන සමග සාකච්ඡා කොට ඉදිරි තරග දෙකේදී මෙම තත්ත්වයට පිළියමක් ලබා ගැනීම අපේක්ෂවෙ බවත් පැවසුවා.එසේම සිය ජැමෙයිකානු පුහුනු සංචිතයේ ක්‍රීඩකයන් සමග මැයි 25 වන දා යුරෝපීය තරග ඉසව් ගණනාවක් සදහා සහභාගි වීමට පිටත්ව යන බව කී ෂෙහාන් මෙම තරග පදනම් කරගෙන එම තරග වලදී මීට වඩා විශාල ප්‍රගතියක් පෙන්වීම සිය අපේක්ෂාව බවත් පැවසීය.
තරගාවලියට සුදුසුකම් ලැබු දක්ෂතා සළකද්දී කාන්තා මීටර් 400 ඉසව්වේ ඉදිරියෙන්ම සිටි චන්ද්‍රිකා සුභාෂණීට අත් වූයේ තෙවන තැනයි.තත්පර 52.52 ක දක්ෂතාවයක් අනුව මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටි චන්ද්‍රිකා ඊයේ තෙවන තැනට පත් වෙමින් තරගය නිමා කළේ තත්පර 53.57 ක කාලයකට යි.ප්‍රථම ස්ථානය දිනූ ඉන්දියාවේ එම්ආර් පූවම්මා ට ද චන්ද්‍රිකා සුදුසුකම් ලැබූ කාලය ඉක්මවා යාමට නොලැබුණු අතර ඇය ඉසව්ව නිමා කළේ ද තත්පර 52.94 ට යි.
මීටර් 400 කාන්තා කඩුලු පැනීම ඉසව්වේ දෙවන තැන සිටි ක්‍රීස්ටීන් මෙරිල් ද පසුබෑමකට ලක්ව සිටි අතර ඇය වාර්තා කළේ ද තත්පර 58.20 ක කාලයක්.ඇය එම කාලය වාර්තා කරමින් තෙවන ස්ථානය දිනා ගත්තා. ආබාධයකින් පසුව පිටියට පිවිසුන ද ප්‍රසන්න අමරසේකර නැවත ප්‍රවේශය හොදින් සනාථ කරමින් තත්පර 47.52 ට තරගය නිමා කළේ තරගයේ තෙවන ස්ථානය දිනා ගනිමින්.
ශ්‍රී ලංකාවට පළමු ස්ථාන තුනෙන් එකක් හෝ දිනා දීමට අසමත් වූයේ වරුණ ලක්ෂාන් පමණයි.ආබාධයකට ලක්ව සිට සුව වෙමින් තරග බිමට පිවිසි ලක්ෂාන් සිය සාමාන්‍ය දක්ෂතාවය දැක්වීමට අපොහොසත් වීම කණගාටුදායක තත්ත්වයක් වූ අතර ඔහුට හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ හත්වන තැන හිමි හිමි කර ගැනීමට වීසි කිරීමට වූ දුර මීටර් 67.80 ක් වූවා.
මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානයකට ඩොලර් 1500ක් දෙවන ස්ථානයට ඩොලර් 800 ක් සහ තෙවන ස්ථානයට ඩොලර් 500 ක් හිමිවන අතර මෙම ග්‍රෝන් ප්‍රී තරගයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින් ජයග්‍රාහකයන්ට පදක්කම් පිරිනැමීමද අගය කළ යුතු වෙනවා.
තරග උළෙලේ ජනමාධ්‍ය වෙනුවෙන් පහසුකම් ලබා දීම නොසළකා හැර තිබීම කණගාටුදායක තත්ත්වයක් වන අතර විශේෂයෙන් මාධය කුටියක් හෝ අන්තර්ජාල පහසුකම් ලබා දී නොමැති වීම දැඩි කණගාටුදායක තත්ත්වයක්.මෙම නිසා බැංකොක් නගරයේ මිළ අධික අන්තර්ජාල පහසුකම් සොයා යෑමට හෝ එවැනි උපාංග මිළ දී ගැනීමකින් උළෙල වාර්තා කළ යුතු වීම මාධ්‍යවේදීන්ට විශාල ගැටළුවක් වී තිබෙනවා.  
ඊයේ තරගයේ කිසිදු ක්‍රීඩක ක්‍රීඩකයෙක් ඔලිම්පික් පරිසාධන මට්ටමට නො’පිවිසි අතර සමස්ත උළෙලේම දක්ෂතා පසුබැස්මක තිබෙන බව පැහැදිළි කළ ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු සුනිල් ගුණවර්ධන ඊට බොහෝ විට ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම මෙම තරග උළෙල නියෝජනය කරන බොහෝ දෙනෙකුගේ ද මේ වසරේ පළමු අන්තර්ජාතික ඉසව්ව මෙය විය හැකි බව පෙන්වා දුන්නා.ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් පරිසාධන මට්ටම දක්වා රැගෙන ඒම අවශ්‍යය බව පෙන්වා දුන් සුනිල් ගුණවර්ධන එය පහසු කිරීමට ඉතා ඉක්මණින් විදේශ තරග සංචාර කිහිපයක් ලබා ගැනීමට හැකිනම් එය වැදගත් වනු ඇති බව ද ප්‍රකාශ කළා.
නිශ්මං රණසිංහ තායිලන්තයේ සිට
www.supirikrida.com

No comments: