Jan 24, 2012

මහේල යළි නායකත්වයට



ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම ක්‍රිකට් නායකයෙකු බවට අවිවාදිත මහේල ජයවර්ධන තිලකරත්න ඩිල්ෂාන් ගෙන් පසුව යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා කැදවීමට නියමිත බව විශ්වාසදායක ආරංචි මාර්ග සදහන් කරයි.2007 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන අනු සූරතාවය සදහා මෙහෙය වූ මහේල,2011 ලෝක කුසලානය සදහා නව කණ්ඩායමක් තෝරා ගැනීම සදහා බව කියමින් නායකත්වයෙන් ඉල්ලා අස්විය.නමුත් 2015 ලෝක කුසලානය සදහා කණ්ඩායමක් තෝරා ගැනීම සදහා වන අභියෝගය යළි භාර ගනිමින් මහේල නායකත්යට පත් වීම 2007 ලෝක කුසලානයෙන් පසුව නායකත්වයෙන් ඉවත් වෙමින් කළ ප්‍රකාශය සිය කැමැත්තෙන් කළ ප්‍රකාශයක් දැයි සැක උපදවන්නේය.
දැනට ශ්‍රී ලංකාවේ සිටින සුපිරිතම පිතිකරුවා බවට ජගත් ක්‍රිකට් විචාරකයන් ගේ පැසසුමට ලක්වන මහේල,පසුගිය කාලයේ ලකුණු අතර නොසිටි අතර,නායකයා ලෙස යළි ලකුණු අතරට පැමිණෙමින් යළි කණ්ඩායම ඉහළ තලයට කැදවා ඒම මහේල ගේ අනාගත අභියෝගය වන්නේය.

බැරිබර ඇදි ඩිල්ෂාන් සමුගනී


ලෝක කුසලාන අවසාන තරගයේ දී සිදු වූ පරාජයත් සමග එවකට නායකත්වය දැරූ කුමාර් සංගක්කාර ඉල්ලා අස් වූ අතර එම අවස්ථාවේ දී ඇති වූ නායකත්වය පියවීම සදහා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කළ ආරාධනයකින් පසුව ඒ වගකීම භාර ගැනීමට කැමති වූ තිලකරත්න ඩිල්ෂාන් පරාජයන් ගණනාවකින් පසු යළි කණ්ඩායම ජයග්‍රාහී මාවතට කැදවා එමින් නායකත්යෙන් සමු ගත්තේය.මේ පිළිබදව විදේශ මාධ්‍ය වෙත ද අදහස් දක්වා තිබූ සංගක්කාර,තමා කණ්ඩායම වෙනුවෙන් එල්ල වූ සියළු අභියෝගයන් බාර ගත් ක්‍රීඩකයෙකු බව පෙන්වා දී ඇත.
වරෙක අංක හය පිතිකරුවා වන්නටත් තවත් වරෙක ආරම්භක පිතිකරුවා වන්නටත් කණ්ඩායම වෙනුවෙන් එකග වූ ඩිල්ෂාන් කණ්ඩායමට කඩුලු රකින්නෙකු ලෙස පැමිණ,මේ වන විට ජගත් එක්දින සහ 20 -20 ශ්‍රේණිගත කිරීම් වල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මුල්පෙළේ රැදී සිටින්නට සමත් වී සිටියි.පිට පළාත් ක්‍රීඩකයෙකු ලෙස සනත් ජයසූරියට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ සාර්ථකම ක්‍රීඩකයා වන ඩිල්ෂාන් කළුතර මහා විද්‍යාලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකයෙකු බිහිකළ පාසලක් බවට පත් කිරීම සදහා අබියෝග මැදින් ක්‍රිකට් ජීවිතය ගොඩ නගා ගත් ක්‍රීඩකයෙකු විය.
නායකයා ලෙස ටික කාලය තුල නවක ක්‍රීඩකයන් ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට හදුන්වා දීමට හැකි වූ බවට අදහස් දැක් වූ ඩිල්ෂාන් අනාගතය වෙනුවෙන් දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න,දිමුත් කරුනාරත්න සහ සචිත්‍ර ඇලෙක්සැන්ඩර් වැනි ක්‍රීඩකයන්ට තම ක්‍රිකට් අනාගතය පිළිබදව යම් විශ්වසනීයත්වයක් ඇති කරන්නට සමත් වූ නායකයෙකු ලෙස අනාගතයේ දී සිය නායකත්වය පිළිබදව සතුටුවිය හැකි යමක් කළ ක්‍රීඩකයෙකු ලෙස හැදින්විය හැකිය.

ජනාධිපති රන්කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග කහවත්තේ දී


ඩයලොග් ආසියාටා අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටම සදහා සුදුසුකම් ලද කණ්ඩායම් අතර පැවත්වෙන ජාතික මට්ටමේ තරගාවලිය ජනවාරි 28 සහ 29 යන දෙදින තුළ කහවත්ත මහජන ක්‍රීඩාංගණයේ දී පැවත්වේ.මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවේ පළාත් නවයට අයත් සියළුම පරිපාලන දිස්ත්‍රික්ක වලින් කන්ඩායම් තේරී තිබෙන අතර වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් මෙම තරග සංවිධානය කිරීමේ වගකීම එහි උප සභාපති සබරගමු පළාත් සභා මංත්‍රී කාංචන ජයරත්න විසින් සිදු කිරිමට නියමිතය.
තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභ සාධන ඇමති ඩිලාන් පෙරේරා සහභාගි වන ඩයලොග් ආසියාටා සමාගම වෙනුවෙන් එම අවස්ථාවට ප්‍රධාන විධායක නිලධාරී නව්ෂාඩ් පෙරේරා සහ සන්නාම තකළමණාකරු රිස්වි ෆාරුක් එක්වෙති.  

කපුකොටුවගෙන් නවශ්‍රී ලංකා වාර්තා දෙකක්


දැනට ඇමෙරිකාවේ වැඩි දුර අධයාපනය හදාරන චරිත් කපුකොටුව  එහි පැවත්වෙන ගෘහස්ත මලල ක්‍රීඩා තරග වාරයේ දී මේ වන විට නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් තබන්නට සමත් වී සිටියි.දෙසැම්බර් 8 දා කියර්නා හී පැවති මෙරටට ආගන්තුක තරග ඉසව්වක් වන බර වීසි කිරීමේ තරගයේ දී එය මීටර් 17.08 ක් දුරට වීසි කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීය.
බර වීසිකිරීමේ උපකරණය

ජනවාරි 22 දා ජිලට් හී පැවති තවත් ගෘහස්ත තරගයක දී යගුලිය වීසී කිරීමේ ගෘහස්ත ශ්‍රී ලංකා වාර්තාව ද සිය නමට පවරා ගත් චරිත් කපුකොටුව මීටර් 15.83 ක් දුරට යගුලිය වීසි කරන්නට සමත් විය.මෙම ඉසව්වේ එළිමහන් ශ්‍රී ලංකා වාර්තාව වන්නේ මීටර් 16.62 ක් වන අතර එය ටී අලෙයිලීමා සදුව පවතියි.තවමත් 21 හැවිරිදි කපුකොටුව මෙම වාර්තා ද්විත්වයට හිමිකම් කීමත් සමග ඔහුට ඉසව් තුනක ජාතික වාර්තා හිමිවන අතර මිටිය වීසි කිරීමේ ජාතික වාර්තාව (මීටර් 41.030 හිමි වන්නේ ද කපුකොටුවට ය. 

Jan 23, 2012

ශ්‍රී ලංකා පිතිකරුවෝ යළිත් තමන් කිසිවෙකුට නොදෙවැනි බව පෙන්වති

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා
ඕනෑම ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් ජය ගැනීමට හැකි බව යළි ලොවට පෙන් වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ දකුණු අප්‍රිකාව සිය පන්දු ඕවර් 50 තුළ කඩුලු 4 ට ලබා ගත් ලකුණු 312 තම නියමිත පන්දු වාර 50 නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ලබා ගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ දකුණු අප්‍රිකාව සමග පැවති පස්වන එක්දින තරගය කඩුලු 2 කින් ජය ගැනීමට සමත් වූහ.තරගාවලියේ ප්‍රථම තරගයේ දි ලකුණු 43 ට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රමයෙන් නැගිටි අතර,තෙවන තරගයේ තීරණාත්මක මොහෙතේ දී ඇද හැලුණු වර්ෂාව නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලද පරාජය නොවන්නට තමන් ට මෙම එක් දින තරගාවලාය ජය ගැනීමේ ඉඩක් තිබුණු බව ලෝකයට කියා පාමින් සිව්වන සහ පස්වන තරග ලකුණු 300 සිමාව ඉක්මවා යමින් ජය ගනිමින් යළිත් ක්‍රිකට් ලෝකයේ අවධානය තමන් වෙත දිනා ගැනිමට සමත් විය.
ප්‍රථම  කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග (46) සහ තිලකරත්න ඩිල්ෂාන් (41) පන්දු ඕවර් 9.6 ක් තුළ ලබා දුන් සාර්ථක ආරම්භය ‍පන්දු 97 කින් කුමාර් සංගක්කාර රැස් කල අති විශිෂ්ඨ ලකුණු 102 කරා යාමේ දී ඩිල්ෂාන් සමග දෙවන කඩුල්ලට ලකුණු 47 ක් ද,දිනේෂ් චන්දිමාල් (20) සමග තෙවන කඩුල්ලට ලකුණු 56 ක් ද සහ සිව්වන කඩුල්ලට ලහිරු තිරිමාන්න (69) සමග එක් කළ ලකුණු 100 ක  සබදතාවය ද සමග පෑ පරිනත ක්‍රීඩා විලාශය හේතු කර ගෙන ශ්‍රී ලංකාව ට එල්ල වී තිබූ අභියෝගයේ විශාලත්වය ක්‍රමයෙන් හීන වී ගියේය.
නමුත් අවසාන ඕවරය වන විට කඩුලු 6 ක් දැවි ජයග්‍රහණයට තවත් ලකුණු 6 ක් පිටුපසින් සිටි ශ්‍රී ලංකාවේ කඩුලු 2 ක් ම රොබින් පීටර්සන් ට ගොදුරු වීමත් සමග ශ්‍රී ලංකාවට පන්දු 3 ක් තුළ ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ප්‍රමාණය 5 ක් විය.සිය ජාත්‍යන්තර එක්දින ජිවිතයේ පළමු වරට පන්දුවට පහර දීමට පැමිණි සචිත්‍ර සේනානායක පළමු පන්දුවට ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කිරීමත් සමග දකුණු අප්‍රිකා ජය පැතූ ක්‍රීඩා ලෝලීන් අමන්දානන්මයට පත් වුව ද සිය මංගල එක් දින ලකුණු ලබා ගැනිම ලකුණු 6 කින් ඇරඹු සචිත්‍ර ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් වලට සුපිරි එක්දින ක්‍රීඩකයෙකු පැමිණෙන බවට සංඥා කරමින් තරගය හමාර කළේ ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ කඩුලු 2 ක ජයක් හිමිකර දෙමින්ය.
තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර එම තීරණය නිවැරදි බව පෙන්වමින් ලකුණු 10 ක් ව තිබිය දී ඇල්විරෝ පීටර්සන් ලකුණු 6 ට දිවී ගිය අතර ෆැ‍ෆ්ඩු ප්ලේසිස් ලකුණු 24 ක් ලබා සිටියදී මුළු ලකුණු සංඛ්‍යාව 70 ක් ව තිබිය දී සිය මංගල එක්දින කඩුල්ල දවා ගත් සචිත්‍ර සේනානායක  ක්‍රියාත්මක වීමෙන් ලකුණු පූවරුවේ කඩුලු ප්‍රමාණය දෙකක් විය.නමුත් ඉන් අනතුරුව ග්‍රෙහැම් ස්මිත් ට එක් වූ ඒබි ඩිවිලියර්ස් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පාලනය සියතට ගතු අතර දෙදෙනාම ග්‍රෙහැම් ස්මිත් (125) සහ ඩිවිලියර්ස් (නොදැවි 125) ශතක ලබා ගනිමින් දස්කම් දැක් වූ අතර  තෙවන කඩුල්ල ලෙස ස්මිත් පිටියෙන් ඉවත් වන විට ලකුණු පූවරුව 256 ක් විය.ස්මිත් ගේ දැවී යාමෙන් ඉනික්බිති වගකීම සිය කර පිට පවරා ගත් ඩිවිලියර්ස් නායකත්වය යනු තමා ගේ ක්‍රීඩා රටාවට එකතු කළ බරක් නොව ආශිර්වාදයක් ලෙස සටහන් කරමින් ලකුණු 125 ලබා ගත්තේ පන්දු 98 ක් තුල දීය.
හ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් වෙනුවෙන් සුපිරි ඉණිමක් දියත් කළ සංගක්කාර තරගයේ වීරයා වූ අතර තරගාවලිය පුරාම ලකුණු අතර සිට  සිය පළමු එක් දින තරගාවලි නායකත්වය ජයග්‍රහණයකින් නිමා කළ ඒබි ඩිවිලියර්ස් තරගාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසීමේ මග පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනිමට හැකිය.




මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් සූරයෝ ඉරානයෙන් - සූරියෝ කසකස්තානයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඓතිහාසික ජයක්



ඔලිම්පික් තරගාවලිය සදහා ආසියානු මහද්වීපික තරග යටතේ සහභාගි වන කණ්ඩායම නිර්ණය කර ගැනිමේ මූලික වටයේ තරගයක් ලෙස මීගමුවේ දී ක්‍රියාත්මක වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි සූරතාවය ඉරානයට ත් කාන්තා සූරතාවය කසකස්තානයටත් හිමි විය.
එහි දී කාන්තා අනු සූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා අංක 1 කණ්ඩායම කසකස්තාන අංක 1 කණ්ඩායම පරදවා අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීම කැපී පෙණින.අවාසනාවන්ත ලෙස එම කණ්ඩායම නියෝජනය කළ ගීතිකා ගුණවර්ධන සහ තක්ෂිලා නෙරංජලී ගුණසිංහ කසකස්තාන 1 ක්‍රීඩිකාවන් (ට්සිම්බලෝවා සහ මශ්කෝවා) පැරදවිමට ප්‍රථම ශවුන් ගේ පළමු තරගයේ දී කසකස්තාන අංක 2 ක්‍රීඩිකාවන් වූ සමාලිකෝවා සහ බොගාටු හමුවේ ද තරග වට දෙකම ඉදිරියෙන් සිට අවසාන මොහාතේදී ඉතා අවාසනාවන්ත ලෙස පරාජය නොවන්නට මෙවර කාන්තා සූරතාවය සදහා රන් වටයක ට ගොස් එය දිනා ගැනීමට අවස්ථාවක් ශ්‍රී ලංකාවට තිබිණ.
ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් තක්ෂිලා සහ ගීතිකා දෙදෙනාම දැක් වූ අප්‍රතිහත ධෛර්‍යයෙන් යුත් ක්‍රීඩා රටාව පැසසුම් සහගත විය.තමන්ට වඩා පළපුරුද්දෙන් සහ දක්ෂතාවයන්ගෙන් ඉදිරියෙන් සිටින බවට පිළිගත් කසකස්තාන් ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන ඉහළ භෞතික පරිසරයේ ආශිර්වාදයට සහ කායික වශයෙන් ඔවුන් තුල ඇති ශක්තිය ද දෙවැනි කර දැමීමට දැඩි මානසික ස්ථාවරභාවයකින් තරග වැදුනු එම දෙදෙනා ලද ජය ආදර්ශමත් එකක් වන්නේ හිත ඇත්නම් පත කුඩා ද යන ආත්තෝපදේශය සිහිගන්වන ආකාරයේ විශිෂ්ඨ එකක් වූ බැවිණි.
කාන්තා අංක 2 කණ්ඩායම ද අංක 1 කණ්ඩායමේ ජයග්‍රහණයේ පිබිදීම ඇතිව කසකස්තාන අංක 2 කණ්ඩායම වූ තරගයේ දී ප්‍රශස්ත ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් තරග වට 3 ක් දක්වා තරගයේ තීරණය ලැබීමේ කාලය දිගු කරන්නට සමත් වුව ද,එම කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩිකාව වූ සාගරික ගුණසිංහ වෙතින් තරගයේ අවසාන භාගයේ දී ලැබිය යුතු දායකත්වය නොලැබී යාම හේතුවෙන් අවසාන වටය ලකුණු 12 – 15 ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජය වන්නට සිදුවිය.
පිරිමි සූරතාවය රන් වටය දක්වා පිවිසි අතර සූරතාවය සදහා තරග වැදි ඉරාන සහ කසකස්තාන් කණ්ඩායම් තරග 2 බැගින් ජයගෙන තරගාවලිය සම තත්ත්වයට ගෙන ඒම එයට හේතුව විය.එහිදී කසකස්තානයේ සිඩ්ඔරෙන්කෝ සහ ඩයිචෙන්ක්කෝ පරාජය කළ ඉරානයේ ෆර්රොකී සහ සල්ගා පිරිමි සූරතාවය ඉරානයට දිනා දීමට පියවර ගත්තේය.කෙසේ වුව ද මහද්වීපික තරගාවලියේ අවසාන වටය නියෝජනය කිරීමට පිරිමි අංශයේ තෙවන ස්ථානය දිනූ ශ්‍රී ලංකාව සහ කාන්තා අංශයේ තෙවන ස්ථානය දිනූ ඉන්දියාව ද තේරී පත් වූ බැවින් ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම මහද්වීපික කුසලාන අවසාන තරග වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.
ජාත්‍යන්තර තරග පිටියේ ආසියාතික මට්ටමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවනට වෙරළ ක්‍රීඩාවේ පෙරට ඒම සදහා තරග ඇදුම විශාල ගැටළුවක් වී ඇති බව පෙනෙන්නට තිබෙන අතර තරග කරන ක්‍රීඩිකාවන් පවා ඊට අදාළ නිශ්චිත ඇදුමෙන් තොරව තරග වැදීම කැපී පෙණින.මේ තත්ත්වය යටතේ පිහිණුම් ඇදුමට මැලිකමක් නොවන සමාජ පංතියට වෙරළ වොලිබෝලය හදුන්වා දිම හරහා එම ඇදුම ඇදීමට දක්වන මැලි බව ඉවත් කිරීමට පියවර ගන්නේ නම් එම තරග අංශයේ මීට වඩා ප්‍රගතියක් සහ තරගකාරිත්වයක් ඇති කර ගැනීම අපහසු නැත.සිරුර නමනීය ලෙස වඩා පහසුවෙන් ක්‍රියාකාරී කර ගැනීමට අවශ්‍යය පසුබිම එම ඇදුම තුළ ඇති බව තේරුම් ගෙන ක්‍රියා කිරීම මෙහිදී ඉතා වැදගත් ය.
තරගාවලියේ දෙවන දිනයේ ලකුණු විස්තරය පහත දැක්වේ.
පිරිමි අංශය
ශ්‍රී ලංකා 1 කණ්ඩායම සහ ඉන්දියා 2 කණ්ඩායම
21-12, 21 -8
ශ්‍රී ලංකා 2 කණ්ඩායම සහ ඉන්දියා 1 කණ්ඩායම
21-9, 21-14
ශ්‍රී ලංකා 1 කණ්ඩායම සහ ඉන්දියා 1 කණ්ඩායම
21-13,21-13
ශ්‍රී ලංකා 2 කණ්ඩායම සහ ඉන්දියා 2 කණ්ඩායම
21-9,21-18
ඉරාන 1 කණ්ඩායම සහ කසකස්තාන 2 කණ්ඩායම
21-18,21-16
ඉරාන 2 කණ්ඩායම සහ කසකස්තාන 1 කණ්ඩායම
13 -21,15-21
ඉරාන 1 කණ්ඩායම සහ කසකස්තාන1 කණ්ඩායම
25-23,21-23,18-16
ඉරාන2 කණ්ඩායම සහ කසකස්තාන 2 කණ්ඩායම
14-21,14-21
ඉරාන 1 කණ්ඩායම සහ කසකස්තාන 1කණ්ඩායම (රන් වටය)
15-10

කාන්තා අංශය
ශ්‍රී ලංකා 1 සහ කසකස්තාන 2
20-22,19-21
ශ්‍රී ලංකා 2 සහ කසකස්තාන 1
9-21,14-21
ශ්‍රී ලංකා 1 සහ කසකස්තාන 1
11-21,21-16,19-17
ශ්‍රී ලංකා 2 සහ කසකස්තාන 2
11-21,23-21,12-15




Jan 22, 2012

ලාංකේය පිරිමි වෙරළ වොලිබෝලයේ ප්‍රාර්ථනා කසකස්ථාන් රැල්ලට සේදෙයි




ශ්‍රී ලංකා වෙරළ පිරිමි වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මධ්‍යම ආසියානු කළාප වෙරළ වොලිබෝල් තරගාවලියේ ජයග්‍රාහකයින් වෙමින් ඔලිම්පික් තරගාවලිය නියෝජනය සදහා වන අවසාන තේරීම වන ආසියානු මහද්වීපික තරගාවලිය සදහා සුදුසුකම් ලබනු ඇතැයි තිබූ බලාපොරොත්තු ඊයේ මීගමු වෙරළේ දී වළලා දමන්නට කසකස්ථාන් ක්‍රීඩකයනට හැකි වුණා.


කසකස්ථාන් 1සහ 2 කණ්ඩායම් ඉදිරියේ ශ්‍රී ලංකා 1 සහ 2 වෙරළ වොලිබෝල් කණ්ඩායම් දෙකම පරාජයට පත් වූ අතර ශ්‍රී ලංකා 1 කණ්ඩායම වෙනුවෙන් මහේෂ් පෙරේරාත් 2 කණ්ඩායම වෙනුවෙන් පුබුදු ඒකනායකත් දැක් වූ ශක්තිවන්ත සහ ධෛර්‍යවන්ත ක්‍රීඩා විලාශයට ඔවුන්ගේ සගයන් වූ වසන්ත රත්නපාලගෙන් සහ සම්පත් පීරිස්ගෙන් බලාපොරොත්තු සහයක් නොලැබිණ.කෙසේ නමුත් අද ඉන්දියාව සමග තෙවන ස්ථාන වෙනුවෙන් පැවත්වෙන තරග ජයගෙන ආසියානු මහද්විපික තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයනට ඉඩ-කඩ විවෘතව ඇත.


කාන්තා අංශයේ දී ශ්‍රී ලංකා 1 සහ 2 කණ්ඩායම් වල ප්‍රතිවාදිනියන් වූයේ මාල දිවයිනය.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වැඩි වෙහෙසකින් තොරව මාල දිවයින් ක්‍රීඩිකාවන් පරාජය කරමින් අද පැවත්වෙන අවසාන තරග වලදී කසකස්තාන් ක්‍රීඩිකාවන් මුණ ගැසෙන්නට සුදුසුකම් ලබා ගත්හ.එහිදී ශ්‍රී ලංකා 1 කණ්ඩායම නියෝජනය කරමින් තක්ෂිලා නෙරංජලී සහ ගීතිකා ගුණවර්ධනත් අංක 2 කණ්ඩායම වෙනුවෙන් සාගරී ගුණසිංහ සහ නිරෝෂා ගුනසිංහත් තරග වැදුණා.


ප්‍රථම දිනයේ ලකුණු සටහන
ශ්‍රී ලංකා කාන්තා 1 සහ මාල දිවයින කාන්තා 2  

21/9, 21/5
ශ්‍රී ලංකා කාන්තා 2 සහ මාල දිවයින කාන්තා 1

21/2, 21/3 
ශ්‍රී ලංකා කාන්තා 1 සහ මාල දිවයින කාන්තා 1

21/9,  21/11
ශ්‍රී ලංකා කාන්තා 2 සහ මාල දිවයින කාන්තා 2  

21/7, 21/7
කසකස්තාන් කාන්තා1 සහ ඉන්දියා කාන්තා 2

21/6, 21/7
කසකස්තාන් කාන්තා 2 සහ ඉන්දියා කාන්තා 1

21/14, 21/8
කසකස්තාන් කාන්තා1 සහ ඉන්දියා කාන්තා 1

21/7, 21/8
කසකස්තාන් කාන්තා 2 සහ ඉන්දියා කාන්තා 2
21/10, 21/8

ශ්‍රී ලංකා පිරිමි 1 සහ කසකස්තාන් පිරිමි 2
17/21, 17/21

ශ්‍රී ලංකා පිරිමි 2 සහ කසකස්තාන් පිරිමි 1
9/21, 9/21

ශ්‍රී ලංකා පිරිමි 2 සහ කසකස්තාන් පිරිමි 2
15/21,21/19,15/13

ශ්‍රී ලංකා පිරිමි 1 සහ කසකස්තාන් පිරිමි 1
11/21, 16/21

ඉරාන 1 පිරිමි සහ ඉන්දියා 2 පිරිමි
21/7, 21/11

ඉරාන 2 පිරිමි සහ ඉන්දියා 1පිරිමි
21/11, 21/13

ඉරාන 1 පිරිමි සහ ඉන්දියා 1 පිරිමි
21/16, 21/8

ඉරාන 2 පිරිමි සහ ඉන්දියා 2 පිරිමි
21/14,21/13


www.supirikrida.com