www.supirikrida.com
Jan 16, 2012
පළමු ශීත සෘතු ඔලිම්පික් උළෙලේ විශේෂ අවස්ථා
මේ දිනවල ඔස්ට්‍රියාවේ ඉන්ස්බ්‍රක් හි ප්‍රථම ශිත සෘතු යොවුන් ඔලිම්පික්
උළෙල පැවත්වෙනවා. ඉකුත් 13 දා ඇරඹි මෙම ක්‍රීඩා උළෙල එළැඹෙන 22 දා අවසන් වීමට
නියමිතයි.ක්‍රීඩා ඉසව් 12 ක් ක්‍රියාත්මක වන එම ක්‍රීඩා උළෙල ආශ්‍රිත ඡායාරූප
පෙළක් මේ සමග පළවන අතර ඒ පිළිබද වැඩි තොරතුරු ලබා ගැනීමට http://www.innsbruck2012.com නම් වූ මෙම වෙබ් සබදතාවයට
පිවිසීමෙන් ඔබට හැකියාව ඇත.
ඉන්දියාවත් අසරණ වෙයි
ශ්‍රී ලංකාව මේ වන විට දකුණු අප්‍රිකාවේදී මුහුණ දී සිටින ඉරණමටත් වඩා අසරණ
තත්ත්වයකට ඕස්ට්‍රේලියාවේ දී පත්ව සිටින ඉන්දියාව ටෙස්ට් තරග හතරකින් යුත් ඕස්ට්‍රේලියාව
සමග වන ටෙස්ට් තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය නිමාවන විටම තරග 3- 0 ක පරාජයක් අත් කර
ගෙන සිටියි.පර්ත් හී පැවති තෙවන ටෙස්ට් තරගයේ දී ඉණිමක හා ලකුණ 37 ක පරාජයක් අත්
කර ගත් ඉන්දියාව සතු ප්‍රබල පිතිකරු නාමාවලියට ඉණිම දෙකේ දී කිසි විටකත් ලකුණු 200
සීමාවට පැමිණීමට නොහැකිවීම කණගාටුදායක තත්ත්වයක් විය.
පසුගිය කාලයේ යම් පසුබැස්මක් පෙන්වමින් සිටි ඕස්ට්‍රේලියාව සිය ප්‍රවින ක්‍රීඩකයන්
කිහිප දෙනෙකු එකවර සමුගැනීමෙන් ඇති වූ හිස් බව මේ වන විට සැහෙන දුරට පියවා ගෙන ඇති
අතර අත්දැකීම් හරහා එම හිස්තැන් පිරවීමට කැද වූ ක්‍රීඩකයෝ මේ වන විට නිවැරදි
ස්ථාවරයකට පැමිණ සිටින බවක් දැකිය හැකිය.තෙවන ටෙස්ට් තරගයේ දී වාර්තා වූ සමස්ත
ලකුණු ප්‍රමාණය 701 වූ අතර ඉණිම දෙකටම ඉන්දියාව ලබා ගත් ලකුණු ප්‍රමාණය 332 ක් (161
සහ 171) පමණක් වූ අතර එය ඉන්දිය පිතිකරුවන්ගේ දුර්වල කමක් තරමටම පන්දු යවන්නන්ට හිතකර වූ පර්ත් තණතිල්ලේ ඕස්ට්‍රේලියාවේ බෙන් හිල්ෆෙන්හෝස්
සහ පීටර් සීඩ්ල් ගේ පන්දු යැවීමේ විශිෂ්ඨත්වය විසින් ඉන්දිය පිතිකරුවන යටත් කර
ගැනිමක් ලෙස ද දැක්විය හැකිය.
ලකුණු විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකිය. http://www.espncricinfo.com/australia-v-india-2011/engine/match/518952.html
ජගත් මලල ක්‍රීඩා තරු දිලෙන ඩයමන්ඩ් ලීග් තරග කාල සටහන එළි දැක්වේ
ජගත් මලල ක්‍රීඩා පිටියේ සිටින සුපිරිතම ජවන හා පිටිය ක්‍රීඩකයින් තරග වදින
සැම්සුන්ග් ඩයමන්ඩ් මලල ක්‍රීඩා තරගාවලිය ආශ්‍රිත තරග කාල සටහන ජගත මලල ක්‍රීඩා
සම්මේලනය විසින් නිකුත් කර ඇත.මැයි 11 දා කටාර් දේශයේ දෝහා වලින් ඇරඹෙන මෙම ලීග්
තරගාවලිය සැප්තැම්බර් 7 දා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරින් අවසන් විමට නියමිතය.කටාරයෙන්
ඇරඹී බ්‍රසල්ස් දක්වා වන තාලය අතර තුර මෙම ලීග් තරගාවලිය යටතේ සංවිධානය වීමට
නියමිත ලීග් තරග ප්‍රමාණය 14 කි.පහත දැක්වෙන්නේ එම තරගාවලි සහ තරග පැවත්වෙන දින
පිළිබද තොරතුරුය.
මැයි 7 - කටාර් හී දෝහා
මැයි 19 -චීනයේ සැන්ග්හායි
මැයි 31 -ඉතාලියේ රෝමය
ජූනි 2-ඇමෙරිකාවේ ඉයුජින්
ජූනි 7 -නෝර්වේ හී ඔස්ලෝ
ජූනි 9 -ඇමෙරිකාවේ නිව්යෝක්
ජූලි 6 -ප්‍රංශයේ පැරිස්
ජූලි 13/ 14 -බ්‍රිතාන්‍යයේ ලන්ඩන්
ජූලි 20 -මොනැකො
අගෝස්තු 17 -ස්වීඩනයේ ස්ටොක්හෝම්
අගෝස්තු 23 ස්විට්සර්ලන්තයේ ලොසන්නෙ
අගෝස්තු 26 -බ්‍රිතාන්‍යයේ බර්මින්ග්හැම්
අගෝස්තු 30 -ස්විට්සර්ලන්තයේ සූරිච්
සැප්තැම්බර් 7 -බෙල්ජියමේ බ්‍රසල්ස්
Jan 15, 2012
සන්නාලියන්ගේ ශක්තිය ඉදිරියේ ත්‍රිවිධ හමුදාව පසුබසී
ජයග්‍රාහී MAS පවුල
මෙවර ජාතික බොක්සිං සූරතාවලියේ දී ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ
හමුදා බොක්සිං ක්‍රීඩකයන්ගෙන් එල්ල වූ අභියෝග මැඩ පවත්වා පිරිමි සහ කාන්තා බොක්සිං
සූරතා ද්විත්වයම ජගත් ඇගළුම් කර්මාන්ත කේෂ්ත්‍රයේ කීර්තිමත් නමක් ඇති MAS පුවුලේ ආයතන හරහා ක්‍රියාත්මක වන ස්ලිම්ලයින් බොක්සිං සමාජය
සහ MAS සදර්න් බොක්සිං සමාජය විසින් දිනා ගන්නා ලදී.අවසාන තරග වලදි ශ්‍රී ලංකා
යුධ හමුදාව ප්‍රබල සටනක් ලබා දුන්න ද,අවසාන තරග සදහා වැඩි ක්‍රීඩක ප්‍රමාණයක් තේරී
පත්ව සිටීමේ වාසිදායක තත්ත්වය නිසා ස්ලිම්ලයින්ක්‍රීඩා සමාජය පිරිමි සූරතාවය සදහා
පහසුවෙන් හිමිකම් කියූ අතර කාන්තා අංශයේදී ද යුධ හමුදාවෙන් යම් තර්ජනයක් එල්ල වන
බවක් පෙණුනද වැඩි ප්‍රමාණයක් අවසාන තරග වල දී මාස් සදර්න් ඒ සහ බී ක්‍රීඩිකාවන්
තරග වැදීමේ තත්ත්වයක් දක්නට ලැබුණු අතර මේ වාසිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්
මාස් සදර්න් ඒ ක්‍රීඩිකාවෝ ඉතා පහසුවෙන් සූරතාවය අත්පත් කර ගත්හ.
දක්ෂතම ක්‍රීඩිකාව නිල්මිණි (නිල්)දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව සුමුදු (රතු)
පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ
ටීඩීඑන්ටී ජයකොඩි ගෞරවයට පාත්‍ර වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගෞරවය දිනා ගත්තේ
මාස් සදර්න් ක්‍රීඩා සමාජය නියෝජනය කළ නිල්මිණි ජයසිංහ ය.දක්ෂතම පරාජිතයන් ලෙස පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ සිසිර කුමාරසිංහත්, කාන්තා
අංශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ පීකේ සුමුදුත් ගෞරවයට පාත්‍ර
වූහ.ආසියානු බොක්සිං සූරතාවලිය සදහා තේරීම් තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම
තරගාවලියේ දී කාන්තා අංශයේ දී ඔලිම්පික් බර පංති දෙක ලෙස සැළකෙන කිග්‍රෑ.51 බර
පංතියෙන් තරග වැදි අනූෂා කොඩිතුවක්කු සහ කිග්‍රෑ 60 බර පංතියෙන් තරග වැදි නිල්මිණි
ජයසිංහ ට ප්‍රමුඛතාවය හිමිවනු ඇතැයි විශ්වාසය පළවිය.2011 වසරේ කැපී පෙණුනම බොක්සිං
ක්‍රීඩකයා වීමේ ගෞරවය ස්ල්ම්ලයින් ක්‍රීඩා සමාජයේ සුරේෂ් පට්ටියආරච්චි දිනා
ගනිද්දී වසරේ හොදම බොක්සිං ක්‍රීඩා සමාජය වීමේ ගෞරවය දිනා ගන්නට ශ්‍රී ලංකා යුධ
හමුදාවට හැකි විය.
වසරේ හොදම බොක්සිං කණ්ඩායම - ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම
තරගාවලියේ අවසාන තරග සදහා පිවිසි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සළකා බලද්දී ක්‍රීඩාව
පාසල් මට්ටමේ දී හැදෑරු පිරිස අඩු මට්ටමක පැවතිම පැහැදිළිව දකින්නට ලැබිණ.ඒ හේතුව
නිසා ක්‍රීඩා රටාවේ මූලික හර පද්ධතීන් ප්‍රගුණ කිරීම පසෙක ලා ආරම්භයේ දීම ක්‍රීඩාවට
තරගකාරී මට්ටමෙන් ඇතුළුවන පිරිස තුළ ආකර්ශණිය බොක්සිං ලක්ෂණ හිගවීම කණගාටුදායක
තත්ත්වයක් ලෙස දැකිය හැකිය.මේ තත්ත්වය වෙනස් කිරීමට ක්‍රීඩක හැකියාව පාසල්
මට්ටමෙන් හදුනා ගැනිමට වැඩ පිළිවෙලක් අවශ්‍යය වන අතර ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට
පියවර ගත යුතුය.දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමට තරම් ශක්තියක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්
සිටියද ඒවා කෙතරම් දුරට බොක්සිං යටතට ගත හැකිද යන සැකය ඇති වන අතර නිරන්තරයෙන් තරග
අතරතුර නීත්‍යාණුකූල නොවන බවට අවවාද වලට ලක්විම මෙන්ම ඇතැම්විට නීත්‍යාණුකූල නොවන
ආකාරයෙන් ක්‍රීඩා කිරීම හේතුකොට ගෙන තරග නැවත්වීමට සිදු වීම ද රටේ බොක්සිං ක්‍රීඩාවට
යහපත් තත්ත්වයක් නොවන බව කිව යුතුය.
වසරේ දක්ෂතම ක්‍රීඩකයා පීඩී සුරේෂ්
බොක්සිං විනිශ්චය මෙම තරගාවලියේ දි ගැටළුකාරි තත්ත්වයන් කරා යාම අඩුවෙන්
සිදුවීම යහපත් තත්ත්වයක් ලෙස දැකිය හැකි අතර නමුත් ඇතැම් පැති විනිසුරු තීරණ අතර
දැඩි වෙනස්කම් පළවීම යහපත් ලක්ෂණයක් නොවීය.ඒ නිසා ඉදිරියේ දී එම තීරණවල විවෘතභාවය
සුරකිමින් එම ලකුණු ලබාදීම් විවර කරන්නේනම් එය ක්‍රීඩාවේ සහ දක්ෂක්‍රීඩකයාට කරන
ආශිර්වාදයක් වනු ඇත.

පීජී චන්ද්‍රිනා (රතු) සහ අනූෂා කොඩිතුවක්කු (නිල්)
මෙවර තරගාවලියේ දී ගන්ධාරා ක්‍රීඩා සමාජය අවසන් තරග දෙකකට පිවිසීම කැපී
පෙණුන අතර පොලිස් ක්‍රීඩා සමාජය තුළින් දැඩි පසුබැස්මක් දක්නට ලැබිණ.පසුගිය කාල
සමයේ කැපී පෙණුන දක්ෂතා දැක් වූ පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්
අතරින් තරගාවලි ගණනාවක දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව වෙමින් ජාත්‍යන්තර තරග සදහා පවා
සහභාගි වූ ඩබ්ඒඑස් ශාන්තිකා වැනි ක්‍රිඩිකාවක් තරගයකින් තොරව මූලික වටයේදීම එම බර
පංතියේ ජයග්‍රාහිකාව වූ විදුශිකා ප්‍රභාදි ට තරගකාරී ක්‍රීඩා රටාවකින් තොරව පරාජය
විම කැපී පෙණින.
සිය බර පංතිය පරාජය වුව ද දැඩි තරගකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ කිග්‍රෑ
48 බර පංතියෙන් තරග කළ කේඑච්ඊජී ද සිල්වා ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් ක්‍රීඩිකාවක්
විය හැකි ලක්ෂණ පෙන්නුම් කළේය.තරගයේ අවසානය දක්වාම එකම රිද්මයකින් ක්‍රීඩා කිරීමට
හැකි මානසික ඒකාග්‍රතාවයකින් මෙන්ම ශරීර ශක්තියකින් ද යක්ත බව ප්‍රදර්ශනය කළ ඇය එම
බර පංතියේ ජාත්‍යන්තර තරගකාරියන් හා සම උසකින් යුතු වීම මෙන්ම නිවැරදි ක්‍රීඩා
රටාවක නියැලිම ද ගත් විට බලධාරීන් අවධානය යොමු කර සුරුකිය යුතු ක්‍රීඩිකාවක් ලෙස
කිව හැකිය.
85 වන වරට සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති ජාතික බොක්සිං සූරතාවලියේ සමාප්ත
සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වත්මන් කියුබාව නිර්මාණය කිරීමට අප්‍රමාණ කැපවීමක්
කරන ලද පිදෙල් කැස්ත්‍රෝ ගේ මෙන්ම අර්නස්ටෝ චේ ගුවේරාගේ ද නමට සම්බන්ධකම් දක්වන
වත්මන් ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිණිය වන නිර්සියා කැස්ත්‍රෝ චේගුවේරා එක් වූවා
ය.විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූයේ නාවික හමුදා කපිතාන් යෝෂිත රාජපක්ෂ ය.
ඩුමිනි, චන්දිමාල් ගේ වෙහෙස නිශ්පල කරයි
දිනේෂ් චන්දිමාල්
ප්‍රථම තරගයේ දී දැවැන්ත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම
පිතිකරුවන් තිදෙනා කුමාර සංගක්කාර (03),මහේල ජයවර්ධන(19) සහ ටීඑම් ඩිල්ෂාන්(00) අසාර්ථක
වෙද්දී උපුල් තරංග ගේ (66) සහයත් සමග ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 236 දක්වා
කැදවන් එමින් සටන්කාමීත්වය උපරිමයෙන් ප්‍රදර්ශනය කළ දිනේෂ් චන්දමාල් ලකුණු 92 ක්
නොදැවී රැස් කළද,ජීන් පෝල් ඩුමිනි විසින් ක්‍රියාත්මක කළ සටන්කාමී පිළිතුරු ඉණමේ
දී නොදැවී ලබා ගත් ලකුණු 66 නිසා දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක් ලබා ගන්නට හැකි
විය.තරගයේ වීරයා ලෙස ද ඩුමිනි සම්මානයට පාත්‍ර වූ අතර තරගාවලිය 2 – 0 ක් ලෙස දකුණු
අප්‍රිකාවට වඩාත් වාසිදායක සථාවරයක රදවා තබන්නට ද සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පන්දුවට
පහරදීමට පිවිසිය ද නායක ඩිල්ෂාන් ලකුණු කිසිවක් රැස් කරන්නට පෙරාතුව දුවද්දි දැවී
ගිය අතර 10 වන ඕවරය ක්‍රියාත්මක වන විට ලකුණු පූවරුව 21 ට සීමා වී තිබූ අතර එම
ලකුණු ප්‍රමාණය සටහන් වද්දීම කුමාර සංගක්කාරගේ කඩුල්ලද ශ්‍රී ලංකාවට අහිමි විය.අනතුරුව
පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් උපුල් තරංග සමග එක්ව තෙවන කඩුල්ලට ලකුණු 84 ක්
සබදතාවයක් එක් කළේය.
නමුත් ආරම්භයේ ලැබූ මන්දගාමීත්වයෙන් ගැලවීමට නොහැකිව සිටි ශ්‍රී ලංකාව
වෙනුවෙන් පන්දු 13 කින් හයේ පහර 2 සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක් ලැබූ නුවන්
කුලසේකර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු වේගය ප්‍රථම වරට ලකුණු 4 සීමාවට කැදවා ඒමට සමත්
විය.අනතුරුව පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු 29 කින් ලකුණු 28 ක් ලබා ගත් අතර
චන්දමාල් පන්දු 115 කින් ලකුණු 92 ක් රැස් කරේ හතරේ පහර 6 ක් පමණක් එල්ල කරමින්
ය.ඒ නිසා චන්දිමාල් ගේ ඉණිම කෙටි ලකුණු වලින් පිරුනු වෙහෙසකාරී සහ සටන්කාමි ප්‍රශස්ත
ඉණිමක් විය.
පිළිතුරු ඉණිම සදහා ක්‍රීඩා පිටියට පිවිසි දකුණු අප්‍රිකාව වෙනුවෙන්
සැනසිලි සහගත ආරම්භයක් ලබා දුන් හසීම් අම්ලා සහ ග්‍රෙහැම් ස්මිත් ප්‍රථම කඩුල්ල
වෙනුවෙන් ලකුණු 76 ක සබදතාවයක් පැවත්වූයේ පන්දු ඕවර් 16.3 ක් තුළ ය.එම වාසිදායක
තත්ත්වය දිගින් දිගටම රදවා ගැනීමට පසුපසින් පැමිණි පිතිකරුවන් උත්සාහ කළ අතර ප්‍රථම
තරගයේ දී ශතකයක් ලැබූ අම්ලා ලකුණු 55 ට දැවී යාමෙන් පසුව වගකීම සියතට ගත් ඩුමිනි පන්දු ඔවර 26 ක් පුරා
කඩුල්ල රැක ගනිමින් පන්දු 87 ක් තුළ ලකුණු 66 ක් ලබමින් තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකාව
වෙත ලබා දීමට පියවර ගත්තේය.
කෙතරම් අසාර්ථක වුව ද කණ්ඩායමේ රැදී සිටීමේ අපූරු භාග්‍යයක් හිමි දිල්හාර
ප්‍රනාන්දු මෙම තරගයේ දී ඉවත් කිරීමේ බුද්ධිය තේරීමේ බලධාරීන්ට පෑදි තිබූ අතර එහි
ප්‍රතිපලයක් ලෙස කණ්ඩායමට පැමිණි ධම්මික ප්‍රසාද් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම
පන්දු යවන්නා වූ අතර ඔහු ලකුණු 46 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514036.html සබදතාවය තෙරපීමෙන් තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසීමට
හැකියාව ඇත.
විලී ,නිලූකට වැට බදියි
විලී ලෑන්ග්
අර්ධ අවසන් පූර්ව තරගයේ දී පැය 1:17 ක කාලයක් දියත් වූ සටනින් පසුව ඊශ්‍රයාලයේ
මීසා සිල්බර්මන් පැරද වූ නිලූක කරුණාරත්නට, එම වෙහෙසත් සමග මුහුණ දුන් අවසන් පූර්ව
තරගයේ දී ලොව 42 වැන්නා ලෙස ජගත් ශ්‍රේණිගත කිරීම් වල පසුවන පින්ලන්තයේ විලි
ලෑන්ග් අතින් ලද පරාජය නිසා එස්තෝනියාවේ පැවත්වෙන යොනෙක්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන්
සූරතාවලියේ අවසන් තරගයට පිවිසීමට තිබූ බලාපොරොත්තු අතහැර දමන්නට සිදුවිය.
මීසා සහ නිලූක අතර පැවති තරගයෙදී නිලූක වට 2-1 ක් ලෙස ජයගත් අතර මෙම
තරගාවලියේ මෙතෙක් පැවති තරග අතරින් වැඩිම කාලයක් වැය වූ තරගය එය විය.මීසා ප්‍රථම
වටය ලකුණු 21 -17 ක් ලෙස ජයගත් අතර නිලූක ඉතිරි වට දෙක ලකුණු 21-19 සහ ලකුණු 21-11
ක් ලෙස ජය ගත්තේය.විනාඩි 39 ක් ගත වූ විලි ලෑන්ග් අතර පැවති තරගයේ දී නිලූක පරායට
පත් වූයේ 7 – 21 සහ 11 – 21 ලෙස ය.වර්ථමානයේ ලොව 42 වන ස්ථානයේ පසුවන විලී ලෑන්ග්
මීට පෙර 32 වන ස්ථානයේ පසු වී ඇති අතර මෙම තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් අතර අංක
1 ට සිටි ක්‍රීඩකයාද වන්නේය.
අද විලි හා අවසාන තරගයට තරග වදින්නේ තරගාවලියේ සත්කාරකත්වය දරන එස්තෝනියාව
නියෝජනය කරන රාවුල් මස්ට් ය.
නිලූක කෙසේ හෝ මෙම තරගාවලියේ අවසාන පූර්ව තරගයට පිවිසීම හේතුකර ගෙන ජගත් ශ්‍රේණිගත කිරීම් වල තව දුරටත් ඉදිරියට එනු ඇත.මෙම තරගාවලියට මැක්ලරන්ස් ආයතනයෙන් එහි වෙළද තානාපති ලෙස කටයුතු කරන නිලූකට ලැබෙන අනුග්‍රාකත්වයේ ශක්තිය හැරෙන්නට කිසිදු සහයක් ලැබෙන බවක් දක්නට නැත.පුහුණුකරුවෙක් භෞත චිකිත්සකයෙක් හො වෙනත් කිසිවෙක් නැතිව මෙම ජාත්‍යන්තර තරගවලට හුදෙකලාව සහභාගි වන එකම ක්‍රීඩකයා වන නිලූක රට වෙනුවෙන් ඔලිම්පික් නියෝජනයට සුදුසුකම් ලබා ගැනීමට දරන මෙම වෑයමට රටේ ක්‍රීඩාව බාර බලධාරීත්වයෙන් මීට වඩා සහයක් ලැබෙන්නේ නම් නිලූකට මීට වඩා ජාත්‍යන්තර කීර්තියක් ශ්‍රී ලංකාවට අත්කර දීමේ හැකියාවක් ඇති බව පැහැදිළිය.
ජාත්‍යන්තර තරගාවලියකට හුදෙකලාව සහභාගි වී රටට කීර්තියක් දිනා දෙමින් ආපසු මව්බිමට පැමිණෙද්දී ඔහු පිළිගැනීමට ගුවන් තොටුපළට යාමට වඩා කාර්යයක් එම ක්‍රීඩාවේ පරිපාලනයට තිබෙන බව සුපිරික්‍රීඩා මතක් කර දෙනු කැමැත්තෙමු.අවම වශයෙන් තරගාවලියට සහභාගි වන ඔහු වෙනුවෙන් භෞත චිකිත්සකයෙකු හෝ ලබා දීමට ඔවුන් පියවර ගත යුතු බව අපි විශ්වාස කරන අතර එස්තෝනියා තරගයේ දී පැය 1:17 ක තරගයකින් පසුව පැය තුනක් ඇතුළත ඊ ළග තරගයට සූදානම් කිරීමට එවැනි වට පිටාවක අවශ්‍යයතාවය පරිපාලනයේ ක්‍රීඩා කළ අයෙකු සිටින්නේ නම් අමුතුවෙන් පැහැදිළි කර දිය යුතු නැත.
එවැනි තත්ත්වයක නිලූක අවසාන පූර්ව තරගයද විනාඩි 39 ක කාලයක් පවත්වා ගෙන යමින් දස්කම් දැක්වීම වඩාත් අගය කළ යුතු වන්නේය.
Subscribe to:
Posts (Atom)














