Jun 12, 2012

කඩුලු පෙරලුණු දවසක්




සියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවන දිනය වූ ඊයේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට හැකි වූ අතර එම පදක්කමත් සමග ශ්‍රී ලංකාවට ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරග ඉතිහාසයක තරගාවලියක හිමි වූ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව දිනා ගැනීමේ ගෞරවය දිනා ගැනීමට හැකි විය.මීට පෙර 1994 රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකක් ලෙස මුළු එකතුව පදක්කම් හතරක් දිනා ගනිමින් ඉතිහාසයට එකතුව සිටි ශ්‍රී ලංකාව මේ වන විට රන් දෙකක් රිදී එකක් සහ ලෝකඩ දෙකක් ලෙස පදක්කම් හතරේ කඩුල්ල පෙරලා දමා ඇත.
ආසියාතික මට්ටමෙන් ජ්‍යෙෂ්ඨ හෝ කණිෂ්ඨ ලෙස ගත් විට පිරිමි මීටර් 110 කඩුලු පැනීමේ තරගයක පදක්කමක් අහිමිව සිටි ශ්‍රී ලංකාවට ඊයේ සුපුන් විරාජ් රන්දෙණිය ප්‍රථම වරට පදක්කමක් දිනා දුන්නේ කණිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස තත්පර 14 ට අඩුවෙන් මීටර් 110 කඩුලු පැන දිවීමේ තරගයක් නිමා කළ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට ද එකතු වෙමින් ය.තත්පර 13.94 ක කාලයකින් එම ඉසව්ව නිමා කළ සුපුන් විරාජ් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයකට පිවිසිය නොහැකි බවට තිබූ මතවාදී කඩුල්ල පෙරළා දැමීමට සමත් විය.
මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ද ජාත්‍යන්තර මට්ටමට ළගා වීමට අපහසු ඉසව්වක් බවට සළකා ශ්‍රී ලංකාවේ පවතින පහසුකම් ද සළකා ‍බොහෝ තරග වලින් ඉවත් කර දැමු ඉසව්වක් වුව ද.එරංගා දුලක්ෂි සහ ඩබ්කේඑල්ඒ නිමාලි විසින් කාන්දු කරන ලද ශක්තිය හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමට පිවිසිය හැකි ඉසව්වක් බවට පෙරැළි ඇත.ඒ බව සහතික කිරීමට එක් වු අලුත්ම නිදසුන බවට පත් වූ චාමිකා ජයමිණි ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා දුන්නේ විනාඩි 10:55:76 ක කාලයක් වාර්තා කරමින් ය.
ඒ නිසා ඊයේ ශ්‍රී ලංකාවට එකතු වූ රන් පදක්කම් දෙකම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට දිනා ගැනීමට, හොද දක්ෂතා දැත්වීමට අපහසු යැයි සැළකූ ඉසව් බව සිහිපත් කළ යුතුය.ඒ ආකාරයෙන් බලන විට ශ්‍රී ලංකාව ඊයේ ලබා ගත් ජයග්‍රහණ ඓතිහාසික ජයග්‍රහණ බව කිසි විටෙක අමතක නොකළ යුතුය.ඒ අමතක නොකරන අතරේම එම ඉසව් වලින් මතුවන අලුත් ප්‍රවනතාවය සහ දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ගේ ප්‍රවීනත්වය ද සුරක්සිත කිරීමට,වර්ධනය කිරීමට අවශ්‍යය නිසි පියවර ගැනීමට බලධාරීන් සිහි තබා ගත යුතුය.

No comments: