Sep 21, 2013

කාලිංගගේ කිරි හැලියට ගොම වැටේ

ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය වසර ගණනක සිට ගිය ගමනේ තිබූ පක්ෂග්‍රාහී බව හේතුවෙන් ලාංකේය බේස්බෝලය කඩා වැටෙමින් තිබූ මොහොතක ඊට එරෙහිව කෙටිකාලීන සහ දීර්ඝකාලීන වැඩ පිළිවෙළක්ද සමග ඊට අභියෝග කරන්නට පිරිසක් ඉදිරිපත් විය.නිලවරණයකට පෙරාතුව වැඩ පිළිවෙළක් සහ සැළසුමක් මාධ්‍යයට ඉදිරිපත් කරමින් ඔවුන් අළුත් සම්ප්‍රදායක් ලාංකේය ක්‍රීඩා නිලවරණ කලාවට හදුන්වා දුන් අතර නමුත් හිටපු පරිපාලනය ඊට මුහුණ දීමට නීති අංශයේ ප්‍රමුඛතමයෙකු වන කාලිංග ඉන්ද්‍රතිස්ස මූලික කර ගෙන නිලවරණයට පිවිසියේය.එහි තිබූ අතැම් දෝෂ සහිත තත්ත්වයන් පෙන්වා දුන්නද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද,එහි නීතිමය තත්ත්වයන් වෙනුවෙන් පෙනී සිටි ඇතැම් නීතිවේදීන් කාලිංග වැනි නීතිඥයන් ඉදිරියේ එහි නීතිමය තත්ත්වයන් ගැන කතා කරන්නට දැක් වූ බියගුළු ස්වභාවය නිසාද කාලිංග ව අභිබවා යමින් ඔහුට අභියෝග කිරීමේ උත්සාහය පසු පසට ඇදිණ.
නමුත් කාලිංග බලයත් සමග තමා පය තැබූ අඩවියේ අලුත් වෙනසක් ඇති කිරීමට පියවර ගත් අතර අද වන විට එම ගමන යහපත් දිශාන්තියක් කරා රැගෙන යාමට කාර්ය බහුල ඇතැම් නිලධාරීන්ට සහය වීම පිණිස සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පිරිස් ද යොදවමින් සිටින බව කේෂ්ත්‍රයේ බොහෝ දෙනා අතර නොරහසකි.
එහි ප්‍රතිපලයක් ලෙස ක්ලැසික් බේස්බෝල් තරගාවලිය හදුන්වා දෙමින් ලංකාවේ ප්‍රබලතම බේස්බෝල් ක්‍රීඩකයන් අතර වන තරගාවලියකට මග පෑදීමට අවශ්‍යය අනුග්‍රාහක ආශිර්වාදය දිනා ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනයට හැකි විය.මේ සත්කාර්යය කරළියට ගෙන ඒමේදී ක්‍රීඩකයන් තේරීමේ තාක්ෂණික කාර්යයේ සිට පිළුණු වූ ගද දැනෙන්නට පටන් ගත් අතර එම වගකීම පැවරුණු පුද්ගලයන් සිය කිළිටි අත් වලින් එම කාර්යයේ පිරිසිදු බව කෙළෙසමින් වටිනා ක්‍රීඩකයන් කපා දමන්නට සිදු විය.
එසේම කාලයක් තිස්සේ එකම විනිසුරු කණ්ඩායමක් තරග සදහා යෙදවීම කේෂ්ත්‍රයේ දකින්නට තිබෙන දෙයක් වන අතර මේ නිසා ඇතිවන කාර්ය බහුලත්වය මානසික ඒකාග්‍රතාවය කෙරෙහි බලපාන බැවින්ද එම වැරදි සිදුවන බවක් පෙනෙන්නට ඇත.එම පත් කිරීම් නිල වශයෙන් බේස්බෝල් පරිපාලනයේ විනිසුරු අධ්‍යක්ෂවරයාට හිමි විය යුතු අතර ඔහු තවත් සුදුසුකම් ඇති පුද්ගලයන් විනසුරු කේෂ්ත්‍රයට හදුන්වා දෙමින් ක්‍රීඩාවේ ව්‍යාප්තිය සිදු කිරීමට කටයුතු කළ යුතු වුව ද,ඔහුගේ උවමනාවට හෝ සංගමයේ වෙනත් අයෙකුගේ හෝ පිරිසකගේ උවමනාව මත එය මෙම තරගාවලියේදී ද සිදු වූයේ නැත.
එහි ප්‍රතිපල මේ මොහොතේ ක්‍රියාත්මක ක්ලැසික් තරගාවලියේදී ඔහුටම පෙරළා විදින්නට සිදු වූ අතර ඔහු විසින් ගත් තීරණයකට අනුව හෝ ඔහු රූකඩයක් ලෙස යොදවා ගෙන පරිපාලනයේ අයෙකු හෝ කිහිප දෙනෙකු විසින් ගත් තීරණයකට අනුව හෝ පත් කළ විනිසුරුවෙකු විසින් ගත් තීරණයකට විරෝධය පා විනිසුරු අධ්‍යක්ෂවරයා විසින් පුහුණුකාරත්වය දරන කණ්ඩායමට සිදු වූ අසාධාරණයක් නිසා සිය කණ්ඩායම තරගයෙන් ඉවත් කර ගත්තේය.විනිසුරු තීරණයට එරෙහි වීම සාමාන්‍යයෙන් සිදු නොවිය යුතු වුව ද,විනිසුරු අධ්‍යක්ෂවරයාම එය කළ විට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම පිළිබදව කිසිවක් කළ හැකිද?එසේම මේ කාරණයත් සමග විනිසුරු අධ්‍යක්ෂවරයා කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙස පත් කර ඇත්තේ ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය ය.එයද සිදු නොවිය යුත්තකි.විනිසුරු අධ්‍යක්ෂවරයා කණ්ඩායමක් පුහුණු කරද්දී එම කණ්ඩායමට එරෙහිව විනිසුරු තීරන යම් පක්ෂග්‍රාහී තත්ත්වයක් ගනු ඇතැයි සැකයක් පහළ වීමට ඇති ඉඩ සහ බලපෑමක් වීමට ඇති ඉඩ අධික අතර මේ සිදුවීම ද හැදින්විය හැක්කේ විනිසුරුවරයාට අනියමින් ඔහුගේ විනිසුරු කාර්ය පිළිබදව යම් ආකාරයක බලපෑමක් කිරීම බව අපේ හැගීමය.
දැන් සිදුවීම සිදු වී හමාරය.කාලිංග ඉන්ද්‍රතිස්ස වැනි අත්දැකීම් සහ සමාජ සම්බන්ධතා ඇති අයෙකු ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාව ඉහළ තලයකට ඔසවා තැබීමට සිය භාවිතාවන් නොමසුරුව පරිත්‍යාග කිරීම ක්‍රීඩාව ලද ආශිර්වාදයක් වුව ද,ඇතැම් නිලධාරීන්ට සිය කාර්ය පහසු කිරීම සදහා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය පවා යොදවමින් කරන දායකත්වය ක්‍රීඩකයන් තේරීමේදී සිදුවන අසාධාරණකම් සහ විනිසුරුවන් තේරීමේදී කරන අසාධාරණකම් මැඩිමටද යෙදවීමට කටයුතු නොකළහොත්,කාලිංග දකින සොදුරු සිහිනයට බාධා ඇතිවීම නොවැළක්විය හැකි වනු ඇත.
වෘෂභයන් ගොයමට පොහොර ලෑමට කුඹුරේ  බැද ගියහොත් ඌ ගොම ලෑමට අමතරව ගොයමද කා විනාශ කරන බව සත්‍යයකි.මේ සිදු වීම ද එවැනි දෙයක් වන අතර කාලිංගගේ පිරිසුදු හැගීම කිරි කළයක් වුව අසූචි අත ඇති අයට වගකීම් පැවරුණු විට ඊට ඒවා මුසුවීමට ඇති ඉඩකඩ ද සුළු පටු නොවේය.
www.supirikrida.com

ශ්‍රී ලංකාව පදක්කම් 10 සීමාවට පිවිසෙයි


ළමු ආසියාතික පාසල් මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික අභිප්‍රාය පදක්කම් 10 ් බව පැවසූ අතර එය තරගාවලියේ දෙවන දිනයේදීම සාක්ෂාත් කර ගනිමින් එම ඉලක්කය ඉක්මවා දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.පළමු දිනයේදී පදක්කම් 5 ක් ව පැවති ශ්‍රී ලංකාවේ පදක්කම් සටහනට අද දිනයේදී තවත් පදක්කම් පහක් එක් වූ අතර ඒ අතරට රන් පදක්කමක් එක් කරමින් කණ්ඩායමේ නායකත්වයේ වගකීම ඉටු කළ හලාවත ආනන්ද විද්‍යාලයේ කේඒපී ජයවර්ධන අද දවසේ ශ්‍රී ලංකාව දිනූ රන් පදක්කමේ හිමිකරු බවට පත් වුණා.ඒ මීටර් 41.52 ක දක්ෂතාවයක් පෙන්වමින්.

ශ්‍රී ලංකාව මේ තරගාවලිය ආසන්නයේ දී සොයාගත් මීටර් 400 ඉසව්වේ අනාගත බලාපොරොත්තුව බවට පත් වී සිටින විනුර ලක්මාල් සිය පුරුදු ඉසව්ව වන තුන් පිම්ම ඉසව්වේ දී මීටර් 14.64 ක දක්ෂතාවයක් දක්වමින් තෙවන ස්ථානයට පත් වුණා.එසේම රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙම තරගාවලියට එක් වූ සමිත් ලක්මාල් මීටර් 200 ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත්තේ තත්පර 22.00 ක දක්ෂතාවයක් දක්වමින්.පිරිමි මීටර් 800 ඉසව්වේදී  කැළණිය ගුරුකුල විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ බීඒ සදරුවන් එම ඉසව්වේ ලෝකඩ පදක්කම සදහා තෙවන ස්ථානයට තරගය නිම කළේ 1:55.24 ක කාලයක් වාර්තා කරමින්ය.
අද දවසේ ශ්‍රී ලංකාවේ පදක්කම් පැසට එක් රිදී පදක්කමක් ද එක් වූ අතර එම පදක්කම දිනා දීමට සමත් වූයේ ඒඑම්පීපී අබේරත්නය.ඊයේ පළමු රන් පදක්කම දිනා දුන් සමරවීර මෙන්ම ඇය ද වලල ඒ රත්නායක විද්‍යාලයේ ක්‍රිඩිකාවක්ය.ඇය මීටර් 800 ඉසව්වේ රිදී පදක්කම දිනා දෙමින් එම ඉසව්ව විනාඩි 2:12.12 කින් නිමා කළාය.
අද දවස ගෙවෙන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිව්වන තැන සිටින අතර අද දිනය නිමා වන විට ද පදක්කම් සටහනේ පළමු තැන සත්කාරක මැලේසියාවට හිමි වී ඇත.අදද www.supirikrida.com හී සජීවි ප්‍රතිපල තොරතොරු දැක්වෙන අතර හෙට තරගාවලියේ තරග පැවත්වෙන තෙවන දිනය වන්නේය.ඡායාරූයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත් වූ සමිත් ලක්මාල් ය 

Sep 20, 2013

ලංකාව අන්තිමයා නොවී ගැලවෙයි

තායිලන්තයේ පැවත්වෙන ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ කණ්ඩායම් 16 ක් අතරෙන් 16 වන ස්ථානයට පත් වීමෙන් වැළකීමට මියන්මාරය සමග පැවති සටනින් තියුණු ජයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.ප්‍රථම වටයේ වට 3 - 0 ක් ලෙස මියන්මාරය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරුව ක්‍රමයෙන් තරගයෙන් තරගයට පිරීහීමක් පෙන්වමින් අනපේක්ෂිත ලෙස පරාජයන්ට මුහුණ දුන් අතර ඒ පසු බැසීමේ ගති ලක්ෂණ මියන්මාරයට එරෙහි තරගයේදී ද මැනවින් පැහැදිළි කළ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ ප්‍රථම වටයේදීම ඒ පසු බැසීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මියන්මාරයට අවස්ථාව ලබා දුන් අතර ලකුණු 24 - 26 කින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරාජය අත් කර ගත්හ.
දෙවන වටයේදී ද එම පීඩනය ලිහිල් නොකළ මියන්මාරය ශ්‍රී ලංකාවට කරට කර තරගයක් ලබා දුන් අතර එහි ප්‍රතිපලය සටහන් වූයේ ලකුණු 24 - 26 ක් ලෙස මියන්මාරයට පරාජය අත් වෙමින්ය.තෙවන වට‍යේදී ශ්‍රී ලංකාව ලකුණු 25 - 23 ක් ලෙස පෙරමුණ ගත් අතර සිව්වන වටයේදී එම තත්ත්වය තව දුරටත් වෙනස් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම වටය ජය ගත්තේ ලකුණු 25 - 16 ක් ලෙසය.
කසකස්තානය අතින් වට 3 - 1 ක් ලෙස පරාජයට පත් වූ සත්කාරක තායිලන්තය මෙම තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම බවට පත් වෙමින් අංක එකට ශ්‍රේණිගතව සිටි චීනය පරාජය කරමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.වට පහක් දක්වා දිවුණු එම තරගයෙන් වට 3 - 2 ක් ලෙස ජය ලැබූ තායිලන්තය අවසාන තරගයට සුදුසුකම් ලබමින් සත්කාරකත්වයේ නිසි පල නෙලා ගැනීමට සමත් විය.ජපානය චීනය ඉවත්ව ගිය ද සුපුරුදු පරිදි ආසියාවේ කාන්තා වොලිබෝල් කිරුළට සටන් වැදීමට අවසාන තරගය සදහා සුදුසුකම් ලැබුවේ දකුණු කොරියාව වට 3 - 1 ක් ලෙස පරාජයට පත්කරමින්ය.
චීනයේ පරාජයත් සමග මෙම තරගාවලිය කිසිදු අපරාජිත කණ්ඩායමක් නැති තරගාවලියක් බවට පත් වූ අතර අවසාන තරගයේදී සත්කාරක තායිලන්තය සිය භූමියේ වාසිය වගේම තරගාවලියේ දෙවන වටයේදී ජපානය පරාජය කිරීමේ මානසික ශක්තිය ද සමග හෙට (21) අවසාන තරගයට මුහුණ ‍දීමට සූදානමින් සිටිනනේ ආසියාවේ කාන්තා වොලිබෝලයේ ඉතිහාස කතාව අළුත් කිරීමේ සූදානම ඇතිවය.
www.supirikrida.com

පළමු දවසේම ශ්‍රී ලංකාවට පදක්කම් පහක්

මැලේසියාවේ ක්‍රියාත්මක පළමු ආසියාතික පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේදී පළමු දිනය නිම වන විට ශ්‍රී ලංකාවේ පදක්කම් පැස පදක්කම් පහකින් පුරවා තබන්නට ශ්‍රී ලංක පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.ඩබ්බීඑම් සමරවීර පළමු රන් පදක්කම දිනා ‍දීමෙන් අනතුරුව පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නුවන් කුමාර හෙල්ල වීසි කිරීමේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ මීටර් 51.25 ක දක්ෂතාවයක් දක්වමින්.දුර පැනීමේ බාලිකා ඉසව්වේදී මීටර් 5.63 ක දක්ෂතාවයක් දැක් වූ පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ සාරංගි සිල්වා ද ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙන්නට සමත් වුණා.
උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව තේරීම සදහා පැවති තරගයේදී කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ආර්එම්ආර්කේ රත්නායක තත්පර 12.45 කින් ඉසව්ව නිමා කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වුණා.මෙම තරගයට සහභාගි වූ මාකලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලය නියෝජනය කළ මේධනි වික්‍රමනායක තරගය නිමා කළේ හත් වැනි ස්ථානයට වූ අතර ඇය තත්පර 12.73 ක කාලයක් වාර්තා කළා.රත්නපුර සිවලි මධ්‍ය මහා විද්‍යාලයේ සමිත් ලක්මාල් මිටර් 100 තරගයේදී පස්වන ස්ථානයට පත් වුණේ,තත්පර 10.90 ක කාලයක් වාර්තා කරමින් වූ අතර ශ්‍රී ලංකාවට ඊයේ හිමි වූ අනෙක් ලෝකඩ පදක්කම දිනා දුන්නේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ කේඑම්ඩීපී කුලසූරියයි.
පළමු තරගවලිය බැවින් රටවල් නවයකින් පමණක් තරග කරුවන් ඉදිරිපත් වී සිටින අතර සත්කාරක මැලේසියාවට පසු වැඩිම පිරිසක් සහභාගි කරවා ඇති රට ලෙස සැළකෙන්නේ ශ්‍රී ලංකාවයි.ශ්‍රී ලංකාව 35 දෙනෙකු සහභාගි කරවීමට නියමිත බව නිල ලේඛණ වල සදහන් වුව ද අවසානයේ 32 ක කණ්ඩායමක් සහභාගි කර තිබෙනවා.මැලේසියාව වැඩි සහභාගීත්වයේ ප්‍රතිපල සමගින් දැනට පදක්කම් සටහනේ පළමු තැන සිටින අතර ඉන්දියාව දෙවන ස්ථානයේත්,ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේත් පසු වෙනවා.
අද දෙවන දිනයේ තරග ද එරට වේලාවෙන් පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිත අතර තරග වල ප්‍රතිපල ඉක්මණින් දැන ගැනීම සදහා www.supirikrida.com වෙබ් අඩවියේ පහසුකම් සළසා තිබෙන අතර එහි ඇති තරගාවලිය ආශ්‍රිත තොරතොරු දැන ගැනීමේ බැනරය තෙරපීමෙන් ඉනික්බිතිව තරග ප්‍රතිපල වලට පිවිසීමට හැකියාව තිබෙනවා.
www.supirikreeda.com

ලංකාව අන්තිමයා නොවී සිටින්න අද මියන්මාරය හා සටනක

තායිලන්තයේ පැවත්වෙන ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද මියන්මාරය හා තරග වදින්නේ තරගාවලියේ කණ්ඩායම් 16 අතරින් 16 වන සහ 15 වන ස්ථානය තෝරා ගැනීම සදහා වන තරගයටයි.අද මියන්මාරය සමග තරගයේදී අන්තිමයා නොවී සිටීමේ හැකියාව ලැබෙනු ඇතැයි සිතිය හැකි එකම කාරණය මියන්මාරය පළමු වටයේදී ශ්‍රී ලංකාව වෙතින් වට 3 - 0 කින් පරාජය වී සිටීමයි.ශ්‍රී ලංකාව මේ තරගාවලියේ ලද එකම ජයද එය වන්නේය.
නමුත් ශ්‍රී ලංකාව ඉදිරියේ වට 3 - 0 ක් ලෙස පරාජය ලැබූ මියන්මාරයට  ඉන්දියාව පරාජය වූ අතර ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ පරාජය වූයේ වට 3 - 0 ක් ලෙසය.එ අනුව ශ්‍රී ලංකාව මේ තරගාවලිය තුළ ක්‍රියාත්මක වී ඇති ආකාරය අනුව මියන්මාරය පරාජය කරන තුරු පරාජය කළා යැයි කිව නොහැකි තත්ත්වයක පසු වන අතර දක්ෂතා ස්ථාවර මට්ටමක පවතින්නේද,ක්‍රීඩිකාවන් යෙදවීම මෙන්ම තරග පිටිය තුළ ක්‍රීඩිකාවන්ට නිසි අවස්ථාව හිමි වේද යන්න පිළිබදව තරග වාර්තා බලන විට ඇති වන කුකුස තරගාවලිය නිමා වූ වහාම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තාක්ෂණික කමිටුවක් සිටීනම් වහාම පරික්ෂාවට ලක් විය යුතු දෙයක්ය.
මේ වන විට වොලිබෝල් ක්‍රීඩාව තුළ ද එය පරවේණි උරුමයක් කර ගන්නට සැරසෙන පිරිස් පරිපාලනමය වශයෙන් මෙන්ම වෙනත් වගකීම් දැරීම හරහා ද මතු වෙමින් සිටින අතර ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනෙන ආනන්ද වන්නිතිලක කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පත් වීම නැළක්වීම පිණිස එවැනි පාර්ශව විශාල ව්‍යාපාරයක් ද ගෙන ගියේය.ඊට ප්‍රධාන හේතුව වූයේ ක්‍රීඩක අවධියේදී වන්නිතිලක ශ්‍රී ලංකා කණ්ඩායම සමග කළ සංචාරයකදී අතුරුදහන් වී පළා ගොස් තිබීමය.නමුත් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩාවේ නියැලෙන්නන් හැටියට එසේ පළා ගිය පිරිස් එයින් වැළක්වීම පිණිස කළ යුතුව තිබුණේ,ක්‍රීඩකයාට යහපත් ආර්ථික රටාවක් නිර්මාණය කිරීමය.ඒ පළා ගිය ක්‍රීඩකයන් වොලිබෝල් නිසා සිය දක්ෂතාවයන්ට සාපේක්ෂව යමක් හිමි කර ගෙන සිටියා යැයි කිව නොහැකි අතර සිටියේ හිමි විය යුතු දේ නොලැබය.
විමල් කරුණාතිලක,සමන්සිරි සෙනවිරත්න, ජනරංජන වැනි තවත් නම් මේ ලේඛණයට අදාළ ‍වන අතර ඒ දිගු නාම ලේඛණය සදාකාලිකව වොලිබෝල් කේෂ්ත්‍රයෙන් අකුලා දැමීමට සෑදි තිබූ න්‍යාය පත්‍රය වෙනස් කිරීම සදහා ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ සිටම එවකට ඔහුගේ මාධ්‍ය කටයතු භාරව සිටි සිසිර යාපා ද එකතු කර ගනිමින් කරුණු දැක් වූ පුද්ගලයා ලෙස වන්නිතිලක,සමන්සිරි,විමල් ජනරංජන ඇතුළු පිරිසක් අද ලාංකේය වොලිබෝලයේ නගා සිටුවීම සදහා සිය දායකත්වය සපයමින් සිටීම සතුටට කාරණයකි.
කෙසේ හෝ තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර ලෙස ජපානය,චීනය,දකුණු කොරියාව සහ තායිලන්තය පිවිස සිටින අතර අද පැවත්වෙන තායිලන්තය සහ චීනය අතර තරගයේ තීරණයට අනුව සහ ජපානය සහ දකුණු කොරියාව අතර තරගයේ තීරණයට අනුව හෙට මෙවර ආසියානූ සූරියන් කවරේද යන්න තීරනය කරන තරගයේ කණ්ඩායම් දෙක කවුරුන්ද යන්න තීරණය විමට නියමිතය.
තරගාවලියේ තරග පැවති රටාව නිරීක්ෂණය කිරීමේදී ඉන්දීය පරාජය අඩුම තරමේ අවම කර ගැනීමට හෝ නැතිනම් ජය ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකියාව තිබූ බව සිතිය හැකි අතර පිලීපීනය සමග පැවති තරගය ද එවැනි එකකි.එය වැළක්වී යාම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ මුල් කණ්ඩායම් 12 අතරට පිවිසීමට අවස්ථාව නොලැබුණු අතර අද ඉන්දියාව තරග වදින්නේ පිලීපීනයට 11 වන ස්ථානය හිමි වීම වැළක්වීමටය.එම තරගයේ තීරණය අනුව තරගාවලියේ 12 වන ස්ථානය හිමි වන්නේ ඉන්දියාවට ද,පිලපීනයට ද යන්න තීරණය වන්නට නියමිතය.
www.supirikrida.com

Sep 19, 2013

සමරේගෙන් අමරණිය ජයක් (පළමු ආසියාතික පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේ ඉක්මන් ප්‍රතිපල සදහා (www.supirikrida.com)

ළමු ආසියාතික මලල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම්ලාභියා වෙමින් අමරණීය ජයක් ලබන්නට වලල ඒ රත්නායක විද්‍යාලයේ ඩබ්බීඑම් සමරවීර සමත් වුණා.එම පදක්කම ශ්‍රී ලංකාව මෙම තරගාවලිය ආශ්‍රිතව දිනු පළමු රන් පදක්කම වන අතර ඒ අනුව ආසියාතික පාසල් මලල ක්‍රීඩා සූරතාවලියක ලක්මව රනින් සැරසී පළමු ලාංකේය ක්‍රීඩකයා ලෙස සමරවීර ගේ නම ඉතිහාසියට එකතු වෙනවා.එම තරගයට වලල ඒ රත්නායක විද්‍යාලයෙන්ම ඩබ්එම්එච්එම් වීරසිංහ ද එක් වී සිටි අතර ඔහුට තරගයේ සිව්වන තැනින් සෑහීමට පත් වන්නට සිදු වුණා.
මේ අතර බාලක උස පැනීමේ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ සචින් එරංග මීටර් 2.01 උසක් පනිමින් තරගයේ පස්වන තැනට පත් වූ අතර සිය මූලික උස වූ මීටර් 1.85 හෝ ඉක්මවා යමට හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සීඑම්ජේපී ෆොන්සේකා අසමත් වූණා.
හංවැල්ල රාජසිංහ විද්‍යාලයම නියෝජනය කරමින් බාලිකා හෙල්ල වීසි කිරීමේ තරගයට සහභාගි වූ ඩීඑම්ඩීඒ දිසානායක මීටර් 35.14 ක දක්ෂතාවයක් දක්වමින් සිව්වන ස්ථානය දිනා ගත් අතර,බාලක යගුලිය වීසිකිරීමේ තරගයට සහභාගි වූ මලින්ද මධුශංක මීටර් 13.83 ක දක්ෂතාවයක් දක්වමින් තරගයේ පස්වන ස්ථානයට පත් වුණා.ඔහු වෙන්නප්පුව ශාන්ත රීටා විද්‍යාලයේ ක්‍රීඩකයෙක්.
කාන්තා මීටර් 3000 ඉසව්වේදීද ශ්‍රී ලංකාවට අත් වුණේ සිව්වන ස්ථානයයි.එහිදී කටුගස්තොට රාහුල ජාතික පාසලේ එම්ජීඩීඑස් අමරසූරිය  සිව්වන ස්ථානයට පත් වුණා.මේ අතර මීටර් 100 පිරිම් මූලික තරග දෙකක් පැවති අතර එයින් පළමු තරගයට සහභාගි වූ සමිත් ලක්මාල් එම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා.ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනයට සුදුසුකම් ලැබ සමිත් එම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සිය හොදම පෞද්ගලික කාලයට පැමිණි එකම ක්‍රීඩකයා වූවා.ඔහු රත්නපුර සීවලි මධ්‍ය මා විද්‍යාලය නියෝජනය කරන්නෙකි.ඔහුගේ දක්ෂතාවය මූලික තරගවලදී වාර්තා වූ කාලයන්ට අනුව හොදම කාලයන් පෙළගැස්මේ සිව්වන තැන තිබෙන අතර බොහෝ විට අවසාන තරගයේදි හොද කාලයක් වාර්තා කර පදක්කමකට යාම සදහා සමිත් ට අවකාශ තිබෙනවා.
මේ අතර බාලිකා මීටර් 100 මූලික තරග දෙක සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉදිරිපත් වි සිටින අතර ඒ අතරින් පළමු මූලික තරගය නියෝජනය කළ,කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ආර්එම්ආර්කේ රත්නායක එහි ප්‍රථමයා වූයේ මූලික තරග දෙකම සළකා බලද්දී තෙවන තැන සිටිමින්.දෙවන මූලික තරගය නියෝජනය කළ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ මේධනි වික්‍රමනායක ද එහි තෙවන තැන දිනා ගනිමින් අවසාන තරගයට සුදුසුකම් ලැබුවා.


පළමු ආසියාතික පාසල් මලල ක්‍රීඩා උළෙලේ තරග අද ඇරඹෙනවා

සියාතික පාසල් ක්‍රීඩා කවුන්සිලය විසින් පළමු වරට සංවිධානය කරන්නට යෙදී ඇති පළමු ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ තරග අද පස්වරු 4.00 සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.මැලේසියාවේ පැවත්වෙන  මෙම තරගාවලියේ සමාරම්භය 17 දා උළෙල ආශ්‍රීත ක්‍රීඩා ගම්මානයේ පැවති අතර ඊයේ කණ්ඩායම් කළමණාකරුවන්ගේ හමුවක් පැවත් වුණා.
අද සිට 22 දා දක්වා ක්‍රියාත්මක තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 32 ක් සහභෘගි වීමට නියමිතව තිබෙනවා.ඒ ක්‍රීඩකයන් අවම වශයෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 10 ක් දිනා දෙනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය වී ඇති අතර මිට වඩා බලාපොරොත්තු තැබිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයට මෙම සංචාරය සදහා මුදල් සොයා ගැනීමට හැකි වූවා නම් සහභාගි කරවා ගැනීමේ හැකියාව තිබූ බව පවසන පිරිසක්ද මේ අතර වෙනවා.ක්‍රීඩකයන්ට අතින් මුදල් ගෙවා සංචාරයට සහභාගි වීමට සිදු වූ නිසා මෙම සංචාරයට සහභාගි  වීමේ අවස්ථාව අහිමි වූ දක්ෂයන් පිරිසක් සිටින බව පෙන්වා දෙන එම පිරිස් ඇතැම් නිලධාරීන් සිය ක්‍රීඩකයන්සහය පුහුණුකරුවන් සංචාරයට එක් කිරීමට ප්‍රමුඛතාවය දී කටයුතු කළා විනා සංචාරය සදහා ප්‍රබලතම ක්‍රීඩකයන් සහභාගි කරවීම කෙරෙහි අවධානය යොමු නොකළ බවට චෝදනා කරනවා.
කෙසේ හෝ තරගාවලියට සහභාගි වී තිබෙන සත්කාරක  මැලේසියාව,ඉන්දියාව,චීනය,මැකොවා,තායිලන්තය,බෘනායි,පිලීපීනය,හොංකොං සහ ශ්‍රී ලංකාව අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම දස්කම් දැක්වීමට හැකියාව ලැබෙන්නට සුපිරික්‍රීඩා සුභ පතන අතර තරගාවලියේ  ප්‍රතිපල හැකි ඉක්මණින් වාර්තා කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරනවා.මේ සමග වන ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයේ සමාරම්භයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා ගම්මානයේ දී සැහැල්ලුවෙන් පසු වු අවස්ථාවකි.