Sep 4, 2013

උදය තවත් පැහැබර වෙයි

ටාර් හී පැවත්වෙන ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා බාලක කැඩෙට් කණ්ඩායම කැපී පෙනෙන දස්කම් සමගින් ආසියාවේ අටවන ස්ථානයට කැදවා ගෙන එන්නට කැඩෙට් බාලක කණ්ඩායමට නායකත්වය දුන් උදය රණසිංහ බාලක කැඩෙට් තරග වලදී ද අවසන් 16 දෙනා අතරට පිවීසිමට සමත් විය.ශ්‍රී ලංකාව නැඩෙට් බාලක අංශයේ අවසන් කණ්ඩායම් අට අතර පැවති තරග වලදී චීනය ඉදිරියේ සිය ප්‍රථම පරාජය සටහන් කළේ තරග වට 3 -0 ක් ලෙසය.නමුත් දෙවන තරගයේදී හොංකොං කණ්ඩායමට එරෙහිව ප්‍රබල සටනක නියැලි ශ්‍රී ලංකාව තරග වට 3 - 2කින් පරාජය වූ අතර අටවන ස්ථානය සදහා පහත බසින්නට සිදු වූයේ හත්වන ස්ථානය සහ අටවන ස්ථානය තේරීම සදහා වූ තරගයෙන් කටාරය ඉදිරියේ 3 - 0 ක් ලෙස පරාජය වීම නිසාය.
කේවල කැඩෙට් තරග වල දී දස්කම් පෑ උදය රණසිංහ මූලික වටයේ තමන් අයත් වූ කාණ්ඩයේ තරග වලදී ප්‍රථමයා බවට පත් විය.ඒ චීන තායිපේ හී ලින් -යුන් - ජුන් තරග වට 3 - 2 ට පරාජයට පත් කරමින්ය.අනතුරුව ඉන්දියාවේ ගෝස් අනිර්බාන් තරග වට 3 - 1 ට පරජයට පත් කරමින් අසග්වැසි රටේ සිය සම වයස් සූරයා පරාජයට පත් කරමින් කලාපය හා සසදද්දී අපූරු විප්ලවයක් කිරීමට සමත් වූ අදය තරගාවලිය් අවසන් ක්‍රීඩකයන් 16 දෙනා අතරට එක් විය.අවසන් 16 දෙනා අතර තරගයේදි ජපානයේ අංක එක ක්‍රීඩක ඉසුකෝ ටකුටෝ උදය රණසිංහගේ ප්‍රතිවාදියා වූ අතර ඔහු තරග වට 3 - 2 ක් ලෙස කණ්ඩායම් තරග තුළ දී පරාජය කරන්නට සමත් වී තිබීම නිසා උදය අවසන් 8 දෙනා අතරට එක්වනු ඇතැයි විශ්වාසය පළ වුව ද අවසානයේ අවාසනාවන්ත පරාජයකට මුහුණ දෙමින් උදයට ටකුමෝ ඉදිරියේ තරග වට 0 - 3 ක් ලෙස පසු බසින්නට සිදු විය.
www.supirikrida.com

Sep 3, 2013

ඇද පොළවෙත් නිමාලිගෙන් හොද රැගුමක්

ධාවනයේ ඉහළ ප්‍රතිපල ලබා ගැනීමට හැකි නොවුණු ධාවන පථයක තරග ක්‍රියාත්මක වුව ද,ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේදී කැපී පෙණුන දස්කම් පෑ ඩබ්ලිව් කේඑල්ඒ නිමාලි මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා රන් පදක්කම දිනා ගනිමින් උළෙල ඉතිහාසය ගත් විට වාර්තාගත දස්කමක් පෙන්වමින් විනාඩි 2:06.65 ක කාලයක් වාර්තා කරමින් තරගය නිමා කරමින් දකුණු පළාතට එම ඉසව්වේ රන් පදක්කම දිනා දුන්නාය.හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් නිමාලි මෙන්ම මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම දිනා මීටර් 800 ඉසව්වේදී රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ ගයන්තිකා තුෂාරි ද නිමාලි මෙන්ම සූරියවැව ප්‍රදේශයේ වන අතර මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනූ එරංගා දුලක්ෂි (විනාඩි 1:01.57) මීටර් 800 ඉසව්වේ තෙවැන්නිය වූ අතර නිමාලි ,ගයන්තිකා මෙන්ම එරංගා ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිලෝ මීටර් කිහිපයක පරතරය ඇතිව ජීවත්වන්නන් වීම 2017 යොවුන් ආසියාතික ක්‍රීඩා උළෙල පැවත්වෙන ප්‍රදේශයේ ක්‍රීඩා භූමි යටිතල පහසුකම් වර්ධනය නොපමාව ඉටු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන්නකි.එසේම පිරිමි මීටර් 800 ඉසව්ව ජයගත්(විනාඩි 1:52.47) පීඑච් චමල් ද එම ආසන්නයේම ජීවත් වන්නෙකි.
පළමු දිනයේ දි මෙන්ම ඉහළ දක්ෂතා ඊයේ ද දක්නට නොලැබුණු අතර මංජුල කුමාර උස පැනීමේ කිරුළ රැක ගත්තද එම ක්‍රීඩා පිටියෙන් ලැබෙන සහයෝගයට සාපේක්ෂව ඔහුගේ දක්ෂතා මීටර් 1,18 ට සීමා විණි.43 හැවිරිදි ටී අලෙයිලීමා සිය වයසට වඩා මීටර් 1.44 ක දුරකට කව පෙත්ත වීසි කරමින් අලුත් පරම්පරාව තමත් තමා ආසන්නයේ නොමැති බව පෙන්වා දුන්නේ ජාතික ක්‍රීඩා උළෙල ඉතිහාසයේ එම ඉසව්ව වෙනුවෙන් කර පළදගත් 12 වන රන් පදක්කමට උරුමකම් කියමින්ය.කලක් ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි කෙටි දුර සූරයෙකු වූ ජෝයි ධනුෂ්ක පෙරේරා අද වන විට ශ්‍රී ලංකාවේ යගුලිය වීසි කිරීමේ ඉසව්වට සහභාගි වෙමින් දක්වන දක්ෂතා තව දුරටත් රැක ගන්නට සමත් වූයේ එම ඉසව්වේ රන් පදක්කම නැගනහිර පළාතට හිමි කර දෙමින් මීටර් 14.85 ක දක්ෂතාවයක් ද සමගින් ය.
එන්සීඩී ප්‍රියදර්ශණී මීටර් 5.82 ක දක්ෂතාවයක් පමණක් දැක් වුව ද ඇයට තව දුරටත් කාන්තා දුර පැනීමේ සූරියගේ කිරුළ රැක ගන්නට හැකි වූ අතර ඒ අනුව කාන්තා දුර පැනීමේ රන් පදක්කම බස්නාහිර ට හිමි විය.
මධ්‍යම පළාත නියෝජනය කළ ජානක ප්‍රසාද් විජේසිරි පිරිමි දුර පැනීමේ ඉසව්ව ජය ගත්තේ මීටර් 7.49 ක දුරක් තරණය කරමින්ය.පිරිමි රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම වයඹට හිමි කර දුන් කේකේ බාලසූරිය මීටර් 4.62 ක දස්කමක් පෙන් වූ අතර කාන්තා මීටර් 200 රන් පදක්කම වයඹට දිනා දුන්නේ චන්ද්‍රිකා සුභාෂණී තත්පර 24.44 ක කාලයක් වාර්තා කරමින්ය.එම පිරිමි ඉසව්වේ රන් පදකක්ම මධයම පළාතිට හිමි වූයේ තත්පර 21.65 ක දක්ෂතාවයක් දක්වමින් අසංක පතිරන පෑ දක්ෂතා හේතුවෙන්ය.
නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය අති අලංකාර ලෙස ස්වභාවික පිහිටීමෙන්ම ඔපවත් වූ ක්‍රීඩාංගණයක් වන නමුත් එය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කෘතිම ධාවන පථයකින් තොර වන නිසා එම ක්‍රීඩා පිටිය ජාතික ක්‍රීඩා උළෙලකදී ක්‍රීඩා දස්කම් වලින් ක්‍රීඩාවට ලැබෙන වර්ණවත් ආලෝකය සැපයීමට තරම් උචිත මට්ටමක නොවන අතර එයින් ජාතික ක්‍රීඩා අළෙලේ අබිමානයට අදාළ දක්ෂතා වාර්තා කිරීමට ක්‍රීඩා උළෙල අපොහොසත් වනු ඇති බව අප මුල සිටම පැවසීමු.ඊයේද ඒ සදහා අදහරණ සැපයූ දිනයක් වූ අතර ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනේ ලකුණු 1000 ඉක්මවා යන අවස්ථා වාර්තා වූයේ හතරක් පමණි.මංජුල කුමාර (ලකුණු 1055),ඩබ්ලිව්කේඑල්ඒ නිමාලි (ලකුණු 1038),චන්ද්‍රිකා සුභාෂණී (ලකුණු 1021) සහ ජානක ප්‍රසාද් විජේසිරි (ලකුණු 1019) එම ක්‍රීඩක ක්‍රීඩිකාවෝය.  
www.supirikrida.com

ගුත්තිලට මූසිලගෙන් ප්‍රහාරයක්!

ශ්‍රී ලංකාව ගුරු කොට පාපන්දු දක්ෂතා වර්ධනය කරගත් මාල දිවයින  නේපාලයේ දසරත් ක්‍රීඩංගණයේදී සිය පාපන්දු ගුරුන්ට ගෝල 10 ක සංග්‍රහයක් ලබා දෙමින් 10 - 0 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.ගුරුවරයාගේ භූමියේ පාපන්දුවේ පිරිහීම මෙන්ම ඉතිහාසයේ මාල දිවයිනට හරියට පාඩම් කියා දිය හැකි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවති පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ඨක්වය ද මෙ ජයග්‍රහණය හරහා කියා පාන්නේය.
තරගය විනිශ්චය කළ ඉන්දීය විනිසුරුගේ අතැම් තීරණ යම් බලපෑමක් කළ බව සත්‍ය වුව ද මාල දීවයින ඉදිරිපෙළ ජවයට සාපේක්ෂව ශ්‍රී ලංකාව සිටි මන්දගාමී තත්ත්වය තරගයට ජීවයක් එක් කිරීමට ප්‍රමාණවත් නොවිණ.හුදෙකලා අශ්වයෙකු මෙන් ක්‍රියාත්මක වූ මාල දිවයින ඉදිරියේ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකු ලෙස අතරමං වූ ශ්‍රී ලංකාව සිය කළාපය තුළ විදින්නට ලැබුණු දැවැන්තම පරාජයට මුහුණ දුන්නේය.
සිව්වන විනාඩියේදී ඇරඹි මාල දිවයින ලකුණු යන්ත්‍රය 86 වන විනාඩිය දක්වාම ක්‍රියාත්මක වූ අතර,වාර්තා වූ ගෝල 10 න් 6 ක් ම මාල දිවයිනේ ප්‍රබලතම ක්‍රීඩකය‍ා ලෙස කටයුතු කරන අලි අස්ෆක් විසින් වාර්තා කළේය.
විනාඩි 4ක් අතුළත  අස්ෆක් ට ගෝල හතරක්ම රැස් කරන්නට දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පසු පෙළ මෙන්ම දැල රකින්නා ද මෙම පරාජයේ වගකීමෙන් වැඩි කොටසක් දැරිය යුතුය.දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට වඩා ජගත් ශ්‍රේණිගත කිරීම් හි මාල දිවයිනට වඩා පියවර 17 ක පමණ පසු පසින් සිටින ශ්‍රී ලංකාව මාල දිවයිනෙන් මෙවැනි පරාජයක් ලැබුවේ නම්,ආසියාතික මට්ටමේ ප්‍රබල පිල් සමග සංසන්දනය කිරීමට සිතන්නටවත් අපහසුය.
www.supirikrida.com

ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායම නම කෙරේ

න මස ඉන්දියාවේ නව දිල්ලි නුවර ක්‍රියාත්මක වන ජගත් නීතිඥ කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා නම් කරන්නට යෙදුණා.අසේල පටබැදි ගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතැළත් වෙනවා.උප නායකත්වය දරන්නේ මනේෂ් වෑවිට යි.බුවනෙක බස්නායක,යොහාන් ජිනසේන,තරංග අබේකෝන්,සුමුදු සදරුවන් ලියනාරච්චි,උදිත රාජසේකර,රොෂාන් ඩි රෆායෙල්,ප්‍රදීප් හීන්කෙන්ද,ප්‍රියන්ත රාජපක්ෂ,එර්ෂාන් ආරියරත්නම්,තුසිත් පල්ලියවත්ත,සම්පත් පෙරේරා,ගිහාන් කුලරත්න,බුද්ධික රාජපක්ෂ,තුසිත රණතුංග කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.
මෙවර කණ්ඩායම පිළිබදව අදහස් දැක් වූ නායක අසේල පටබැදි ප්‍රකාශ කර සිටියේ වෙනදාට වඩා ප්‍රබල කණ්ඩායමක් මෙවර ලෝක කුසලානයට සහභාගි වන බවයි.ලංකාව පුරා විසිරී තිබෙන බවක් පෙනෙන්නට ඇති බව පැවසූ අසේල නීතිඥවරුන්ගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සදහා සහභාගි වීමට වෙනදාට වඩා තරගකාරී ස්වභාවයක් ඇති වී තිබීම සතුටුදායක තත්ත්වයක් බව පෙන්වා දුන්නේය.පළමු වරට ඉන්දියාවේ මෙම තරගාවලිය සංවිධානය වූ අවස්ථාවේ දී ලොව පළමු නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දිම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස ඇගයීමට පත් වූ තමා එදා ද ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දීමට තරම් තමන්ගේ දස්කම් ප්‍රමාණවත් නොවීම ගැන කණගාටුවට පත් වූ බව පවසන අසේල මෙවර එම තත්ත්වය වෙනස් වී ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකි වෙනු ඇතැයි සිතිය හැකි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙන බව පැවසීය.
විශේෂයෙන් අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන රන්ජන් පරණවිතානගේ සහයෝගය තම කණ්ඩායමේ ශක්තිය ඉහළ දැමීමට විශාල පිටුවහලක් වී ඇති බව පවසන අසේල,මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තෙවන කොටසේ තරගාවලියේදී ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම දක්වා ඇති අති විශිෂ්ඨ දක්ෂතා සළකා බලද්දී ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම සිටින ප්‍රබල ස්ථානයද,ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායමේ මානසික විශ්වාසයට විශාල රුකුලක් වනු ඇති බව පැවසීය. අසේල පවසනාකාරයට අවසාන 16 දෙනා අතරට පැමිණිමට අසමත් වූ ක්‍රීඩකයන් කළ කැපවීම් ද,ඇතුළුව මෙවර සංචිතයේ සිටි සියළු දෙනාගේ උපරිම සහයෝගයෙන් ඉතිහාසයේ බිහි වූ තරුණ දායකත්වය වැඩි හොදම ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නට ලැබීම ගැන විශාල සතුටක් තමන් තුළ අතැයි පෙන්වා දුන්නේය.මේ තත්ත්වය හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ශ්‍රී ලංකා නීතිඥ භි ක්‍රිකට් කණ්ඩායම ද ඉතා ඉහළ ස්ථාවරයක රැදී ඇති බව පැවසූ අසේල කුසලානය සම්බන්ධයෙන් මෙවර කණ්ඩායම විශාල විශ්වාසයකින් පසු වන බව පෙන්වා දුන්නේය.
www.supirikrida.com

Sep 2, 2013

කුඩම්මාට කාර් එකක්?

ජාතික ක්‍රීඩා උළෙලේ පළමු දිනයේම ජාතික වාර්තාවකට හිමිකම් කි නැගෙනහිර පළාතේ අනෝමා කරුණාවංශ මේ වන විට ජාතික ක්‍රීඩා උළෙල ආශ්‍රිතව ජාතික වාර්තාවක් වෙනුවෙන් පිරිනැමෙන මෝටර් රථය සදහා වන හිමිකාරීත්වයට ලං වෙන්නට සමත් වී සිටිනවා.ශ්‍රී ලංකාවේ මූලික පහසුකම් හෝ දක්නට නැති මෙම ඉසව්වට අනෝමා ද අත්පොත් තබන්නේ නාවික හමුදාවට සම්බන්ධ වීමෙන් පසුවයි.නමුත් ඉක්මණින් දස්කම් වර්ධනය පෙන්නුම් කරමින් ඉදිරියට එන කාන්තා රිටි පැනීමේ ඉසව්ව වත්මන් වාර්තාවට හිමිකම් කියන්නී අනෝමා අතින් මෙන්ම ලක්රාණි පෙරේරා,ශිරෝමි දිල්රුක්ෂි රණසිංහ සහ ඉරේෂා උදයංගි වැනි ක්‍රීඩිකාවන් අතින් වරින්වර අලුත් වෙමින් ඉදිරියට පැමිණියා.නමුත් මේ ප්‍රගතියට සාපේකෂව මෙම ක්‍රීඩිකාවන් කිසිවෙකුටවත් ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දීමට මලල ක්‍රීඩා සංගමය හෝ ක්‍රීඩා අමාත්‍යංශය අවධානය යොමු කළේ නැහැ.ඒ නිසා ලංකා වාර්තාවේ දිග පළල සුළුවෙන් පුළුල් වූව ද,ජාත්‍යන්තර මට්ටමෙන් මේ ක්‍රීඩාව ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ සහ දක්වා තිබෙන ප්‍රගතිය පෙනෙන්නේ ද ඉතා කුඩාවටයි.
ඒ නිසා මේ වාර්තාවද ක්‍රීඩා ලෝකයට සාපේක්ෂව ගත් විට ජාති්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනට අනුව ලකුණු 733 ක් පමණ හිමි දක්ෂතාවයක් වෙනවා.එය කෙතරම් පහළ මට්ටමක ක්‍රියාකාරිත්වයක්ද යන්න තෙේරුම් ගැනීමට නම් අද පැවති සෙසු ඉසව් වල ජයග්‍රහකයන් සියළු දෙනාම මෙම ජාතික වාර්තාවට වඩා ඉහළින් තිබෙන බවම හොදම සාක්ෂියක් වෙනවා.මේ නිසා බොහෝ විට ඕනෑම තැනෙක අලුත් වන්නට ඉඩ ඇති මුහුදු මට්ටමෙන් ද ඉහළ බිමක තරගාවලිය පැවත්වීම මේ වාර්තාවට අදාළ වන්නට ඇත.නමුත් ලංකාවේ තරගකාරී ඉසව්වකට වාර්තාවකට යාමට අවශ්‍යය නවීන වටපිටාව මේ තණ පිටිය තුළ නැති නිසා තවත් අලුත් විය හැකි ජාතික වාර්තා ගැන සිතීම අපහසු අතර එම ඉසව්වල ජාතික ක්‍රීඩා උළෙල වාර්තාවක් බිහිවීම හෝ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු සිය හොදම කාලය වාර්තා කිරීම ගැන ද සිතිය හැක්කේ අඩුවෙන්ය.
ඒ නිසා ප්‍රගතියක් ලබමින් සිටින ඒ සදහා විශේෂ අනුග්‍රහයක් නැති කුඩම්මාගේ සැළකිල්ල ලබන රිටි පැනීම වැනි ඉසව්වක ජාතික වාර්තාව යනු සමහර විට තරගාවලියේ ජාත්‍යන්තර මට්ටමට සාපේක්ෂව දුර්වලම දක්ෂතාවය වුව ද එයට මෝටර් රථයක් ලබා දීමට දැන් ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කළ යුතුය.එසේම මෙය තරගකාරීත්වයක් අපේක්ෂා කළ නොහැකි බිමක කාර් එක පෙන්නා රැගෙන යන්නට දැරූ උත්සාහයකට හොද පිළිතුරක් වන අතර නාවලපිටිය වැනි කෘතිම ධාවන පථයක් නැති බිමක ඉහළම දක්ෂතා අපේක්ෂා කළ නොහැකි වට පිටාවකට තරගාවලිය රැගෙන ඒමට උපදෙස් දීමේ සිටම,ඒ සදහා ජාතික වාර්තාවකට මෝටර් රථයක් පිරිනැමීමට කටයුතු කරන තැන දක්වා අමාත්‍යවරයාට කේවට්ට උපදෙස් දුන් සහ දිරි දුන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අමාත්‍යංශ නිලධාරීන් මලල ක්‍රීඩාවේ ජාත්‍යන්තරයට ඉතා ආසන්න පිරිස් අභිබවා මෙවැනි ඉසව්වකට මෝටර් රථයක් ලබා ගැනීමට හැකි වාතාවරණයක් සකසා දීම ගැන සම්පූර්ණයෙන් වග කිව යුතුය.අඩුම තරමේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනේ ඉහළම ලකුණු ලාභියාට හෝ ලාභිණියට එම මෝටර් රථය පිරිනැමුවේ නම් මෝටර් රථයට විශාල වටිනාකමක් ලැබෙන අතර තවත් අතකින් දක්ෂතා තමන් සහ රිටි පැනීමේ ක්‍රීඩාවේ නියැලි ක්‍රීඩකයන් ‍කිහිප දෙනෙකු අත ඇති අත්දැකීම් ඔස්සේ ලබන පුහුණුවට සීමා වී ක්‍රීඩා පරිපාලනයන්ගෙන් කිසිදු ආශිර්වාදයක් නොලබන ඉසව්වකට ‍එම මෝටර් රථය හිමි වීම තමන්ගේ අතපසුවීම් වලට හොද වන්දියක් ගෙවීමට සිදු වීමක් ලෙස ද අර්ථ දැක්විය හැකිය.
අද දිනයේ පැවති සෙසු ඉසව්වලදී ජයග්‍රාහී ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් ලැබූ ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනට අනුව ලකුණු පහත සදහන් කරමි.
පිරිමි මීටර් 10,000   ලයනල් සමරජීව ( මධ්‍යම) විනාඩි 30:36.86  ලකුණු ප්‍රමාණය 904
කාන්තා තුන්පිම්ම  ඩීඊ රත්නසිරි (දකුණ)  මීටර් 12.39  ලකුණු 929
පිරිමි හෙල්ල වීසි කිරීම පිරිමි  ඩීඑස් රණසිංහ (දකුණ) මීටර් 69.92 ලකුණු 946
කාන්තා යගුලිය වීසිකිරීම තාරිකා කුමුදුමාලි ප්‍රනාන්දු (බස්නාහිර) මීටර් 13.92  ලකුණු 801
කාන්තා මීටර් 5000 ගයන්තිකා තුෂාරි අබේරත්න (දකුණ) විනාඩි 17:14.89 ලකුණු 917
මෙම ජයග්‍රාහී ඉසව් සහ ජාතික වාර්තාවට පදනම් වූ ඉසව්ව අතර ඇති වෙනස්කම් හදුනා ගැනීමට මෙම සාධක ප්‍රමාණවත් බව සිතිය හැකිය.
www.supirikrida.com

Sep 1, 2013

ශ්‍රී ලංකා කැඩෙට් ගැටව්‍ කටාරය කළඹයි

ටාරයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ කැඩෙට් අංශයෙන් තරග වදින ශ්‍රී ලංකා බාලක කණ්ඩායම ඉහළ දස්කම් ප්‍රදර්ශණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.පළමුවෙන් ඉරාන කණ්ඩායම තරග 3 - 1 න් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රබල ජපන් ක්‍රීඩකයන්ට එරෙහිව අති විශිෂ්ඨ තරගයක් ලබා දීමට සමත් වුහ.ශ්‍රී ලංකාව නියෝජනය කළ උදය රණසිහ සහ ප්‍රසාද් ද සිල්වා නරඹන්නන්ගේ දෙබැම ඉහළ නංවන්නට තරම් වූ විශිෂ්ඨ ක්‍රීඩා රටාවක නියැලෙමින් ප්‍රබල ජපානය ඉදිරියේ තරග 3 - 2 ක් ලෙස පරාජය වුව ද එම දක්ෂතා ශ්‍රී ලංකාවේ අනාගත මේස පන්දු ක්‍රීඩාව රැක ගැනීම සදහා වන වගකීම පැවරී ඇති පරිපාලකයන්ට අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කළහොත් ලාංකේය මේස පන්දු ක්‍රීඩාවට ලෝකය ඉදිරියේ බොහෝ දේ කළ හැකි බවට කළ ඉගි සැපයීමක් විය.
පිරිමි කණිෂ්ඨ අංශයේ තරග වලදී  ශ්‍රී ලංකාව සමග තරග වැදි තායිලන්තය සහ කොරියාව ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන්ට කිසිදු අවස්ථාවක් නොදෙමින් තරග 3 -  ලෙස ජය ගැනීමට සමත් වූ අතර කණිෂ්ඨ කාන්තා තරග අංශයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදි සිංගප්පූරුව සහ හොංකොං කණ්ඩායම් ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අත් කර දුන්නේ එම ඉරණමමය.බාලිකා කැඩෙට් අංශයේ තරග වලදී ශ්‍රි ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ ඉනදියාව සහ ජපානය ය.එහිදී ද එම රටවල් දෙක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එරෙහිව තරග වට 3 - 0 ලෙස ජය ගැනීමට සමත් විය.
www.supirikrida.com

ජාතික ක්‍රීඩා උළෙල අද ඇරඹේ

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ජාතික ක්‍රීඩා උළෙලේ සමාප්තිය සටහන් කරන මලල ක්‍රීඩා ඉසව් අද නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.39 වන වරට සංවිධානය වන මෙවර ක්‍රීඩා උළෙලේ ජාතික වාර්තාවක් අලුත් කරන අයෙකුට මෝටර් රථයක් පිරිනැමීමට කටයුතු කරන බව ප්‍රතාශ වී ඇතත් මලල ක්‍රීඩා තරග ඊට උචිත කෘතිම ධාවන පථයක් රහිත ක්‍රීඩාංගණයක තරග පැවත්වෙන බැවින් එම මෝටර් රථය දිනා ගැනීමට අයෙකුට හැකි වෙනු ඇතැයි විශ්වාස කළ නොහැකියි.
ක්‍රීඩා අමාත්‍යංශය මලල ක්‍රීඩා තරග පැවත්වීමට යොදා ගන්නා උත්සවශ්‍රීයෙන් පිරුණු ජාතික ක්‍රීඩා උළෙල ක්‍රීඩාවේ දක්ෂතා ඉහළ මට්ටමෙන් පවත්වා ගෙන යා හැකි බිමකට ගෙන නොගොස්,මෙවැනි ක්‍රීඩා පිටියක පැවත්වීම කණගාටුදායක තත්ත්වයක්.සියල්ල දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍ර තුළ මිසක් වෙනත් නෛතික හෝ භෞතික තත්ත්වයන් සැළකිල්ලට ගෙන විද්‍යාණුකූලව ක්‍රියාවට නැංවීම සිදු නොවන වටපිටාවක් ඇති පරිසරයක ක්‍රීඩාවටද එවැනිම ඉරණමක් ළගා කර දෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදයද හිමි වීම කණගාටුදායක තත්ත්වයක්.
කෙසේ නමුත් අද ඇරඹෙන ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පවතින තත්ත්වයන් යටතේ හැකි උපරිම දක්ෂතාවය දැක්වීමට ශක්තිය හා ධෛර්‍යය ලැබේවා යන්න සුපිරික්‍රීඩා ප්‍රාර්ථනයයි.
www.supirikrida.com