Feb 9, 2013

දැල්පන්දු තේරීම් කමිටුවේ නාම ලේඛණය සැකසීමේදී ඉහළ නිලධාරිණියක් ඇමති SALE කරයි

දැල් පන්දු තේරීම් කමිටුවේ නාම ලේඛනය සැකසීමේදී අමාත්‍යවරයාගේ හිතවතියන් බව කියමින් සෙසු නිලධාරීණියන්ගේ අකමැත්ත සහ විරෝධය නොතකා එම නාම ලේඛනයට දෙදෙනෙකුගේ නම් ඇතුළත් කිරීමට දැල්පන්දු ඉහළ නිලධාරිණියක් කටයුතු කළ බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.අදාළ නිලධාරිණිය වරින්වර විවිධ පාර්ශව වල සාමාජිකාවක් වෙමින් වසර ගණනාවක් නිල වරණ වලදී ජයග්‍රහණය කරන කණ්ඩායමේ සාමාජිකාවක් වීම සදහා පිල් මාරු කිරීමට ප්‍රසිද්ධියක් උසුලන්නියක් වන අතර ඇය විසින් මෙසේ ඇමතිවරයාගේ නම විකුණා විරෝධයන් යටපත් කොට ඇතුළත් කර ඇති එක් නමක් වර්ථමාන දැල්පන්දු කඩා වැටීමට මුලීකත්වය ගනිමින් ජාතික පුහුණුකාරියව සිටි තිලකා ජිනදාස ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන්ම පිඹුරුපත් සැකසූ නිලධාරිණිය යි
හිටපු අති විශිෂ්ඨ ක්‍රීඩිකාවක් වූ තේරීම් කමිටුවට නම් කරන ලද තැනත්තිය සිය පරිපාලන සමයේදී පුද්ගල හැකියාවන් සහ දක්ෂතාවයන් වෙනුවට සිය රුචිකත්වයන් මත ලාංකේය දැල් පන්දුවේ හැඩතල වෙනස් කිරීමට දැරූ උත්සාහයන් නිසා අද වන විට දැල් පන්දුව ජාත්‍යන්තර වශයෙන් කඩා වැටී ඇති ස්ථානය දක්වා පහළ වැටී ඇත.මේ නිසා පෞද්ගලික කැමැත්තන් මත කටයුතු කිරීමේ ඇය සතු ලක්ෂණය මෙන්ම වෙනත් විනය කාරණාද සැළකිල්ලට ගනිමින් ඇයගේ නම ඉදිරිපත් කිරීමට සෙසු නිලධාරිණියන් විරෝධය දක්වද්දී ඇය ක්‍රීඩා අමාත්‍යවරයාගේ සමීපතම හිතවතියක් බව පවසමින් ඇය නම් නොකිරීමෙන් දැල්පන්දු සංගමය ඇමති උදහසට ලක්වන තැනක් වනු ඇතැයි පෙන්වීමට ඇයගේ නම ඉදිරිපත් කළ නිලධාරිණිය කටයුතු කර ඇත.
බලයට පත්වන පාර්ශවයට හේත්තු වී ඉහළ නිලයකට ප්‍රවේශ වීම මෙන්ම සිය පෞද්ගලික සබදතා සදහා සංගමයේ යම් යම් කාර්යයන් පවරා ආර්ථික වාසි ලබා ගැනීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වි ඇති තේරීම් කමිටු නාම ලේඛණය සැකසීමට බලපෑම් කළ නිලධාරිණිය පළමු වරට අමාත්‍යවරයාට ඉදිරිපත් කළ නම් අට, අමාත්‍යවරයා 10 දෙනෙකු දක්වා දීර්ඝ කර එවන මෙන් කළ ඉල්ලීමට,අනුව ඉතිරි නම් දෙක සැකසීමේදී ද,පළමුව නම් කළ නම ඇති තැනත්තිය සේවය කරන ආයතනයට සම්බන්ධ තවත් හිටපු ක්‍රීඩිකාවකගේ නම ද,අමාත්‍යවරයාගේ හිතවතියක් බව කියමින් සෙසු නිලධාරිණියන්ගේ විරෝධය යටපත් කොට ඇතුළත් කිරීමට මෙම නිලධාරිණිය කටයුතු කර ඇත.එම තැනත්තිය මීට පෙර අතුරු කමිටුවක් සදහා ගෙන ඒමට තැත් කර ඇති තැනත්තියක් වන අතර ඒ නිසා විශාල ගැටළු ගණනාවකට සිය පෞද්ගලික ජීවිතයේද මුහුණ දෙන්නට සිදු වූ තැනත්තියක් බව පරිපාලනයේ ඇතැම් අය පෙන්වා දීමට උත්සාහ කළ ද,ඉහළ නිලධාරිණිය ඒ සෑම අවස්ථාවකම අදාළ නම් දෙක ඉදිරිපත් නොකිරීම අමාත්‍යවරයාගේ උදහසට හේතු විය හැකි තත්ත්වයක් නිරිමාණය කිරීමට හේතු වනු අතැයි පෙන්වා දී ඇත.
වසර ගණනක සිට පැවති පරිපාලනයන්හි සාමාජිකයෙකු ලෙස ඇති වී තිබෙන සෑම ගැටළුවකටම වගකිව යුතු නිලධාරිණියක් වන මෙම ඉහළ නිලධාරිණිය අමාත්‍යවරයාගේ උවමනාවන් බව අගවමින් මේ ආකාරයට කටයුතු කළහොත්,දැල්පන්දුවේ දියුණුව අපේක්ෂාවෙන් පළමු වරට නිල වගකීම් ගැනීමට තීරණය කළ වර්ථමාන පරිපාලනයේ සිටින බොහෝ දෙනෙකු තමන් අපේක්ෂා කළ පරිදි කටයුතු කිරීමට නොහැකි වනු ඇතැයි සවේගයෙන් පසුවෙති.ඒ අතරම මෙම නිලධාරිණිය තේරීම් කමිටුවට අදාළ නම් යෝජනා කිරීම පිළිබද සැලවීමෙන් පසු තේරීම් කමිටුවට කැදවීම් කරන ලද කිහිප දෙනෙකුම පෞද්ගලික හේතු මවා පෙන්වමින් ඒ සදහා සහභාගි වීමට නොහැකි බව දන්වා ඇත.
එසේම මෙම තේරීම් කමිටු නාම ලේඛණයේ තේරීම් කමිටුවල සාමාජිකාවන් ලෙස කටයුතු කිරීමේදී පෞද්ගලිකත්වය නොතකා සෘජු තීරණ ගණිමින් සහ ඒ තීරණ වෙනුවෙන් සෘජුව පෙනී සිටි නිලධාරිණියන් ද  සිටින අතර එසේම තනතුරු වගකීම් ආභරණ කොට සළකා සිය සෞඛ්‍යය තත්ත්වය හෝ වයස පවා නොසළකා වගකීම් බදා ගැනීමට ගිජු කමක් දක්වන මෙන්ම අමාත්‍යංශයට සම්බන්ධ වී දැල්පන්දුව දියුණු කිරීමේ වගකීමට නිසි ලෙස සහ නිර්මාණාත්කව උර නොදුන්න ද,එම තනතුරේ ආලෝකයෙන් වරප්‍රසාද භුක්ති විදින චරිතද ඇතුළත්ව ඇත.කෙසේ වුව ද අමාත්‍යවරයා නිවැරදි තේරීමක් නොකළහොත් දැල් පන්දු පරිපාලනය වැඩ ආරම්භ කිරීමට උත්සාහ දරමින් පළමු වරට තේරීම් කමිටුව නම් කිරීමට දරණ උත්සාහයේදීම බරපතළ තත්ත්වයක් ඇති විය හැකි බව සුපිරි ක්‍රීඩා පෙන්වා දෙන්නේ මේ වන විටත් මෙසේ නම් කරන ලද ඇතැමුන් නිවැරදි පුද්ගලයන් එයට සම්බන්ධ නොකොට තම නම ඇතුළත් වුවහොත් තේරීම් කමිටු සාමාජිකත්වය නොදරණ බව ප්‍රකාශ කර ඇති තත්ත්වයක් තුළය.
www.supirikrida.com 

No comments: