Feb 2, 2013

තෑගි පිරුණු ලංකා ලයන්ස් මාර්ග ධාවන තරග 10 දා


ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය 
සංවිධානය කරන මාර්ග ධාවන තරග පෙබරවාරි 10 දා කොළඹ දී පැවත්වීමට කටයුතු යොදා ඇත.පිරිමි සහ කාන්තා ලෙස පැවත්වෙන මෙම තරගාවලිය එම දෙ'අංශයෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ ලෙස ද කොටස් කර පැවත්වීමට තීරණය වී ඇත.
පිරිමි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ බාලක තරග බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළින් ඇරඹෙන අතර කාන්තා ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ බාලිකා තරග කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපස පිහිටි මහවැලි කේන්ද්‍රයෙන් ඇරඹිමට කටයුතු යොදා ඇත.පිරිමි අංශයේ තරග කිලෝ මීටර් 21 ක දුරක් සහ කාන්තා අංශයේ තරග කිලෝ මීටර් 15 ක දුරක් ක්‍රියාත්මක වීමට නියමිත අතර,ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහකයාට රුපියල් 25,000 ක් සහ එම අංශයේ ජයග්‍රාහිකාවට රුපියල් 20,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිතය.කණිෂ්ඨ අංශයේ පළමු ස්ථාන සදහා පිරිනැමෙන මුදල් ත්‍යාග රුපියල් 12,000 කි.
තරගයේ  මුදල් ත්‍යාග පිළිබද විස්තර සමග අයදුම් පත්‍රය ද පහත සදහන් වන අතර මෙහි ඇති අයදුම් පත්‍රය අදාළ තොරතොරු සමග පෙබරවාරි 7 දා ට පෙර  ගරු ලේකම්,ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය,පූමා ගොඩනැගිල්ල,අංක 307, ගාලු පාර,කොළම 03,  ලිපිනයට යොමු කළ යුතුය.

www.supirikrida.com

උතුරු - නැගෙනහිර මේස පන්දු හපන්නු පළමු වරට කොළඹ ඇවිත් හැප්පෙති

ආසියානු - ජර්මන් හුවමාරු ක්‍රීඩා වැඩ සටහනේ දායකත්වය ඇතිව නිදහස් දින සැමරුම වෙනුවෙන් උතුරු - නැගෙනහිර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන් වූ මේස පන්දු තරගාවලිය අද සහ හෙට දෙදින තුළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා බිමේදී පැවත්වේ.මේ, එම දෙ'පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඔ දී තරග වින පළමු අවස්ථාව මෙය වේ.
 අබාන්ස් ආයතනය මෙන්ම සම අනුග්‍රාහකයන් ලෙස Aquarious Beach Hotel සහ Nillavelli Peace Village මේ සදහා එක් වීමට නියමිතය.එම තරගාවලියේ මූලික සැලසුම් වලට අනුව අනුග්‍රාහකත්වයන් දිනා ගැනීම මෙන්ම විශේෂ අවස්ථා අළලා සැකසි ප්‍රචාරක ඡායාරූපයක් මෙහි දැක් වේ.
www.supirikrida.com


අද ඇරඹෙන දැයට කිරුල වෙරළ වොලිබෝල් තරග ආසියාතික තරගවලට පෙරහුරුවක්

අද ඇරඹෙන දැයට කිරුළ වෙරළ වොලිබෝල් තරගාවලියේ දක්ෂතා අප්‍රේල් මස තායිලන්තයේ දී පැවත්වෙන ආසියාතික වෙරල වොලිබෝල් තරගාවලියේ තේරීම් සදහා පෙරහුරුවක් ලෙස යොදා ගැනීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.1992 ජනවාරි 1 දා ට පසු උපන් ක්‍රීජක ක්‍රීඩිකාවන්ට පමණක් සහභාගි වීය හැකි ආධුනික තරගාවලිය මෙන්ම ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන විවෘත තරගාවලියක් ලෙස දෙ'අංශයකින් කාන්තා සහ  පිරිමි ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ අද සහ හෙට පැවත්වෙන තරග මීගමුව කැම්ලට් හෝටලය අසළ වෙරළ තීරයේදී ද,අම්පාර සයිදමරිදු YMCA වෙරළ තීරයේ සහ හම්බන්තොට වෙරළ තීරයේද පැවත්වේ.උතුරු පළාත් තරග පැවත්වෙන්නේ පෙබරවාරි 9 සහ 10 යන දෙදින තුළ කිලිනොච්චිය වෙරළ තීරයේදී ය.
තරගාවලියේ අවසාන තරග දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව ආරුගම්බේ වෙරඝ තීරයේදී පැවත්වීමට නියමිතය.
www.supirikrida.com

ජයවීර‍ වීරකම් රැගෙන හෙට නික්ම යයි


වර්ථමාන ජාතික කබඩි පුහුණුකරු  මෙන්ම මාතර දිස්ත්‍රික් තබඩි සංගමයේ ලේකම් ධූරයද දරණ පේමානන්ද ජයවීර මහතා හදිසියේ අභාවප්ප්‍රාප්ත වූ අතර එතුමාගේ අවසාන කටයුතු එළැඹෙන ඉරුදින (03) මාතර පොදු සුසාන භූමියේදී පස්වරු 1.30 ට සිදු කිරීමට නියමිතය.1993 දී පළමු වරට විදේශ සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමේ නායකයා ලෙස බංගලාදේශයේ පැවති හයවන ආසියාතික කබඩි තරගාවලියේදී ශ්‍රී ලංකා පිළ මෙහෙය වූ  ජයවීර මහතා, කබඩි පුහුණකරුවෙකු ලෙස පත් වීමෙන් පසු  අවස්ථා ගණණාවකදීම ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වශයෙන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා දුන් ජාතික කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස ද ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කළ ජයවීර මහතා, මිය යන විට 56 හැවිරිදි වියේ පසු විය. දැනට ඒ මහතාගේ දේහය මාතර, පඹුරණ, තුන්වන පටුමගේ පිහිටි ‘විමුක්ති නිවසේ’ තැන්පත් කර තිබේ.   

ලොකුසූරියගේ 'ලොකු සූරකම' ඉදිරියේ එංගලන්තයට ඓතිහාසික පරාජයක්

Sri Lankan players celebrate after their one-wicket victory
ක්‍රියාත්මක වන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය වන ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේදී කෞශල්‍යයා ලොකුසූරිය පෑ ජවසම්පන්න ප්‍රහාරයේ  කෞශල්‍යය හේතුවෙන්  එක් කඩුල්ලක ඓතිහාසික ජයක් හිමි කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.වත්මන් ලෝක කුසලාන සූරියන් වන එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව ලැබූ මෙම ජය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වන අතර එය එංගලන්ත කණ්ඩායමකට එරෙහිව ලද පළමු ජය ලෙස ද ඉතිහාසයට එක් වන්නේය.
මෑත කාලයේ පැවති තරග වලදී පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ අංශයන් හී ප්‍රගතියක් පෙන්වමින් සිටි ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී පිතිකරණ අංශය පිළිබදව සැළකිල්ලකින් කටයුතු කරන බව පැහැදිළි කරමින් පුහුණු තරග වලදී දකුණු අප්‍රිකාවද පරාජය කළේය.
Eshani Kaushalya scored 56 off 41 deliveriesකණ්ඩායමේ සංයුතිය ගත් විට අංක 10 දක්වාම පිතිකරණයේ හැකියාවක් ඇති ක්‍රීඩිකාවන් සිටින කණ්ඩායමක් වශයෙන් හැදින්විය හැකි ශ්‍රී ලංකාව මෙම තරගයේදී ද චමරි අතපත්තු සහ යශෝධා මෙණ්ඩිස් ගේ සුපිරි පිතිකරණය ඉදිරියේ ජයග්‍රාහී ස්ථාවරයකට පිවිසිණ.විශේෂයෙන් පන්දු 72 දී ලකුණු 62 ක් ලැබූ චමරි සහ ලකුණු 46 ක් ලැබූ යශෝධා ආරම්භක කඩුල්ලට ලැබූ ලකුණු 103 එංගලන්තයේ ලකුණු 238 ක ලකුණු ප්‍රමාණය හඹා යා හැකි බවට ගොඩ නැගූ විශ්වාසය පසු පෙළ පිතිකරණයට මහත් සැහැල්ලුවක් උදා කළේය.
නමුත් ලොව ප්‍රවීනතම ක්‍රිකට් ක්‍රීඩිකාවක් බවට අවිවාදිත චාලට් එඩ්වඩ්ස් ගේ නායකත්වයෙන් වූ එංගලන්තය යළිත් තරගයට පිවිස ශ්‍රී ලංකා ලකුණු පූවරුවේ පාලනය සියතට ගත් අතර චමරි සහ යශෝධා ගේ සාර්ථකත්වය රැක ගත හැකි ඉණිමක් මුල් පෙළේ පිතිකාරිණියන් අතරින් ක්‍රියාත්මක කළේ නායිකා ශෂිකලා සිරිවර්ධන පමණි.ඇය ලකුණු 34 ක් ලැබූ අතර ජයග්‍රහණය ආසන්නයේ සිටි ශ්‍රී ලංකා ලකුණු පූවරුව 39 වන ඕවරයේ පළමු පන්දුව වන විට කඩුලු 5 ට ලකුණු 157 ක් බවට පත් වූයේ ජයග්‍රාහී ඉලක්කය ඕවරයකට ලකුණු හයකටත් වැඩි කරමින්ය.
එහෙත් සිව් වන කඩුල්ල දැවීමෙන් පසු පිටියට පිවිසෙන කෞශල්‍යයා ලොකුසූරිය සිය පළමු ලකුණ නෙලා ගන්නට පන්දු 8 ක් වෙහෙසී බලා සිටියද,ඉන් අනතුරුව 6 වන කඩුල්ල වෙනුවෙන් චාමිණි සෙනවිරත්න (14) සමග ලකුණු 40 ක් ද,අනතුරුව දීපිකා රසාංගිකා සහ ඩිලානි මනෝදරා සමග ද එක් වෙමින් එංගලන්ත පන්දු යවන්නියන්ට බැට දුන් කෞශල්‍යයා පන්දු 41 දී ලකුණු 56 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ජය මාවත උදා කර දුන්නේය.තරගය නිමා වන්නට පන්දු 3 ක් තිබිය දී අනවශ්‍යය ආකාරයට දුවද්දී දැවී යමින් සිය ඉණිමේ වටිනාම මොහොත සමරන්නට ක්‍රීඩා පිටියේ රැදෙන්නට වරම් අහිමි කර ගත් කෞශල්‍යයා සමග තරගයේ ජයග්‍රාහී බලාපොරොත්තුව,ජය - පරාජය නොවිසදුණු තරගයක් දක්වා පරිවර්ථනය වූව ද,තරගයේ තීරණාත්මක අවසාන පන්දුවේදී දැවැන්ත හයේ පහරක් එල්ල කළ ඩිලානි මනෝදරා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණය උදා කර දුන්නාය.
කෞශල්‍යයා සිය ලකුණු 56 වෙනුවෙන් එල්ල කළ දැවැන්ත හයේ පහර තුනෙන් දෙකක්ම ලෝන් ඕන් සහ ලෝන් ඕෆ් කළාප වලින් එල්ල කළ ඒවා වීම කැපී පෙණින.හරහා පහර එල්ල කිරීමට වඩා පන්දුව එන දෙසින් පහර එල්ල කිරීමට කෞශල්‍යයා දැක් වූ කුසලතාවය කැපී පෙණුන අතර ඒ නිසා ඇයගේ ඉණිම පිටියේ සිව් අතට ප්‍රහාර එල්ල වූ ඉණිමක් විය.
එංගලන්තය සිය පන්දු ඕවර් 50 තුල රැස් කළ ලකුණු 238 ක් වැය වූ අතර එයින් අවසන් පන්දු 13 දී ලකුණු 35 ක් වැය වූ අතර තරගයේ අවසාන පන්දු 5 දී එංගලන්තය ශ්‍රී ලංකා නායිකාවගේ පන්දු ඉදිරියේ ලකුණු 15 ක් උදුරා ගැනීම කැපී පෙණින.එංගලන්ත ඉණිමේ ආරම්භයේදී ලකුණු 29 ට කඩුලු 3 ක් අහිමි කර ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ තරගයට අවතීර්ණ වුව ද,ආරන් බ්‍රින්ඩ්ලේ සහ ලීඩියා ග්‍රීන් වේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සබදතාවයක් පවත්වමින් සහ අනතුරුව හය වන කඩුල්ලට ජෙනී ගන් (52) සහ ඇමී ජෝන්ස්  (41) එක්ව රැස් කළ ලකුණු  83 ද නිසා එංගලන්ත ලකුණු පූවරුවට  ලකුණු 238 දක්වා ගමන් කරන්නට හැකි විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයෙන් උදම් වන අයුරු සහ කෞශල්‍යාගේ සුපිරි ඉණිමේ අවස්ථාවක් මේ සමග වන ඡායාරූප වලින් දැක්වෙන අතර පහත සබදතාවය හරහා තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/icc-womens-world-cup-2013/engine/match/594894.html
www.supirikrida.com




Feb 1, 2013

තත්පරයේ පෑ මායම් තත්පරයෙන් සේදෙයි

CSN නාලිකාවේ විකාශය වන තත්පරය සංවාදාත්මක වැඩ සටහනට සහභාගි වෙමින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලන සභාපතිවරයා බැඩ්මින්ටන් පාසල පුද්ගලයෙකුට පැවරීම පරිපාලනය විසින් ගත් නිවැරදි තීන්දුවක් බවත්,එයින් ආදායමක් ලැබෙන බවත් පෙන්වා දෙමින් කළ ප්‍රකාශයේ සාවාද්‍යතාවය පසුගියදා බැඩ්මින්ටන් පරිපාලනයේ මහා සභා රැස්වීමේදී හෙළ වී ඇත.එහිදී එම අවස්ථාවට එක් වූ පිරිස් බැඩ්මින්ටන් පාසල පිළිබදව විමසීමේදී එයින් සම්මේලනයට ලැබිය යුතු රුපියල් 1,80,000 ක මුදලක හිගයක් පවතින බව හෙළි වී ඇත.
එවැනි ගෙවීමක හිගයක් පවතිද්දී ද,එය නොතකා එම මුදල පියවිය යුතු පුද්ගලයාට සම්මේලනය විසින් ගෙවිය යුතුව ඇති මුදලින් හිග මුදල් අය කර ගැනීම වෙනුවට,අදාළ මුදල් ගෙවීම සිදු කර තිබෙන බව ද එහිදී අනාවරණය වී ඇත.එසේම ගිණුම් කටයුතු නිවැරදිව සදහන් කර ඉදිරිපත් නොකිරීම පිළීබදව ද,එහි දී පරිපාලනය ප්‍රශ්න කිරීම් වලට ලක් ව ඇති බව ද සුපිරික්‍රීඩා ආරංචි මාර්ග පැහැදිළි කරයි.
www.supirirkrida.com

Jan 31, 2013

මම දේශපාලනයට වඩා ක්‍රිකට් වලට ආදරෙයි - සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට පත් සනත් ජයසූරිය සුපිරික්‍රීඩා සමග එක්වෙමින් ප්‍රකාශ කළේ,තමන් දේශපාලනයට වඩා ක්‍රිකට් වලට ආදරේ බවය.තමන් දේශපාලනය සහ ක්‍රීඩාව යන විෂයන් දෙකේම නිරත වූව ද,මේ සියල්ල ක්‍රිකට් නිසා හිමි වූ බව සනත් ගේ අදහසය.ජනතාව වඩා ආදරේ ක්‍රිකට් ක්‍රීඩකයාට,මහජව නියෝජිතයෙකු ලෙස පිළිගන්නට මුල් වන්නේත් මම ක්‍රීඩකයෙකු වීම යැයි පවසන සනත්,ඒ නිසා සිය වගකීමක් සහ යුතුකමක් කොට සිතා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරය භාරගත් බව ප්‍රකාශ කළේය.
තමා ක්‍රිකට් නායකත්වයට පත් වන විට ද,එවකට ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ව සිටි, අර්ජුන,අරවින්ද,මහානාම සහ හෂාන් යන දැවැන්තයන් ක්‍රිකට් වලට සමු දී සිටි බව ප්‍රකාශ කළ සනත්,එහිදී අලුත් පරපුරක් ගැන විශ්වාසය තබමින් සිදත් වෙත්තමුණි තේරීම් කමිට සභාපතිවරයා ලෙස ගත් අභියෝගාත්මක තීරණය නොවන්නට තමන්ට කණ්ඩායමේ නායකත්වය අහිමි වන්නට ද තිබූ බව පෙන්වා දෙයි. සනත් ප්‍රකාශ කරන්නේ අදටද එම කාරණය නිසා සිදත් වෙත්තමුණි පිළිබදව තමා තුළ ඇත්තේ විශාල ගෞරවයක් බවය.
තමන්ට ද ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරය ලැබෙන්නේ,කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨයන් ඉවත්ව යාමට සැරසෙමින් සිටින මොහොතක බැවින් මෙය ද එක්තරා අන්දමක දුෂ්කර කාර්යයක් බව පවසන සනත්,තමන් මෙන් විශාල දුෂ්කරතා මැද ක්‍රිකට් ක්‍රීඩා කරන විශිෂ්ඨයන් සොයා ඔවුන් රටට දායාද කිරීමට මෙම වගකීම හරහා උත්සාහ කරන බව පැවසීය.එසේම සනත් නායකත්වයට පත්වන අවධියේ ශ්‍රී ලංකාව ලොව හොදම ටෙස්ට් කණ්ඩායම වීමට සිහින දකිමින් සිටි සමීප වෙමින් නැවත දුරස් වෙමින් තිබෙන එම සිහිනය යථාර්තයක් කර ගැනීමට හැකි කණ්ඩායමක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම සිය වගකීම කොට සිතන බව ද සනත් පවසයි.
www.supirikrida.com